ද්විත්ව ශතක පිරුණු දිනයක රාජකීයයන් ඉතිහාසගත ජයක් කරා!

U19 Division 1 Schools Cricket Tournament 2023/24

522
U19 Division 1 Schools Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (10) දිනයේ දී අවසන් වුනා. 

මෙම තරග අතුරින් විශේෂ අවධානයක් යොමු වූ තරගය ලෙස කොළඹ රාජකීය විද්‍යාලය සහ කොළඹ සාන්ත පීතර විද්‍යාලය අතර පැවැත්වුණු දෙදින සාම්ප්‍රදායික තරගය හඳුන්වා දිය හැකියි. මෙහි දී කොළඹ රාජකීයයන් විසින් 1986 වර්ෂයෙන් පසුව සාන්ත පීතර විද්‍යාලයට එරෙහිව දෙදින සාම්ප්‍රදායික තරගයක් ජයග්‍රහණය කිරීමට සමත් වුනා. 

ඉසුල ගීගනගේ සහ යසිඳු දිසානායක විසින් ඊයේ (09) දිනයේ දී ශතක රැස් කරමින් රාජකීය ඉනිමට ශක්තිමත් ආරම්භයක් ලබා දුන් අතර, අද දිනයේ දී රාජකීය නායක සිනෙත් ජයවර්ධන ප්‍රමුඛ පන්දු බළඇණිය හමුවේ පීතර ක්‍රීඩකයින්ට පිට පිටම සිය ඉනිම් ද්විත්වයම ක්‍රියාත්මක කිරීමට සිදු වුනා. සිනෙත් ඉනිම් දෙකේ දී කඩුලු 8ක් සහ යෙනුල බණ්ඩාර ඉනිම් දෙකේ දී කඩුලු 6ක් බැඟින් දවා ගැනීමට සමත් වුනා. 

මීට අමතරව අද දිනය තුළ දී ද්විත්ව ශතක දෙකක් සහ ශතක දෙකක් වාර්තා කිරීමට තවත් පාසල් කිහිපයක ක්‍රීඩකයින් විසින් සමත් වීම විශේෂත්වයක්. එමෙන්ම ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ම පන්දුවෙන් ද කැපී පෙනීමට සමත් වුනා. 

අද දිනය තුළ කැපී පෙනුණු ක්‍රීඩක දක්ෂතා මෙසේයි; 

කුරැනෑගල මලියදේව විද්‍යාලය වෙනුවෙන් දිමත් අබේසිංහ පළමු ඉනිමේ කඩුලු පහක් ද සමඟින් සමස්ත තරගයේ කඩුලු 7ක් දවා ගැනීමට සමත් වුනා. ඒ අතරම මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයේ කවීෂ පියුමාල් ඉනිම් දෙකේ දී ම කඩුලු 6 බැඟින් දවා ගැනීමටත්, පිත්තෙන් වටිනා අර්ධ ශතකයක් ලබා ගැනීමටත් සමත් වුනා. 

මේ අතර මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය අතර තරගයේ දී ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් ජනිත් රවිශ්ක ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා. 

ඊයේ දිනයට තරගය නතර කරන විට ජනිත් නොදැවී ලකුණු 134ක් ලබා ගැනීමට සමත් වී සිටි අතර, ඒ වන විට ත්‍රිත්ව විද්‍යාල ඉනිමේ කඩුලු 9ක් ද දැවී ගොස් තිබුණා. 

නමුත් ඉනිමේ අවසන් පිතිකරු වූ තිසල් යාපා සමඟින් අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 148ක සබඳතාවක් පිහිටුවීමට සමත් වූ ජනිත්, අද ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දැවී යන විට ලකුණු 241ක් වාර්තා කිරීමට සමත් වී සිටියා. පන්දු 390ක් තුළ වාර්තා වූ මෙම ඉනිම සඳහා ඔහු එක් හයේ පහරක් සහ හතරේ පහර 33ක් එක් කර ගැනීමට සමත් වුනා. එමෙන්ම ත්‍රිත්ව විද්‍යාල දෙවන ඉනිමේ දී දිමන්ත මහවිතාන විසින් තවත් අගනා ශතකයක් රැස් කිරීමට සමත් වීම ද විශේෂත්වයක්. 

මේ අතර කොළඹ ආනන්ද විද්‍යාලයට එරෙහිව තවත් ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සෙනිත හැළඹගේ විසින් සමත් වුනා. ඊයේ දිනය අවසන් වන විට නොදැවී ලකුණු 72ක් ලබා සිටි සෙනිත අද දිනයේ ද සිය කඩුල්ල ප්‍රතිවාදීන්ට පූජා කිරීමෙන් වැළකෙමින් ලකුණු 222ක් දක්වා සිය ඉනිම ඉහළ නැංවීමට සමත් වුනා. පන්දු 263ක් පමණක් වැය වූ සෙනිතගේ මෙම ඉනිම හයේ පහර තුනකින් සහ හතරේ පහර 26කින් වර්ණවත් වුනා. 

කොළඹ නාලන්දා විද්‍යාලය වෙනුවෙන් සදෙව් සමරසිංහ ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර, ගාල්ල මහින්ද විද්‍යාලය වෙනුවෙන් සෙනුක දංගමුව කඩුලු 5 දස්කමක් දැක්වූවා. 

පළමු කොටසේ Tier A තරග

කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර

බෙනඩික්ට් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී

  • කොළඹ බෙනඩික්ට් විද්‍යාලය– 161/10 (56.2) ජනිඳු නන්දසේන 73, ශරුජන් ශන්මුගනාදන් 43, අචල පෙරේරා 5/48 & 201/10 (53.2) ස්ටීව් අර්ශාන් 46, අයේෂ් ගජනායක 41,අචල පෙරේරා 4/70, රිවිත් ජයසූරිය 4/70
  • මොරටුව වේල්ස් කුමර විද්‍යාලය– 226/10 (56.2) සුවස් රණවන 56, සචිර ඩේමියන් 46, විහඟ රත්නායක 4/38, නිර්වාන් ජයතිලක 3/59 & 97/6 (16) ඔශාන් මනීෂ 45, මෙවන් දිසානායක 4/42

තරගය ජය පරාජයෙන් තොරයි, මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය

සාන්ත අන්තෝනි විද්‍යාල ක්‍රීඩාංගණයේ දී

  • මලියදේව විද්‍යාලය – 205/10 (80.2) ගයන වීරසිංහ 45, පැහැසර බණ්ඩාර 35, කවීෂ පියුමාල් 6/59& 131/10 (47.2) ගයන වීරසිංහ 37, කවීෂ පියුමාල් 6/46, කෙවන් රමික 2/13
  • සාන්ත අන්තෝනි විද්‍යාලය– 240/10 (71)  කෙවන් රමික 72, කවීෂ පියුමාල් 57, දිමත් අබේසිංහ 5/107, ගයන වීරසිංහ 3/51 & 48/4 (7) ජනිත් රත්නසිරි 19, දිමත් අබේසිංහ 3/27

තරගය ජය පරාජයෙන් තොරයි, මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය අතර

වෙස්ලි විද්‍යාල ක්‍රීඩාංගණයේ දී

  • මහනුවර ත්‍රිත්ව විද්‍යාලය– 279/9 (100) ජනිත් රවිශ්ක 241 මනුල කුලරත්න 34, උවින් පෙරේරා 3/53, නිලුපුල් ලියනගේ 4/74 & 241/3 (42) දිමන්ත මහවිතාන 107, සුපුන් වඩුගේ 70, දෙනෙත් සිගේරා 1/40
  • කොළඹ වෙස්ලි විද්‍යාලය– 98/10 (24) ලිනාල් සුභසිංහ 28, තිසල් යාපා 3/40, දිනුක තෙන්නකෝන් 2/2

තරගය ජය පරාජයෙන් තොරයි, මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

පළමු කොටසේ Tier B තරග

කොළඹ ආනන්ද විද්‍යාලය සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අතර

ආනන්ද විද්‍යාල ක්‍රීඩාංගණයේ දී

  • ආනන්ද විද්‍යාලය– 202/10 (59.2) කාන්චන ද ලිවේරා 49, දනිඳු සෙල්ලපෙරුම 38, ඉශාන් අනුරාධ 5/49 & 171/8 (49) කාන්චන ද ලිවේරා 65, කිත්ම විතානපතිරණ 45, සෙනුර සඳයුරු 2/30
  • අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය – 384/9d (92.3)සෙනිත හැළඹගේ 222*, ජිතිර සන්සික 49, කවීෂ මෙන්ඩිස් 3/67

තරගය ජය පරාජයෙන් තොරයි, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

දෙදින සාම්ප්‍රදායික තරග

කොළඹ රාජකීය විද්‍යාලය සහ කොළඹ සාන්ත පීතර විද්‍යාලය අතර

රාජකීය විද්‍යාලය ක්‍රීඩාංගණයේ දී

  • කොළඹ රාජකීය විද්‍යාලය– 364/5 (99) යසිඳු දිසානායක 152*, ඉසුල ගීගනගේ 122, ලශේන් පුෂ්පකුමාර 3/35
  • කොළඹ සාන්ත පීතර විද්‍යාලය– 190/10 (59.5) අසදිස ද සිල්වා 77, සවී ප්‍රනාන්දු 46, සිනෙත් ජයවර්ධන 6/53, යෙනුල බණ්ඩාර 2/11 & 113/10(f/o) (44.3) අසදිස ද සිල්වා 34, යෙනුල බණ්ඩාර 4/16, රමිරු පෙරේරා 3/38

කොළඹ රාජකීය විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 61ක ජයක්.

ගාල්ල මහින්ද විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර

SSC ක්‍රීඩාංගණයේ දී

  • ගාල්ල මහින්ද විද්‍යාලය– 389/10 (91.2) තරුශ ඩිල්ශාන් 96, දිනුර කළුපහන 91, සජිත විතානගේ 2/56, තිසර දෙව්දුණු 2/47
  • කොළඹ නාලන්දා විද්‍යාලය– 348/10 (101.2) සදෙව් සමරසිංහ 157, සජිත විතානගේ 78, සෙනුක දංගමුව 5/105, කවීන් රුක්ශාන් 4/70

තරගය ජය පරාජයෙන් තොරයි, ගාල්ල මහින්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

මෙම තරග අද දිනයෙන් අවසන් වූ අතරම කොළඹ මහානාම විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය අතර පළමු කොටසේ Tier A තරගයක් අද ආරම්භ වුනා. 

මෙම තරගයේ දී සාන්ත තෝමස් විද්‍යාලයේ මනුග ගුරුගේ කඩුලු පහේ දස්කමක් දක්වද්දී, මහානාම විද්‍යාලයේ ඉනුක කරන්නාගොඩ කඩුලු 6 දස්කමක් දැක්වීමට සමත් වුනා. 

  • කොළඹ මහානාම විද්‍යාලය – 194/10 (55.4) චාමික හීනටිගල 55, මනුග ගුරුගේ 5/37, පෙසඳු සන්ජන් 3/29 &  
  • මාතර සාන්ත තෝමස් විද්‍යාලය – 61/10 (25.4) අබ්දුල් මජීඩ් 21, ඉනුක කරන්නාගොඩ 6/28, චාමික හීනටිගල 2/4 

මෙම තරගයේ දෙවන සහ අවසන් දිනය හෙට (11) ක්‍රියාත්මක වීමට නියමිතයි. 

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<