රන්දුල්, දර්ශක සහ සහන් Youth පිටියේ වැඩ පෙන්වයි

U19 Sri Lanka Youth League Tournament 2024

28
U19 Sri Lanka Youth League Tournament 2024

රන්දුල් සමරහේවා, දර්ශක සංදීප් සහ සහන් කෞශල්‍ය ගේ දක්ෂතාවලින් සපිරි වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් League එක්දින ක්‍රිකට් තරගාවලිය පසුගියදා අවසන් වෙන්නේ Colombo North කණ්ඩායමට ජයග්‍රහණය ගෙන දෙමින්.

මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 5ක් එක් කර ගැණුන අතර එම කණ්ඩායම් Colombo North, Colombo South, Galle, Kandy සහ Dambulla ලෙසින් නම් කර තිබුණා. තරගාවලියේ පළමු වටයේ දී සෑම කණ්ඩායමක් ම ප්‍රතිවාදී සෑම කණ්ඩායමක් සමඟ ම තරග වැදුණ අතර වැඩිම ප්‍රසාද ලකුණු ලබා ගත් කණ්ඩායම් 2 අවසන් මහා තරගය තෝරා ගැණුනා.

ඒ අනුව තමන් මුහුණ දුන් තරග 4න් 3ක් ම ජයග්‍රහණය කරමින් සහ එක් තරගයක් වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමෙන් අනතුරු ව ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු වැනියා වූ Colombo South කණ්ඩාය සහ තරග 2ක ජයග්‍රහණයන් ද එක් තරගයක් පරාජය වෙමින් ද සහ තවත් තරගයක් වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමෙන් ද අනතුරු ව ප්‍රසාද ලකුණු පුවරුවේ 2 වැනි ස්ථානය පත් Colombo North කණ්ඩායම ද අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැති තරගාවලියේ අවසන් මහා තරගයේ දී එතෙක් අපරාජිතයන් ලෙසින් සිටි Colombo South කණ්ඩායමට එරෙහිව ලකුණ 8ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Colombo North කණ්ඩායම සමත් වූවා.

තරගාවලියේ ගමන් මඟ

  Team 1 Team 2 Results
1 Colombo North Colombo South Colombo South කණ්ඩායමට කඩුලු 5ක ජයක්.
2 Dambulla Galle විසඳුමක් නෑ.
3 Kandy Colombo North තරගය අතහැර දමන ලදි.
4 Colombo South Dambulla තරගය අතහැර දමන ලදි.
5 Galle Colombo North Colombo North කණ්ඩායමට කඩුලු 3ක ජයක්.
6 Colombo South Kandy Colombo South කණ්ඩායමට කඩුලු 7ක ජයක්
7 Galle Colombo South Colombo South කණ්ඩායමට කඩුලු 6ක ජයක්.
8 Kandy Dambulla Kandy කණ්ඩායමට ලකුණු 88ක ජයක්.
9 Galle Kandy Galle කණ්ඩායමට කඩුලු 8ක ජයක්.
10 Dambulla Colombo North Colombo North කණ්ඩායමට කඩුලු 8ක ජයක්.
අවසන් මහා තරගය
11 Colombo South Colombo North Colombo North කණ්ඩායමට ලකුණු 8ක ජයක්.

නිමා වූ තරගාවලියේ වීරයා ලෙසින් නම් කෙරෙන්නේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය නියෝජනය කරමින් ගාලු කණ්ඩායම හා එක් වූ වමත් ආරම්භක පිතිකරු රන්දුල් සමරහේවා යි.

ඔහු මෙම තරගාවලියේ දී තරග 4ක ඉනිම් 3ක දී ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 242ක්. ඊට තමන් ක්‍රීඩා කළ තරග 3 දී ම අර්ධ ශතක එක් කිරීමට රන්දුල් සමත් වෙනවා.

ඒ අනුව Colombo South කණ්ඩායමට එරෙහි ව පන්දු 99කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලබා ගත් ලකුණු 98ක්, මහනුවර කණ්ඩායමට එරෙහි ව පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් ලබා ගත් ලකුණු 80ක් සහ Colombo North කණ්ඩායමට එරෙහි ව පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලබා ගත් ලකුණු 64ක් ලෙසින් එම ඉනිම් සමන්විත වෙනවා.

ඔහුගේ මෙම දක්ෂතාවේ සාමාන්‍ය 80.67ක් ලෙසින් පවත්වා ගැනීමට ද ඔහු සමත් වෙන අතර තරගාවලියේ වැඩිම හතරේ පහර එල්ල කළ ක්‍රීඩකයා බවට පත් වෙන්නේ ද රන්දුල් සමරහේවා යි. ඔහු හතරේ පහර 28ක් එල්ල කරමින් මෙම ලැයිස්තුවේ පළමු වැනියා බවට පත් වූවා.

  • තරගාවලියේ දක්ෂතම පිතිකරු – දර්ශක සංදීප් (Galle)

තරගාවලියේ දක්ෂතම පිතිකරුවන් අතුරින් රන්දුල් සමරහේවා ට පසුව ලැයිස්තු ගත වෙන්නේ තවත් ගාලු ක්‍රීඩකයෙක් වූ දර්ශක සංදීප්. රත්ගම දේවපතිරාජ විද්‍යාලය නියෝජනය කරන ඔහු මෙම තරගාවලියේ තරග 4ක ඉනිම් 3ක දී ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 156ක්.

ඔහුගේ ඉනිම් අතර ඉහළින් ම සටහන් වෙන්නේ මහනුවර කණ්ඩායමට එරෙහිව පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලබා ගත් ලකුණු 93යි.

ඔවුන් දෙදෙනාට අමතර ව තරගාවලියේ වැඩිම ලකුණුලාභීන් අතර 3 වැනි අසුන වෙන්කර ගෙන සිටින්නේ Colombo South කණ්ඩායමේ දෙනෙත් පීරිස්. ඔහු මෙම තරගාවලියේ දී තරග 2ක දී ලකුණු 156ක් ලබා ගනිමින් මෙම ස්ථානයට හිමිකම් කියනවා.

එමෙන් ම ඔහු තරගාවලියේ එක ම ශතකලාභියා ලෙසින් ද වාර්තා පොත් අතරට එක් වූවා. ඒ ගාල්ල කණ්ඩායමට එරෙහිව පන්දු 98කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 109ක් වාර්තා කරමිනුයි.

ඊට අමතර ව මෙම ලැයිස්තුවේ 4 වැනි ස්ථානය ලකුණු 132ක් ලබා ගත් මහනුවර කණ්ඩායම නියෝජනය කළ කවීජ ගමගේ ද සහ 5 වැනි ස්ථානය ලකුණු 124ක් ලබා ගත් Colombo North කණ්ඩායමේ තනුජ රාජපක්ෂ ද වෙන් කර ගන්නවා.

තනුජ රාජපක්ෂ තරගාවලියේ තරග 3ක දී හයේ පහර 8ක් එල්ල කරමින් තරගාවලියේ වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා ලෙසින් ඉදිරියෙන් ම සිටිනවා.

  • තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – සහන් කෞශල්‍ය (Colombo South)

තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් නම් කෙරෙන්නේ Colombo South කණ්ඩායමේ සහන් කෞෂල්‍ය. ඔහු මෙම තරගාවලියේ දී තරග 3ක දී කඩුලු 9ක් ලබා ගනිමින් මෙම සම්මානයට හිමිකම් කියනවා.

කොළඹ ලුම්බිණි විද්‍යාලය නියෝජනය කරන සහන් කෞශල්‍ය දකුණතින් පිට දඟ පන්දු යවමින් මෙම දක්ෂතාව සිදු කළා. මෙම තරගාවලියේ ඔහුගේ දක්ෂතා අතර ඉදිරියෙන් ම තැබෙන්නේ Colombo North කණ්ඩායමට එරෙහිව පළමු වටයේ දී ලකුණු 20කට දවා ගත් කඩුලු 4යි.

මෙම ලැයිස්තුවේ 2 වැනි ස්ථානය හිමි වෙන්නේ තවත් Colombo South පන්දු යවන්නෙක් වූ හිරුෂ ප්‍රනාන්දු ට. ඔහු මෙම ලැයිස්තුවේ මෙම ස්ථානයට හිමිකම් කියන්නේ කඩුලු 8ක් දවා ගනිමින් පෑ දක්ෂතාව හේතුවෙනුයි.

ඊට පසුව මෙම ලැයිස්තුව හා එක් වෙන්නේ තරග 3ක දී කඩුලු 7ක් දවා ගත් Colombo North කණ්ඩායමේ විශ්ව ධනංජය යි. කළුතර විද්‍යාලයෙන් මෙම කණ්ඩායම හා එකතු වූ විශ්ව ධනංජය දකුණතින් මඳ වේග පන්දු යවමින් මෙම දක්ෂතාව දැක් වූ අතර ඔහු තරගාවලියේ පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතාව ද දැක් වීමට සමත් වූවා.

ඒ දඹුල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 25කට කඩුලු 5ක් දවා ගනිමිනුයි.

මේ තිදෙනාට අමතර ව මෙම ලැයිස්තුවේ 4 වැනි ස්ථානය කඩුලු 6ක් දවා ගත් Colombo North කණ්ඩායමේ කිත්ම විදානපතිරණ ද සහ 5 වැනි ස්ථානය කඩුලු 5ක් දවා ගත් Colombo South කණ්ඩායමේ අචේල පෙරේරා ද සතු වූවා.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<