සංවර්ධන සංචිතයේ ක්‍රීඩිකාවන්ට ගිවිසුම්

175

වයස අවුරුදු 21න් පහළ කාන්තා සංවර්ධන සංචිතය සඳහා තෝරාගත් ක්‍රීඩිකාවන් 20 දෙනෙකු සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (29) ගිවිසුම් ලබා දී තිබුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මූලස්ථානයේ දී පැවති මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න, විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් දේශීය මෙහෙයුම් ප්‍රධානි චින්තක එදිරිමාන්න, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කැඳවුම්කරු අප්සාරි තිලකරත්න සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තේරීම් කමිටු නිලධාරිනි තිලකා ගුණරත්න යන මහත්ම මහත්මීන් සහභාගීව තිබුණා.

මෙම ක්‍රීඩිකාවන් හට ගිවිසුම් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා මෙසේ අදහස් දක්වා තිබුණා.

“අද මෙතන සිටින ක්‍රීඩිකාවන් 20 දෙනාට මේක විශේෂ දවසක්. අද ජාතික ක්‍රිකට් මාවතට ඔබේ ඇතුල්වීම සනිටුහන් කරනවා. මෙහි තිබෙන විශේෂත්වය තමයි අපිට යාපනය, පොළොන්නරුව, බදුල්ල ආදී ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවලින් ක්‍රීඩිකාවන් මේ සංචිතයට ඇතුළත් වීම. මෙය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට හොඳ වර්ධනයක්.”

“අපි ක්‍රීඩිකාවන් 120ක් අතෙරින් හොඳම‍ 20 දෙනෙකු තෝරාගත්තා. මෙය ඔබට හොඳ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියකට පිවිසීමට ඉතාමත් හොඳ අවස්ථාවක්. කෙසේ නමුත් ඔබේ ඉලක්ක වෙත යන්න ඔබ මහන්සි වෙලා වැඩ කරන්න ඕන.”

මෙම උත්සවයේ පිළිගැනීමේ කතාව සිදු කළ අප්සාරි තිලකරත්න මහත්මිය ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ගෝලීය තලයට හැඩගැසෙමින් තිබෙන බවත්, මේ සියලු උත්සාහයන් එහි ස්ථානය ගොඩනැගීම සඳහා බවයි.

මෙම අලුතින් පිහිටවූ කණ්ඩායම මාස තුනක පුහුණුවකට යොමු කිරීමට නියමිතව ඇති අතර එහි දී ශ්‍රී ලංකා ක්‍රිකට් දිස්ත්‍රික් සහ පළාත් පුහුණුකරුවන්ගේ අධීක්ෂණය යටතේ ඔවුන් කුසලතා වර්ධනය, යෝග්‍යතා පුහුණු වැනි කොටස් වෙත විශේෂ අවධානයක් ලබා දීමට නියමිතයි.

මෙම ක්‍රීඩිකාවන් මාස 03ක පුහුණුව නිමා කිරීමෙන් පසුව නැවත ඇගයීමකට ලක් කර 2022 මාර්තු හෝ අප්‍රේල් මාසවල දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරන තරගාවලිවල දී දිස්ත්‍රික් සහ පළාත් කණ්ඩායම්වලට එක්කිරීමට නියමිතයි.

මෙම කණ්ඩායමේ පුහුණු කඳවුර නොවැම්බර් 01 වැනිදා සිට 2022 ජනවාරි 31 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර එම කාලයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මූල්‍ය ආධාරයක් ක්‍රීඩිකාවන්ට ලබා දීමට නියමිතයි.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<