මනුදි සහ ලිමංසා ශ්‍රී ලංකාවට ජය ගෙනේ

ACC Under-19 Women's T20 Asia Cup

97
U19 Women's Asia Cup 2024 - Sri Lanka Vs Malaysia

මනුදි නානායක්කාර සහ ලිමංසා තිලකරත්න ගේ ශතක සම්බන්ධතාවයේ බර දරා ගැනීමට නොහැකි වූ මැලේසියානු ක්‍රිකට් කණ්ඩායමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය පළමු වරට සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති ශ්‍රී ලංකාව සමඟ තරගයෙන් ලකුණු 94ක පරාජයකට මුහුණ පෑමට අද (15) සිදු වූවා.

මැලේසියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු තරගය Kuala Lumpur  හී Bayuemas Oval හි දී පැවැති අතර මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ කඩුලු 4ක් දැවී ලකුණු 153ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි මැලේසියා යොවුන් ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 6ක් දැවී ලකුණු 59ක් පමණයි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම:

මනුදි නානායක්කාර (නායිකාව), සංජනා කාවින්දි, හිරුණි හංසිකා, ලිමංසා තිලකරත්න, සුමුදු නිසංසලා (කඩුලු රකින්නිය), දැහැමි සනෙත්මා, රශ්මි නේත්‍රාංජලී, රශ්මිකා සෙව්වන්දි, ප්‍රමුදි මෙත්සරා, චමෝදි ප්‍රබෝධා සහ අශේනි තලගුණේ.

මැලේසියා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම:

Nur Dania Syuhada (නායිකාව), Nur Aliya Hairun (කඩුලු රකින්නිය), Irdina Beh Nabil, Nazatul Binti, Nur Ain Binti Roslan, Suabika Manivannan, Nuriman Hidayah, Neserle Yean Alik, Nur Izzatul Syafiqa, Marsya Abdullah සහ Nur Isma Daniel.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්ත ද ඔවුන්ගේ ඉනිමේ ආරම්භය එතරම් ම වාසිදායක වූයේ නැහැ. එසේ වෙන්නේ ඔවුන්ගේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 18ක් වෙද්දී නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සත්කාරක පන්දු යවන්නියෝ සමත් වීමත් සමඟිනුයි.

ඒ අනුව සංජනා කාවින්දි (4), හිරුණ හංසිකා (5) සහ සුමුදු නිසංසලා (3) අඩු ලකුණුවලට තම ඉනිම් සීමා කර ගත්තා. කෙසේ වෙතත් ඉන් අනතුරු ව අංක 3 ස්ථානයෙන් පිටියට පිවිසි ලිමංසා තිලකරත්න තරගයේ බර කරට ගනිමින් දැහැමි සනෙත්මා හා එක් ව 4 වැනි කඩුල්ලට ලකුණු 26ක සබඳතාවක් ගොඩ නගනවා.

එහි දී 4 වැනි කඩුල්ල ලෙසින් දැහැමි සෙනෙත්මා පන්දු 16කට මුහුණ දෙමින් ලකුණු 11ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් වීමට සිදු වූවා.

අනතුරු ව නායිකාව හා එක්වෙන ලිමංසා තිලකරත්න ඉනිමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවුණ ලකුණු 109ක සබඳතාවක් ගොඩ නගනවා. එහි දී නායිකා මනුදි නානායක්කාර පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 74ක් ද සහ ලිමංසා තිලකරත්න පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 41ක් ද ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී Nur Dania Syuhada ලකුණු 21කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Suabika Manivannan සහ Nur Isma Daniel කඩුල්ල බැගින් බෙදා ගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මැලේසියා කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 15 දී දැවී යන අතර එතැන් සිට කිසිදු ලකුණක් ලබා නොදෙමින් තවත් කඩුලු 3ක් දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වීම කැපී පෙණුනා.  ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දු 17ක් යවා තිබුණා.

කෙසේ වෙතත් ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණු සබඳතාව වූයේ 5 වැනි කඩුල්ලට Nur Ain Binti Roslan සහ Suabika Manivannan එක් ව පන්දු 25ක දී එක් කළ ලකුණු 19යි.

අනතුරු ව ඔවුන්ගේ කඩුලු අතර සබඳතාවල වැඩි ඉඩක් ගත්තේ පන්දු ගණන වීම කැපී පෙණුනා. ඒ අනුව Suabika Manivannan සහ Nuriman Hidayah එක් ව පන්දු 39ක් වැය කරමින් 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 10ක් ද සහ Nuriman Hidayah සහ Neserle Yean Alik එක් ව පන්දු 22ක දී නොදැවී ලකුණු 15ක සබඳතාවක් ද එක් කළා.

කඩුලු දවා ගැනීමේ දී හිරුණි හංසිකා ලකුණු 2කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව රශ්මිකා සෙව්වන්දි, අශේනි තලගුණේ, ප්‍රමුදි මෙත්සරා සහ චමෝදි ප්‍රබෝධා කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 4ක් දැවී 153 (20.0) ලිමංසා තිලකරත්න නොදැවී 41, මනුදි නානායක්කාර නොදැවී 74, Nur Dania Syuhada 2/21

 

මැලේසියා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 6ක් දැවී 59 (20.0) Nur Ain Binti Roslan 12, හිරුණි හංසිකා 2/02

තරගයේ වීරයා – මනුදි නානායක්කාර

මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන 2 වැනි තරගය හෙට (16) බංග්ලාදේශය සමඟ  Kuala Lumpur  හී Bayuemas Oval හි දී පැවැත්වේ.

ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<