නාලන්ද, මාරිස්ටෙලා සහ කෝට්ටේ ජනාධිපති විද්‍යාල වලින් වැඩි දස්කම්

605
U19 Schools Cricket
ඉසිපතන පරදා ජය නාලන්දට

2016/17 සිංගර් 19න් පහළ පාසල් ක්‍රිකට් තරග වාරයේ අද (4) පැවති තරග 3ක් ජය පරාජයෙන් තොරව නිමාවූ අතර එම තරග වලින් ප්‍රථම ඉනිමේ ජයග්‍රහණ වාර්තා කරන්නට කොළඹ නාලන්ද, කෝට්ටේ ජනාධිපති සහ මාරිස්ටෙලා විද්‍යාල සමත් විය. අනෙක් තරගය අද ප්‍රථම දිනයට ක්‍රියාත්මක විය.

පසුගිය ලිපි: කෝට්ටේ ජනාධිපති, කොළඹ නාලන්දා දිනයේ වැඩි වාසි අත්කර ගනි

කොළඹ නාලන්ද විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර තරගය

නාලන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවත් ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය සත්කාරක නාලන්දා විද්‍යාලය සතු විය.

ඊයේ උදෑසන ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉසිපතන ක්‍රීඩකයින්ට රැස් කරගත හැකි වූයේ ලකුණු 135ක් පමණි. ඒ වෙනුවෙන් කළණ පෙරේරා පන්දු 48කදී ලකුණු 47ක් රැස් කරන්නට සමත් වූ අතර සුපිරි පන්දු යැවීමක නිරත වුනු නාලන්ද විද්‍යාලයේ වමත් දඟ පන්දු යවන ක්‍රීඩක කවීෂ් මදුරප්පෙරුම ලකුණු 10කට කඩුලු 5ක් බිඳ හෙලමින් නාලන්ද විද්‍යාලයට වැඩි වාසි හිමිකර දීමට සමත් විය.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කල නාලන්ද පිතිකරුවන් සියලු දෙනාම දැවී රැස්කල ලකුණු සංඛ්‍යාව 149කි. ඒ වෙනුවෙන් නායක දසුන් සෙනවිරත්න ලකුණු 35කින් ද, සුහඟ විජේවර්ධන ලකුණු 33කින් ද දායක විය. පන්දු යැවීමේදී ලහිරු ඩිල්ශාන් ලකුණු 44කට කඩුලු 3ක් බිඳ හෙලුවේය.

නාලන්ද ප්‍රථම ඉනිමට වඩා ලකුණු 14ක් පිටුපසින් සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹූ ඉසිපතන පිතිකරුවෝ දිනය නිමාවන විට සියල්ලන්ම දැවී ලකුණු 272ක් රැස් කළහ. ඉසිපතනයේ දෙවැනි ඉනිම සංයමයකින් යුතුව ගොඩ නගමින් සුපිරි ඉනිමක් ක්‍රීඩා කල අයන සිරිවර්ධන හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමගින් පන්දු 130ක් තුලදී ලකුණු 121ක් රැස් කිරීමට සමත් විය. පන්දු යැවීමේදී කවීෂ මදුරප්පෙරුම කඩුලු 4ක් දවාලීය.

ඉසිපතන විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 135 (පන්දුවාර 36.1) කළණ පෙරේරා 47, මනීෂ රූපසිංහ 44, සංජුල බණ්ඩාර 23, කවීෂ් මදුරප්පෙරුම 5/10, උමෙෂ්ක ඩිල්ශාන් 2/16, කළණ පෙරේරා 2/41.

නාලන්දා විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 149 (පන්දුවාර 51) සුහඟ විජේවර්ධන 33, දසුන් සෙනවිරත්න 35, ලක්ෂිත රසාංජන 24, ලහිරු ඩිල්ශාන් 3/44, සංජුල බණ්ඩාර 2/8, හේෂාන් ප්‍රනාන්දු 2/28.

ඉසිපතන විද්‍යාලය (දෙවන ඉනිම) සියල්ලන්ම දැවී ලකුණු 272 (පන්දුවාර 71.1) අයන සිරිවර්ධන 121, කළණ පෙරේරා 41, ලෙශාන් අමරසිංහ 35, කවීෂ මදුරප්පෙරුම 4/71, ලක්ෂිත රසාංජන 3/37.


අනුරාධපුර මධ්‍ය විද්‍යාලය සහ කෝට්ටේ ජනාධිපති විද්‍යාලය අතර තරගය

අනුරාධපුර මධ්‍ය විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වුනු මෙම තරගය අද උදෑසන දෙවන දිනයට ආරම්භ කරන විටත් තරගයේ වැඩි වාසිය කෝට්ටේ ජනාධිපති විද්‍යාලය හිමි කරගෙන සිටියහ.

ඊයේ උදෑසන භාගයේ කාසියේ වාසිය තමන් සතු කරගත් ජනාධිපති විද්‍යාලීය ක්‍රීඩකයෝ ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමේ අවස්ථාව අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට ලබා දුන්හ. ඒ අනුව පිටියට පිවිසි අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ පිතිකරුවන්ට සියල්ලන්ම දැවී ලබාගත හැකි වූයේ ලකුණු 125ක් පමණි. විස්මිත පන්දු යැවීමක නිරත වුනු රිෆාස් මවුරූස් ලකුණු 34ක් පමණක් ලබා දෙමින් ප්‍රතිවාදී පිතිකරුවන් සත් දෙනෙකු ක්‍රීඩාගාරයේ විවේක ගන්වන්නට සමත් වූයේ සිය විදුහල් ක්‍රීඩා පිටිය තුලදීම ඔවුන්ව අසරණ කරමිනි.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ කෝට්ටේ ජනාධිපති විද්‍යාල පිතිකරුවන් සියල්ලන් දැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 225කි. ගනිඳු දෙව්මිණ අගනා අර්ධ ශතකයක් සිය පාසල වෙනුවෙන් වාර්තා කරද්දී හෂාන් (47) සහ කසුන් (33) ඔහුට සහාය දක්වන ලදී. පන්දු යැවීමේදී රවින්ත (4/38) සහ මධුරංග (4/42) අතරේ කඩුලු 4 බැගින් බෙදී ගියේය.

අද දිනයේ සිය දෙවන ඉනිම සඳහා පිටියට පිවිසුණු අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ පිතිකරුවන් සියලු දෙනාම දැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 143කි. නැවත වතාවක් ක්‍රියාත්මක වූ රිෆාස් මවුරූස් ලකුණු 37කට කඩුලු 6ක් බිඳ හෙලන්නට සමත් විය. ඒ අනුව ඔහු තරගය පුරාවට බිඳ හෙලූ කඩුලු ගණන 13ක් බවට පත්විය.

දිනය නිමාවන විට දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ජනාධිපති විද්‍යාලීය පිතිකරුවෝ කඩුලු 2ක් දැවී ලකුණු 44ක් රැස් කරගෙන සිටියහ. ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය, තරගය පුරා වැඩි දස්කම් දැක්වූ කෝට්ටේ ජනාධිපති විද්‍යාලය සතු විය.

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 125 (පන්දුවාර 31) ලහිරු ලියනගේ 28, රිෆාස් මවුරූස් 7/34.

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 225 (පන්දුවාර 47) හෂාන් ප්‍රියදර්ශන 47, ගනිඳු දෙව්මිණ 50, කසුන් මාලිංග 33, රවින්ත ප්‍රභාෂ්වර 4/38, මධුරංග චන්ද්‍රරත්න 4/42.

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය (දෙවැනි ඉනිම) සියල්ලන්ම දැවී ලකුණු 143 (පන්දුවාර 32.4) ධනංජය තම්මිට 24, හේෂාන් සෙනිර 20*, රිෆාස් මවුරූස් 6/37, ප්‍රමුක ගයාශාන් 2/32.

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය (දෙවැනි ඉනිම) කඩුලු 2ක් දැවී ලකුණු 44 (7.5) සචිත ලියනගේ 26*.


වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ මාරිස්ටෙලා විද්‍යාලය අතර තරගය

ඊයේ දිනය පුරා ජය පරාජය දෙපසට දෝලනය වෙමින් ගලාගෙන ගිය මෙම තරගය කටුනේරිය සාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. තරගය පුරාවටම පිත්තෙන් සහ පන්දුවෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ලසිත් කෘස්පුල්ලේගේ හැකියාවන් නිසාවෙන් මෙම තරගයේ ප්‍රථම ඉනිමේ ජය මාරිස්ටෙලා විද්‍යාලය නමින් ලියැවිණි.

ඊයේ උදෑසන කාසියේ වාසිය තමන් සතු කරගත් මාරිස්ටෙලා විද්‍යාලයේ ආරාධනයට අනුව ජෝසප් වාස් ක්‍රීඩකයින් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසුණි. ඒ අනුව ඔවුන් සිය ප්‍රථම ඉනිම සඳහා රැස් කල ලකුණු සංඛ්‍යාව 172කි. ධනංජය පෙරේරා ලකුණු 48කින් සහ අංජන රුක්මාල් ලකුණු 43කින් ජෝසප් වාස් ඉනිම ශක්තිමත් කරද්දී ලසිත් කෘස්පුල්ලේ කඩුලු 3ක් දවා ගනිමින් ජෝසප් වාස් ඉනිම බිඳ හෙලීමට උත්සාහ ගත්තේය.

අද උදෑසන තරගය ආරම්භ කරන විට සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන මාරිස්ටෙලා පිතිකරුවෝ කඩුලු 6ක් දැවී ලකුණු 141ක් රැස් කරගෙන සිටියහ. එය ජෝසප් වාස් ප්‍රථම ඉනිම ඉක්මවූ සාර්ථක ඉනිමක් බවට පරිවර්තනය කරගන්නට ඔවුහු අද දිනයේ සමත්කම් දැක්වූහ. ලසිත් කෘස්පුල්ලේ ලකුණු 67ක් රැස් කරද්දී සාර්ථක ලෙස පන්දුවට පහර දුන් කෙවින් පෙරේරා නොදැවී ලකුණු 47ක් රැස් කලේය. සදීශ පෙරේරා ලකුණු 48යි. පන්දු යැවීමේදී මධුෂාන් රණතුංග කඩුලු 3ක් බිඳ හෙලන ලදී.

තරගයේ නිමාව සටහන් වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ජෝසප් වාස් පිතිකරුවන් කඩුලු 8ක් දැවී ලකුණු 205ක් රැස් කරගෙන සිටියහ. ඒ වෙනුවෙන් ධනංජය පෙරේරා ලකුණු 94කින් දායක වෙද්දී තරගය පුරා සුපිරි දස්කම් ප්‍රකට කල ලසිත් කෘස්පුල්ලේ ජෝසප් වාස් කඩුලු 4ක් බිඳ හෙලීමට සමත් විය.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 172 (පන්දුවාර 59.3) ධනංජය පෙරේරා 48, අංජන රුක්මාල් 43, මධුෂාන් රණතුංග 26, ලසිත් කෲස්පුල්ලේ 3/28, සචිඳු කොළඹගේ 2/14, සංඛ පූර්ණ 2/16.

මාරිස්ටෙලා විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 242 (පන්දුවාර 67.5) ලසිත් කෲස්පුල්ලේ 67, කෙවින් පෙරේරා 47*, සදීශ පෙරේරා 48, අශාන් ප්‍රනාන්දු 25, මධුෂාන් රණතුංග 3/47, ධනංජය පෙරේරා 2/42, කණිෂ්ක නානායක්කාර 2/53

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 8ක් දැවී ලකුණු 205 (පන්දුවාර 65) ධනංජය පෙරේරා 94, මධුෂාන් රණතුංග 65, ලසිත් කෲස්පුල්ලේ 4/67, පසිඳු මාධව 4/60.


බණ්ඩාරනායක විද්‍යාලය සහ කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය අතර තරගය

අද ප්‍රථම දිනයට ක්‍රියාත්මක වූ මෙම තරගය කදිරාන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. කාසියේ වාසිය දිනාගත් බණ්ඩාරනායක විද්‍යාලය ප්‍රථමයෙන් පන්දුවට පහර දීම තෝරාගත් අතර ඔවුන් එහිදී රැස්කල ලකුණු සංඛ්‍යාව 138කි. සසිරි අධිකාරි ලකුණු 39ක් රැස් කරද්දී ලසිත උඩහගේ ලකුණු 48කට කඩුලු 4ක් බිඳ හෙලන්නට සමත් විය.

පිලිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි සාන්ත මරියා විද්‍යාලයේ පිතිකරුවන්ට සිදු වූයේ සිය ඉනිම බණ්ඩාරනායක ඉනිමට වඩා එක් ලකුණක් පසුපසින් සිටියදී නිමා කරන්නටයි. ඒ අනුව ප්‍රථම ඉනිමේ ජය එක් ලකුණකින් බණ්ඩාරනායක විද්‍යාලය සතු විය.

නමුත් දෙවන ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි බණ්ඩාරනායක පිතිකරුවන් දිනය නිමාවන විට ලකුණු 19කට කඩුලු 5ක් දැවී අතිශය අසීරු තත්වයක පසුවේ. එබැවින් හෙට දිනයේදී බණ්ඩාරනායක විද්‍යාලයේ පිතිකරුවන්ට හොඳ ලකුණු සබඳතාවයක් පැවැත්විය නොහැකි වුවහොත් මෙම තරගයේ අවසන් ප්‍රතිඵලය සාන්ත මරියා විද්‍යාලය දෙසට හැරීම නතර කල නොහැකි වනු ඇත. බණ්ඩාරනායක දෙවන ඉනිම සුණුවිසුණු කල ලසිත උඩහගේ මේ වන විට ලකුණු 7කට කඩුලු 5ක් දවාගෙන සිටියි.

බණ්ඩාරනායක විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 138 (පන්දුවාර 48.1) සසිරි අධිකාරි 39, ගයාශාන් හෙට්ටිආරච්චි 25, මාස් රහීම් 2/18, ලසිත උඩහගේ 4/48, සංජය රංජිත් 2/15.

සාන්ත මරියා විද්‍යාලය 137 (පන්දුවාර 35) රාජිත කොටුවාගොඩ 39, මාස් රහීම් 28, සිසිත මදනායක 2/22, දසුන් බණ්ඩාර 3/11, හිමත් ජයවීර 2/37.

බණ්ඩාරනායක විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 5ක් දැවී ලකුණු 19 (පන්දුවාර 8.1) ලසිත උඩහගේ 5/07.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට