ආසියානු ක්‍රිකට් කවුන්සිලය පළමු වරට සංවිධානය කරනු ලැබූ වයස අවුරුදු 19න් පහළ විස්සිය විස්ස ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරියන් බවට පත් වීමට ඉන්දීය ක්‍රීඩිකාවෝ අද (22) සමත් වුනා.
මැලේසියාවේ Kuala Lumpur හී Bayuemas Oval හි දී පැවැති අවසන් මහා තරගයේ ප්‍රතිවාදීන් වූ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි ව ලකුණු 41ක ජයග්‍රහණයක් ලබා ගනිමින් ඔවුන් මෙම ශූරතාවට හිමිකම් කිව්වා.
කාසියේ වාසිය ලබා ගත් බංග්ලාදේශ නායිකාවගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩිකාවෝ කඩුලු 7ක් දැවී ලකුණු 117ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 76ක් පමණයි.
ඉන්දීය ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකාරිනි Gongadi Trisha පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 52ක් ලබා ගත්තා. එය ඇය මෙම තරගාවලියේ දී ලබා ගත් 2 වැනි අර්ධ ශතකයයි මේ. ඊට පෙර ද ඇය අර්ධ ශතකය වාර්තා කරන්නේ බංග්ලාදේශයට ම වීම විශේෂයි.
ඉන්දීය ඉනිමේ ලකුණු 25කට කඩුලු 2ක් දැවී ගොස් තිබිය දී Gongadi Trisha සහ නායිකා Niki Prasad එක් ව 3 වැනි කඩුල්ලට ලකුණු 41ක සබඳතාවක් එක් කිරීම කැපී පෙණුනා. එහි දී Niki Prasad පන්දු 21කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 12ක් ලබා ගත්තා.
ඉන්දීය ලකුණු පුවරුව ඉහළ දැමීමේ දී Mithila Vinod ද වැඩි දායකත්වයක් දැක් වූවා. ඇය පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 17ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී දකුණතින් වේග පන්දු යැවූ Farjana Easmin ලකුණු 31කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව Nishita Akter Nishi කඩුලු 2ක් ද සහ Habiba Islam කඩුල්ලක් ද දවා ගත්තා.
- තරගාවලියෙන් ඉවතට ගිය මනුදිලාගෙන් සුපිරි දක්ෂතා
- ශ්‍රී ලංකා ගමන ඉන්දියාව හමුවේ නතර වේ
- ශ්‍රී ලංකා – නේපාල තරගයට වර්ෂාව හරස් වේ
- ශ්‍රී ලංකාව බංගලි ළලනුන්ට පරාජය වෙයි
- මනුදි සහ ලිමංසා ශ්‍රී ලංකාවට ජය ගෙනේ
බංග්ලාදේශ පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ Juairiya Ferdous. ඇය පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 22ක් ලබා ගත්තා. ඊට අමතර ව ආරම්භක පිතිකාරිනී Fahomida Choya පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 18ක් ලබා ගත්තා.
බංග්ලාදේශ ඉනිමේ අනෙක් කිසිදු පිතිකාරිනියකට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට ඉන්දීය පන්දු යවන්නියෝ ඉඩ නොදුන් අතර එහි දී තවමත් 17 වැනි වියේ පසුවෙන වමතින් දඟ පන්දු යැවූ Aayushi Shukla ලකුණු 17කට කඩුලු 3ක් බිඳ දැමුවා.
ඊට අමතර ව Parunika Sisodia සහ Sonam Yadav කඩුලු 2ක් බැගින් ද VJ Joshitha කඩුල්ලක් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – කඩුලු 7ක් දැවී 117 (20.0) Gongadi Trisha 52, Mithila Vinod 17, Nishita Akter Nishi 2/23, Farjana Easmin 4/31
බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – සියලුම දෙනා දැවී 76 (18.3) Fahomida Choya 18, Juairiya Ferdous 22, Parunika Sisodia 2/12, Aayushi Shukla 3/17, Sonam Yadav 2/13
ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමට ලකුණු 41ක ජයක්.
තරගයේ විරයා – Gongadi Trisha (ඉන්දියාව)
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<