Colombo North යොවුන් ශූරයන් වෙයි

56
U19 Sri Lanka Youth League Tournament 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ වයස අවුරුදු 19න් පහළ Youth League එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී Colombo South කණ්ඩායමට එරෙහිව ලකුණු 8ක ජයග්‍රහණයක් ලබා ගත් Colombo North කණ්ඩායම එහි ශූරතාව දිනා ගැනීමට සමත් වූවා.

කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී (01) පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Colombo North කණ්ඩායම ලබා ගත් ලකුණු 123ට පිළිතුරු ලෙසින් ප්‍රතිවාදී Colombo South කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 115ක් පමණයි.

Colombo North කණ්ඩායම – ඉනුක කරන්නාගොඩ (නායක), කවිඳු අමමෙත්, තනුජ රාජපක්ෂ, මොහොමඩ් මුර්ෂාඩ්, කිත්ම විදානපතිරණ, ඉනෝෂ් ජෙලොන්, ශානික්‍ය දේශප්‍රිය (කඩුලු රකින්නා), යොහාන් ප්‍රනාන්දු, යෙනුල දෙව්තුෂ, කවීෂ මෙන්ඩිස්, විශ්ව දනංජය.

Colombo South කණ්ඩායම – සහන් කෞශල්‍ය (නායක), ගවිරු සෙන්හස්, රිවිත් ජයසූරිය, රෙහාන් පීරිස්, දෙනෙත් පීරිස්, දිනෙත් සිතුමිණ (කඩුලු රකින්නා), ආකාශ් ප්‍රනාන්දු, උශාන් සත්සර. අචේල පෙරේරා, රසික දිල්ශාන්, හිරුෂ ප්‍රනාන්දු.

කාසියේ වාසිය දිනා ගත් Colombo South කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Colombo North කණ්ඩායමේ පළමු කඩුල්ල පළමු පන්දුවේ දී ම දවා ගනිමින් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට Colombo South කණ්ඩායම සමත් වූවා. අනතුරු ව Colombo North කණ්ඩායමේ 2 වැනි කඩුල්ල ද ලකුණු 14ක් වෙද්දී දවා ගැනීමට ප්‍රතිවාදීන්ට හැකි වූනා.

ඔවුන්ගේ ඉනිමේ යම් ප්‍රමාණයකින් හෝ අස්වැසිල්ලක් වූයේ 3 වැනි කඩුල්ලට එක් වූ ලකුණු 47යි. ආරම්භක පිතිකරු තනුජ රාජපක්ෂ සහ කිත්ම විදානපතිරණ එක් ව පන්දු 46කින් ගොඩ නැගූ එම සබඳතාව ඉනිමේ හොඳම ලකුණු සබඳතාව ද වූවා.

තනුජ රාජපක්ෂ පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 38ක් ලබා ගත් අතර කිත්ම විදානපතිරණ පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 16ක් ලබා ගත්තා.

ඊට අමතර ව මැදි පෙළින් පිටියට පිවිසි යොහාන් ප්‍රනාන්දු පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 17ක් ලබා ගන්නවා.

පන්දු යැවීමේ දී Colombo North ඉනිමේ 29 වැනි පන්දුවාරයේ පන්දු 4ක දී කඩුලු 3ක් දවා ගැනීමට උෂාන් සත්සර සමත් වීම කැපී පෙණුනා. ඔහු තම පන්දු යැවීම අවසන් කරන්නේ එම කඩුලු 3 ලකුණු 07කට සීමා කරමින් දවා ගනිමිනුයි.

ඊට අමතර ව අචේල පෙරේරා සහ රසික ඩිල්ශාන් කඩුලු ද්විත්වය බැගිනුත් සහ සහන් කෞෂල්‍ය සහ ආකාශ් ප්‍රනාන්දු කඩුල්ල බැගිනුත් දවා ගන්නවා.

පහසු ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි Colombo South කණ්ඩායමේ ආරම්භය ඉතා විශිෂ්ට මට්ටමේ වූවත් පසු පෙළින් වූ පසු බැසීම ඔවුන්ගේ පරාජයට බලපෑවා. එහි දී ඔවුන්ගේ පන්දු යවන්නන් ගේ වික්‍රමාන්විත හරඹයට ද කිසිදු වටිනාමක් ලැබුණේ නැහැ.

ආරම්භක පිතිකරුවන් වූ ගවිරු සෙන්හස් සහ රිවිත් ජයසූරිය පළමු කඩුල්ලට පන්දු 33ක දී ලකුණු 46ක සබඳතාවක් එක් කරමින් තරගයේ ජයග්‍රහණය පෙනෙන මානයට රැගෙන ගියා.

එහි දී රවින් ජයසූරිය පන්දු 44ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 28ක් ලබා ගත් අතර ගවිරු සෙන්හස් පන්දු 17ක දී හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 24ක් ලබා ගත්තා.

ඊට පසුව Colombo South කණ්ඩායමේ කැපී පෙණෙන ඉනිමක් නිරත වූයේ ආකාශ් ප්‍රනාන්දු පමණයි. ඔහු පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තා.

ඔහු අචල පෙරේරා (නොදැවී 11) සමඟ 8 වැනි කඩුල්ලට පන්දු 37කට ලකුණු 23ක සබඳතාවක් ගොඩ නගමින් නැවත තරගයේ වාසිය තම කණ්ඩායම වෙතට හරවා ගත්ත ද ආකාශ් ගේ දැවී යෑමත් සමඟ නැවත ඔවුන්ට හිස එසවීමට Colombo North පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ.

එහි දී ලකුණු 16කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීමට යෙනුල දෙව්තුස සමත් වූවා. ඊට අමතර ව ඉනුක කරන්නාගොඩ, විශ්ව දනංජය සහ කවීෂ මෙන්ඩිස් කඩුලු ද්විත්වය බැගිනුත් සහ කිත්ම විදානපතිරණ කඩුල්ලක් ද දවා ගනිමින් Colombo North කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Colombo North – සියලුම දෙනා දැවී 123 (29.5) තනුජ රාජපක්ෂ 38, යොහාන් ප්‍රනාන්දු 17, රසික ඩිල්ශාන් 2/34, උශාන් සත්සර 3/07, අචේල පෙරේරා 2/17

Colombo South – සියලුම දෙනා දැවී 115 (30.0) ගවිරු සෙන්හස් 24, රවිත් ජයසූරිය 28, ආකාශ් ප්‍රනාන්දු 25, කවීෂ මෙන්ඩිස් 2/39, විශ්ව දනංජය 2/32, ඉනුක කරන්නාගොඩ 2/19, යෙනුල දෙව්තුෂ 3/27

Colombo North කණ්ඩායමට ලකුණු 8ක ජයක්.

  • තරගයේ වීරයා – යෙනුල දෙව්තුෂ (Colombo North)
  • තරගාවලියේ වීරයා -රන්දුල් සමරහේවා (Galle)
  • තරගාවලියේ දක්ෂතම පිතිකරු – දර්ශක සංදීප් (Galle)
  • තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – සහන් කෞශල්‍ය (Colombo South)

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<