ආසියානු ක්‍රිකට් කවුන්සිලය පළමු වරට සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ විස්සිය විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තමන් මුහුණ දුන් 2 වැනි තරගයෙන් ලකුණු 28කට පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අද (16) සිදු වුනා.
කෙසේ වෙතත් මෙම තරගයේ නිමාවත් ගණනය කෙරුණු ප්‍රසාද ලකුණු පුවරුවේ තව දුරටත් ශ්‍රි ලංකාවට පළමු ස්ථානයේ රැඳී සිටිමට හැකිව තිබෙනවා.
Kuala Lumpur හී Bayuemas Oval හි දී පැවැති මෙම අද තරග පන්දුවාර 17කට සීමා වූ අතර එහි දී පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ යොවුන් ක්‍රීඩිකාවෝ කඩුලු 9ක් දැවී ලකුණු 122ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 94ක් පමණයි.
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම:
මනුදි නානායක්කාර (නායිකාව), සංජනා කාවින්දි, හිරුණි හංසිකා, ලිමංසා තිලකරත්න, සුමුදු නිසංසලා (කඩුලු රකින්නිය), රශ්මිකා සෙව්වන්දි, දැහැමි සනෙත්මා, රශ්මි නේත්‍රාංජලී, ප්‍රමුදි මෙත්සරා, චමෝදි ප්‍රබෝධා සහ අශේනි තලගුණේ.
බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම:
Sumaiya Akter (නායිකාව), Juairiya Ferdous (කඩුලු රකින්නිය), Mosammat Eva, Sumaiya Akther, Jannatul Maoua, Afia Ashima, Sadia Akter, Habiba Islam, Farjana Easmin, Nishita Akter Nishi සහ Anisa Akter Soba
කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකාවගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බංග්ලාදේශ ඉනිමේ ආරම්භක කඩුල්ල ලකුණු නොදී ගලවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූව ද 2 වැනි කඩුල්ල සඳහා පන්දු 36ක දී ලකුණු 44ක සබඳතාවක් ගොඩ නැගීමට 2 වැනි කඩුල්ල සඳහා එක් වූ Mosammat Eva සහ Sumaiya Akther සමත් වූවා.
ඔවුන් අතුරින් පළමුවෙන් කඩුල්ල හැර යන්නේ Mosammat Eva. ඇය දැවී යන විට පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 18ක් ලබා සිටියා. අනතුරු ව 3 වැනි කඩුල්ල Sumaiya Akther දැවී යනවා. ඒ වෙද්දී ඇය පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 24ක් ලබා සිටියා.
ඒ සමඟින් තවත් ලකුණක් ලකුණු පුවරුවට එක් වෙද්දී තවත් කඩුලු 2ක් දවා ගනිමින් බංග්ලාදේශ ඉනිම තර්ජනයක් වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත් වෙනවා. නමුත් ඒ ගැන එතරම් නොතකන බංග්ලාදේශ මැද පෙළ ක්‍රීඩිකාවන් අතුරින් Afia Ashima සහ Sadia Akter එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 43ක දී ලකුණු 49ක සබඳතාවක් එක් කළා.
එහි දී Sadia Akter පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 31ක් ද සහ Afia Ashima පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 25ක් ද ලබා ගත්තා.
බංග්ලාදේශ ඉනිම මේ තරමින් සීමා කිරීමේ දී ආරම්භක පන්දු යවන්නිය වූ රශ්මිකා සෙව්වන්දි ලකුණු 23කට කඩුලු 4ක් දවා ගත් අතර ඊට අමතර ව ප්‍රමුදි මෙත්සරා සහ අසේනි තලගුණේ කඩුලු 2ක් බැගින් ද, හිරුණි හංසිකා කඩුල්ලක් ද දවා ගත්තා.
- මනුදි සහ ලිමංසා ශ්‍රී ලංකාවට ජය ගෙනේ
- Lanka T10 සටන ඇරඹෙයි
- දිල්රුවන් පෙරේරා තේරීම් කමිටුවෙන් ඉවත් වෙයි
- දෘශ්‍යාබාධිත ක්රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන ගමනට ශ්‍රී ලංකා ක්රිකට් ආයතනයේ අනුග්‍රහය
- 50+ ලෝක කුසලානයට ශ්‍රී ලංකාව සූදානම්
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භයේ සිට ම පිතිකරණයේ ස්ථාවර බවක් දැක ගැනීමට හැකි වූයේ නැහැ. ඔවුන්ගේ ඉනිමේ හොඳම ලකුණු සබඳතාව වූයේ 6 වැනි කඩුල්ලට දැහැමි සෙනෙත්මා සහ රශ්මිකා සෙව්වන්දි එක් ව පන්දු 25කට එක් කළ ලකුණු 25යි.
එහි දී රශ්මිකා සෙව්වන්දි පන්දු 23කට හතරේ පහරක් සමඟින් ලකුණු 20ක් එක් කළ අතර දැහැමි සෙනෙත්මා පන්දු 11කට ලකුණු 9ක් ලබා ගත්තා.
ආරම්භක පිතිකාරිනී සංජනා කාවින්දි පන්දු 13කට හතරේ පහර 5ක් සමඟින් ලකුණු 21ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූවා. ඊට අමතර ව ලිමංසා තිලකරත්න පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 16ක් ද සහ සුමුදු නිසංසලා පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 15ක් ද ලබා ගත්තා.
අනෙක් කිසිදු පිතිකාරිනියකට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවයකට පිවිසීමට නොහැකි වූ අතර පන්දු යැවීමේ දී Sumaiya Akter ලකුණු 12කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Farjana Easmin සහ Nishita Akter Nishi කඩුලු 2ක් බැගින් ද Afia Ashima කඩුල්ලක් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 9ක් දැවී 122 (17.0) Mosammat Eva 18, Sumaiya Akther 24, Afia Ashima 25, Sadia Akter 31, රශ්මිකා සෙව්වන්දි 4/23, ප්‍රමුදි මෙත්සරා 2/11, අසේනි තලගුණේ 2/20
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 8ක් දැවී 94 (17.0) සංජනා කාවින්දි 21, රශ්මිකා සෙව්වන්දි 20, Nishita Akter Nishi 2/16, Farjana Easmin 2/12, Sumaiya Akter 3/12
තරගයේ වීරයා – Nishita Akter Nishi (බංග්ලාදේශය)
ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<