මිලාන් සහ පවන් ශ්‍රී ලංකාව ශූරතාව කරා රැගෙන යයි!

Sri Lanka A Tour Of UAE 2025

1
uae tri nations one day tournament Sri lanka A vs Ireland A Final Match

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වුණ තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා A කණ්ඩායම ඊයේ (25) සමත් වුනා.

තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ ශ්‍රී ලංකා A කණ්ඩායම සහ අයර්ලන්ත A කණ්ඩායම අතර ක්‍රියාත්මක වූ අතර, මෙහි දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් අයර්ලන්තය පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසුණා.

කෙසේ වෙතත් අයර්ලන්ත ඉනිම පන්දු වාර 47 පන්දු 3ක් තුළ ලකුණු 200ක් තුළ නතර කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.

මෙහි දී අයර්ලන්තය වෙනුවෙන් ඉහළම ලකුණු ලාභියා ලෙස ලකුණු 73ක් වාර්තා කිරීමට Morgan Topping සමත් වූ නමුත්, ඔහුගේ සහයට අනෙක් පිතිකරුවන්ගෙන් සැලකිය යුතු දායකත්වයක් නොලැබී යාම නිසා අයර්ලන්තයට ඉහළ ලකුණු ප්‍රමාණයක් කරා යාමට තිබූ අවකාශය අහිමි වුනා.

මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් තරිඳු රත්නායක කඩුලු 4ක් දවාගන්නා අතරේ, මිලාන් රත්නායක කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් දැක්වීමට සමත් වුනා.

කෙසේ වෙතත් අයර්ලන්තයෙන් හිමි වූ ලකුණු 201ක් ඉලක්කය හඹා යාම ශ්‍රී ලංකාවට ද සිතූ තරම් පහසු කාර්යයක් වුනේ නැහැ.

ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන් සියලු දෙනා පාහේ ඊයේ දිනයේ දී අසාර්ථක වීම නිසා වරෙක ශ්‍රී ලංකා ඉනිම කඩුලු 5කට ලකුණු 43ක් ලෙස දිස් වුනා.

මේ මොහොතේ පවන් රත්නායක සහ මිලාන් රත්නායක කඩුල්ලේ එක් වූ අතර, ඔවුන් දෙදෙනා විසින් ඉනිමේ හය වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 160ක සබඳතාවක් ගොඩ නැංවීමට සමත් වුනා.

මෙහි දී පවන් විසින් හයේ පහර 2ක් සහ හතරේ පහර 9ක් සමඟ පන්දු 76කින් ලකුණු 77ක් ලබා ගැනීමට සමත් වූ අතර, මිලාන් රත්නායක ද හයේ පහර 2ක් සහ හතරේ පහර 9ක් සමඟින් පන්දු 83කින් ලකුණු 77ක් ලබා ගැනීමට සමත් වුනා.

මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගයෙන් කඩුලු 5ක ජයක් ලබමින් තරගාවලියේ ශූරතාව ජය ගැනීමට සමත් වූ අතර, අවසන් මහා තරගයේ වීරයා ලෙස තුන් ඉරියව්වෙන් ම කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වූ මිලාන් රත්නායක සම්මාන දිනා ගැනීමට සමත් වුනා.

දෙස් විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<