ඉසිපතන හා සාන්ත පීතර විද්‍යාල කරට කර සටනක

353

19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (15) සාන්ත පීතර විද්‍යාලය හා ඉසිපතන විද්‍යාලය අතර පැවැත්විය. තරගයේ පළමු දිනය අවසානයේ ඉසිපතන විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 131ක් ලබාගෙන සිටියි.

මහානාමය වෙනුවෙන් විනුකගෙන් ශතකයක්

සිංගර් කුසලාන පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් උණුසුම් තරග කිහිපයක් අද (14) පැවැත්වූ අතර, එහි දී සාන්ත ජෝසප් හා ලුම්බිණි…

කාසියේ වාසිය ජයග්‍රහණය කළ සත්කාරක සාන්ත පීතර විද්‍යාලය පළමුව පිතිකරණයේ නිරත වීමට තීරණය කළ අතර, ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි සුලක්ෂණ ප්‍රනාන්දු හා දකුණත් පිතිකරු සන්තුෂ් ගුණතිලක ආරම්භක කඩුල්ල සඳහා හොඳ පදනමක් සකස් කරමින් ලකුණු 74ක් වාර්තා කරන ලදි. සාන්ත පීතර ඉනිමේ පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්ව ගිය දකුණත් පිතිකරු සුලක්ෂණ, 4 පහර 6ක් සමඟින් ලකුණු 26ක් ලබාගෙන සිටිය දී මදුශික සඳරුවන්ගේ පන්දුවකට දැවී ගියේය. ලකුණු 48ක් ලබාගෙන සිටි සන්තුෂ් 4 පහර 6ක් ලබාගෙන සිටිය දී අවාසනාවන්ත ලෙස දැවී ගියේ, සඳරුවන්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීම නිසාවෙනි.

ලකුණු 113කට කඩුලු 3ක් දැවී ගොස් තිබූ සාන්ත පීතර ඉනිමේ සිව්වන කඩුල්ල සඳහා ලකුණු 43ක සබඳතාවයක් ගොඩනැංවීමට, කඩුලු රකින ක්‍රීඩක ශාලිත් ප්‍රනාන්දු හා දිනිත් අංජුල සමත් විය. එහි දී 4 පහර 2ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 25ක් ලබා ගැනීමට අංජුල සමත් වෙද්දී, ශාලිත් ප්‍රනාන්දු ලකුණු 30ක් රැස් කර ගත්තේ සාන්ත පීතර මැදපෙළ යම්තාක් මට්ටමකට හෝ සවිමත් කරමිනි.

මෙවර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සටනේ ඇතුලාන්තය

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දීර්ඝ ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය හෙට…

නමුත් සාන්ත පීතර ඉනිමේ 4, 5 හා 6 යන කඩුලු 3 ලකුණු 2ක් තුල දවා ගැනීමට ඉසිපතන පන්දු යවන්නන් සමත් විය. අවසන් පෙළ වෙනුවෙන් වේගවත් පිතිකරණයක නිරත වූ වමතින් පා දඟපන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීන් එක් 6 පහරක් හා වර්ණවත් 4 පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 23*ක් රැස් කරගත්තේ පන්දු 15ක් පමණක් වැය කරමිනි. අවසානයේ සාන්ත පීතර පළමු ඉනිම ලකුණු 204කට සීමා විය.

පන්දු යැවීමේ දී ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ වමතින් පා දඟපන්දු යවන මදුශික ලකුණු 57ක් තුල කඩුලු 4ක් දවා ගැනීමට පන්දුවාර 19ක් ක්‍රියාත්මක කළේය. ඔහුට සහය වූ අනූපම හේරත් හා ලහිරු ඩිල්ශාන් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය.

ලකුණු 204ක පළමු ඉනිමේ ඉලක්කය කෙසේ හෝ තරණය කිරීමේ අරමුණ ඇතිව තෙවිඳු දම්සර හා දකුණතින් පිත්ත හසුරුවන සංජුල බණ්ඩාර පිටියට පිවිසියේය. ඉසිපතන විද්‍යාලයේ ලකුණු පුවරුව ආරම්භ වීමටත් පෙරාතුව බණ්ඩාරව ක්‍රීඩාගාරයට හරවා යැවීමට පිත්තෙන් ද දස්කම් දැක්වූ සන්තුෂ්ට හැකියාව ලැබුණි.

දෙවන කඩුල්ල සඳහා පන්දු 55ක් තුල ලකුණු 41 සබඳතාවයක් ගොඩනැංවීමට සංජුල අබේවික්‍රම හා දම්සර සමත් විය. අවසානයේ එම සබඳතාවයට තිත තබමින් ලකුණු 27ක් ලබාගෙන සිටි දම්සර දැවී යන ලදි. මැදපෙළ සවිමත් කරමින් කලබලකාරී පිතිකරණයක නිරත වූ  අයන සිරිවර්ධන 4 පහර 4ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 26ක් රැස්කර ගත්තේ පන්දු 19ක් වැය කරමිනි. අශේන් ගුණවර්ධන ලකුණු 14යි. ඔහු සචින් සිල්වා එවූ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය.

තරගයේ පළමු දිනය අවසන් වන විට නොදැවී ක්‍රීඩා කරමින් සිටින ලේෂන් අමරසිංහ හා සංජුල අබේවික්‍රම පිළිවෙළින් ලකුණු 16*ක් හා 39*යි. පන්දු යැවීමේ දී සාන්ත පීතර විද්‍යාලයේ සචින් සිල්වා කඩුලු 2යි. ඉසිපතන විද්‍යාලය සාන්ත පීතර විද්‍යාලයේ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 73ක් පසුපසින් පසුවෙයි.

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිම – 204/10 (62.5): සන්තුෂ් ගුණතිලක 48, ශාලිත් ප්‍රනාන්දු 30, සුලක්ෂණ ප්‍රනාන්දු 26, දිනිත් අංජුල 25, මදුශික සඳරුවන් 4/57, අනූපම හේරත් 3/8, ලහිරු ඩිල්ශාන් 3/35.

ඉසිපතන විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 131/4 (32): සංජුල අබේවික්‍රම 39*, තෙවිඳු දම්සර 27, අයන සිරිවර්ධන 26, සචින් සිල්වා 2/44.

මෙම තරගයේ දෙවන දිනය හෙට (16) ක්‍රියාත්මක වෙනු ඇත.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<