තරගාවලියෙන් ඉවතට ගිය මනුදිලාගෙන් සුපිරි දක්ෂතා

ACC Under-19 Women's T20 Asia Cup

105
ACC Under-19 Women's T20 Asia Cup

ආසියානු ක්‍රිකට් කවුන්සිලය පළමු වරට සංවිධානය කරනු ලැබූ වයස අවුරුදු 19න් පහළ විස්සිය විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයට පිවිසි ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ ඉන් තම තරග සංචාරය අවසන් කළත් තරගාවලියේ සුපිරි දක්ෂතා අතරට එක්විමට සමත් වීම කැපී පෙණුනා.  

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ආසියානු කුසලාන ගමන් මඟ

  ප්‍රතිවාදීන් තරගයේ ප්‍රතිඵලය
1 මැලේසියාව ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 94ක ජයක්.
2 බංග්ලාදේශ බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 28ක ජයක්.
3 නේපාලය තරගයේ විසඳුමක් නෑ.
4 ඉන්දියාව ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට කඩුලු 4ක ජයක්.

තරගාවලියේ මේ වෙද්දී අවසන් මහා තරගය සඳහා ඉන්දියාව සහ බංග්ලාදේශය සුදුසුකම් ලබා ඇති අතර එහි තෙවැනි ස්ථානය නේපාල කණ්ඩායමට හිමි ව තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ හිමි වූ ස්ථානය 4 වැන්නයි.

එසේ වූවත් සමස්ත තරගාවලියේ වාර්තාගත ඉසව් කිහිපයක ම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මෙන් ම කණ්ඩායමේ දක්ෂතා ද පෙරමුණට පිවිස තිබෙනවා. වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන පළමු අවස්ථාවේ ම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කුසලාන බලාපොරොත්තු අහිමිකර ගත්ත ද අනෙකුත් කණ්ඩායම් පෑ දක්ෂතා අතරට පිවිසීමටත් සහ ඔවුන් අභිබවා යෑමට සමත් වීමත් කැපී පෙණුන අතර එය අගය කළ යුතුයි.

තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා අතර සත්කාරක මැලේසියා කණ්ඩායම සමඟ පැවැති තරගාවලියේ මංගල තරගයේ දී ඔවුන්ට

එරෙහි ව කඩුලු 4කට ලකුණු 153ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා. එය  මෙවර තරගාවලියේ මෙතෙක් කණ්ඩායමක් විසින් ප්‍රතිවාදී කණ්ඩායමකට එරෙහි ව ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව ලෙසයි සටහන් වෙන්නේ.

එහි 2 වැනි ස්ථානය මැලේසියාවට එරෙහි ව කඩුලු 5කට ලකුණු 149ක් ලබා ගත් බංග්ලාදේශයට ද සහ 3 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට එරෙහි ව බංග්ලාදේශය කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු 122ට ද හිමි වෙනවා.

එමෙන් ම ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති එම තරගයේ දී බංග්ලදේශය කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු 122ත් සහ ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී ලබා ගත් ලකුණු 94ත් එක් ව එකතු ව වන ලකුණු 216 මෙතෙක් තරගාවලියේ කණ්ඩායම් 2ක් එක් ව ලබා ඇති ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් ව තිබෙනවා.

මෙම ලැයිස්තුවේ 2 වැනි ස්ථානයට නැවතත් ශ්‍රී ලංකාව එක් වීම කැපී පෙනෙනවා. එහි දී ප්‍රතිවාදීන් වන්නේ මැලේසියාවයි. ඔවුන් (59/6) හා සමඟ පැවැති තරගයේ දී දෙරට ක්‍රීඩිකාවෝ ලකුණු 212ක් ලබා ගන්නවා. ‍

මෙම ලැයිස්තුවේ 3 වැනි ස්ථානය පාකිස්තානය කඩුලු 5ක් දැවී ලබා ගත් ලකුණු 104ක් සහ නේපාලය කඩුලු 4ක් දැවී ලබා ලත් ලකුණු 105ත් එකතුව ලබා ගත් ලකුණු 209ට හිමි වෙනවා.

මෙතෙක් නිමා වී ඇති තරගාවලියේ දී රශ්මිකා සෙව්වන්දි උඩ පන්දු 5ක් රැක ගෙන ඇති අතර ඇය එම දක්ෂතාවත් සමඟින් තරගාවලියේ වැඩිම උඩ පන්දු රැක ගත් ක්‍රීඩිකාව බවට ද පත් ව සිටිනවා.

මෙම තරගාවලියේ දී මැලේසියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා තරගයේ දී මනුදි නානායක්කාර සහ ලිමංසා තිලකරත්න 5 වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවී ලකුණු 109ක සබඳතාවක් ගොඩ නැගූ අතර එය මෙවර තරගාවලියේ මෙතෙක් ඕනෑ ම කඩුල්ලක් සඳහා වන ඉහළ ම ලකුණු සබඳතාව බවට ද පත් ව තිබෙනවා.

මේ සියල්ල සමඟින් මෙවර තරගාවලියේ මේ දක්වා වැඩිම ලකුණු ලබා ගත් පිතිකාරිනියන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානයේ පසුවීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායිකා මනුදි නානායක්කාර සමත් ව සිටීම සුවිශේෂයි. ඇය සහභාගී වූ තරග 4ක ඉනිම් 3ක දී ලකුණු 112ක් ලබා ගනිමින් මෙම ලැයිස්තුවේ පළමු අසුන හිමිකර ගෙන සිටිනවා.

මනුදි මේ ලෙසින් දක්ෂතා දක්වද්දී ඉන්දීය වසය අවුරුදු 19න් පහළ කණ්ඩායමේ Gongadi Trisha ලකුණු 107ක් ලබා ගනිමින් එහි 2 වැනි ස්ථානය ද සහ නේපාල වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ Puja Mahato ලකුණු 81ක් ලබා ගනිමින් එහි 3 වැනි ස්ථානයට පත් ව සිටිනවා.

මනුදි ගේ ඉනිම් අතරට සත්කාරක මැලේසියා කණ්ඩායමට එරෙහි ව පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලබා ගත් ලකුණු 74ක් ද ඇතුලත්. එය ඇය ගේ මෙන් ම මෙම තරගාවලියේ ක්‍රීඩිකාවක් ලැබූ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද මෙතෙක් පත් ව තිබෙනවා.

ඊට අමතර ව ඇය සුපිරි 4 වටයේ ඉන්දියාව සමඟින් පැවැති තරගයේ දී ද පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 33ක් ලබා ගන්නවා.

මෙම ඉනිම් ඇයගේ දිගු ගමනක පෙර නිමිති පහළ කරන්නක් බවට පත් වීම විශේෂත්වයක්.

එමෙන් ම ඇය ට අමතර ව තරගාවලියට එක් වූ ක්‍රීඩිකාවන් අතුරින් තවත් දක්ෂ ක්‍රීඩිකාවක ලෙසින් ඇගයීමට ලක්වීමට ලිමංසා තිලකරත්න ද සමත් වුනා. ඇය තමන් සහභාගී වූ තරග 4 දී ලකුණු 58ක් ලබා ගැනීමට සමත් වෙනවා. මේ අතර ඇයගේ වැඩිම ලකුණු සංඛ්‍යාව බවට පත් වුනේ සත්කාරක මැලේසියා කණ්ඩායමට එරෙහි ව පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලබා ගත් ලකුණු 41යි.

ඊට අමතර ව කඩුලු රැකීමේ ද නිරත වූ සුමුදු නිසංසලා තරග 4ක දී ලකුණු 39ක් ද සහ තවමත් 16 හැවිරිදි වියේ පසුවෙන සංජනා කාවින්දි ලකුණු 35ක් ලබා ගනිමින් ද දක්ෂතා දැක් වූවා.

තරගාවලියේ වැඩිම කඩුලුලාභී ශ්‍රී ලංකා ක්‍රීඩිකාව වූයේ දකුණතින් මඳ වේග පන්දු යැවූ රශ්මිකා සෙව්වන්දි. ඇය තරගාවලියේ 4කට සහභාගී වෙමින් කඩලු 5ක් දවා ගනිමින් මෙම ලැයිස්තුවට එකු වුනා.

බංග්ලාදේශය හා සමඟ තරගයේ දී ලකුණු 23කට කඩුලු 4ක් දවා ගන්නා ලද ඇය මෙම තරගාවලියේ මෙරට පන්දු යවන්නියන් අතුරින් පෑ ඉහළ ම දක්ෂතාව දැක්වීමට ද සමත් වුනා.

මෙම ලැයිස්තුවේ 2 වැනි ස්ථානය තවමත් 15 හැවිරිදි වියේ පසුවෙන වමතින් දඟ පන්දු යවන චමෝදි ප්‍රබෝධා හිමිකර ගත්තා. ඇය තමන් සහභාගී වූ තරග 4 ඉනිම 3 දී කඩුලු 4ක් දවා ගන්නේ ප්‍රබල ඉන්දියාවට එරෙහි ව ලකුණු 16කට කඩුලු 3ක් ද දවා ගනිමිනුයි.

ඊට අමතර ව හිරුණි හංසිකා, අසේනි තලගුණේ සහ ප්‍රමුදි මෙත්සරා කඩුලු 3ක් බැගින් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ දක්ෂතා දැක් වූ ක්‍රීඩිකාවන්ට ThePapare වෙතින් උණුසුම් සුබ පැතුම්!

ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන අවසන් මහා තරගය හෙට (22) Kuala Lumpur  හී Bayuemas Oval හි දී පැවැත් වීමට නියමිතයි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<