ශ්‍රී ලංකා ගමන ඉන්දියාව හමුවේ නතර වේ

ACC Under-19 Women's T20 Asia Cup

69
U19 Women's Asia Cup 2024

ආසියානු ක්‍රිකට් කවුන්සිලය පළමු වරට සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ විස්සිය විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති තරගයෙන් කඩුලු 4ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ආසියානු කුසලාන ගමන් මඟඅද (20) අවසන් වුනා.

Kuala Lumpur  හී Bayuemas Oval හි දී පැවැති මෙම තරගයේ දී  පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 98ක් ලැබූ අතර ඊට පිළිතුරු ලෙසින් ඉන්දීය කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 102ක් ලබා ගනිමින් තරගයෙන් ජයග්‍රහණය කළා.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම:

මනුදි නානායක්කාර (නායිකාව), සංජනා කාවින්දි, හිරුණි හංසිකා, ලිමංසා තිලකරත්න, සුමුදු නිසංසලා (කඩුලු රකින්නිය), දැහැමි සනෙත්මා, රශ්මිකා සෙව්වන්දි, ශෂිනි ගිම්හානි, ප්‍රමුදි මෙත්සරා, චමෝදි ප්‍රබෝධා සහ අශේනි තලගුණේ.

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම:

Niki Prasad (නායිකාව), Ishwari Awsare, G Kamalini, Sanika Chalke, Gongadi Trisha, Bhavika Ahire (කඩුලු රකින්නිය), Mithila Vinod, Aayushi Shukla,  Parunika Sisodia, Drithi Kesari සහ Shabnam Shakil

කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය ක්‍රීඩිකාවන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩිකාවන්ගේ ඉනිමේ ආරම්භය නැවත වතාවක් අසාර්ථක වුනා.

එහි දී සංජනා කාවින්දි (9), හිරුණි හංසිකා (2) සහ ලිමංසා තිලකරත්න (1) අඩු ලකුණුවලට සීමා වුනා. ඒ වෙද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 3ක් දැවී ලකුණු 17ක් බවට පත් වූ අතර ඉන් අනතුරු ව දැහැමි සනෙත්මා ද තම ඉනිම ලකුණු 5කට සීමා කර ගත්තා.

ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය බවට පත් වූයේ නායිකා මනුදි නානානායක්කාර. ඇය පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 33ක් ලබා ගත්තා. ඊට අමතර ව සුමුදු නිසංසලා පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තා.

අනෙකුත් කිසිදු පිතිකාරිනියකට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පැමිණිමට ඉන්දීය පන්දු යවන්නියෝ ඉඩ ලබා දුන්නේ නැහැ. ඒ අනුව රශ්මිකා සෙව්වන්දි (8), ශෂිනි ගිම්හානි (0), ප්‍රමුදි මෙත්සරා (3), අසේනි තලගුණේ (නොදැවී 2) සහ චමෝදි ප්‍රබෝධා (නොදැවී 3) අඩු ලකුණුවලට තම ඉනිම් සීමා කර ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Aayushi Shukla ලකුණු 10කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව  Parunika Sisodia කඩුලු 2ක් ද, Shabnam Shakil සහ Drithi Kesari කඩුල්ල බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 5ක් වෙද්දී පිටියෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත් වූව ද ඔවුන් ප්‍රතිවාදී ඉලක්කය තවත් පන්දු 31ක් ඉතිරි ව තිබිය දී සපුරා ගැනීමට සමත් වුනා.

එහි දී 3 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 63ක සබඳතාවක් ගොඩ නැගීමට G Kamalini සහ Gongadi Trisha සමත් වීම කැපී පෙණුනා.

ඒ අතුරින් පළමුවෙන් දැවී යන්නේ Gongadi Trisha. ඇය පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 32ක් ලබා ගත් අතර G Kamalini පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 28ක් ලබා ගත්තා.

ඊට අමතර ව තරගය ජයග්‍රහණයෙන් කෙළවර වෙද්දී Mithila Vinod පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 17ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී චමෝදි ප්‍රබෝධා ලකුණු 16කට කඩුලු 3ක් ද සහ ශෂිනි ගිම්හානි ලකුණු 18කට කඩුලු 2ක් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 9ක් දැවී 98 (20.0) සුමුදු නිසංසලා 21, මනුදි නානායක්කාර 33, Parunika Sisodia 2/27, Aayushi Shukla 4/10

 

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 6ක් දැවී 102 (14.5) G Kamalini 28, Gongadi Trisha 32, Mithila Vinod නොදැවී 17, චමෝදි ප්‍රබෝධා 3/16, ශෂිනි ගිම්හානි 2/18

තරගයේ වීරයා – Aayushi Shukla (ඉන්දියාව)

මෙම තරගය නිමාවත් සමඟින් ප්‍රතිවාදී ඉන්දිය කණ්ඩායම සුපිරි 4 වටයේ ප්‍රසාද ලකුණු 7ක් ලබා ගනිමින් පළමු ස්ථානයට ද සහ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 3ක් ලබා ගනිමින් සිව් වැනි ස්ථානයට ද පත් වුනා.

ඒ අනුව ඉන්දියාව මෙම තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත් අතර අද (20) නිමා වීමට නියමිත බංග්ලාදේශය සහ නේපාලය අතර තරගයෙන් ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායම සමඟින් පැවැත්වෙන අවසන් මහා තරගය මේ මස 22 වැනිදා මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්විමට නියමිතයි.

ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<