මහිත් – දිනෙත් ත්‍රිත්ව ශතක සබඳතාව තෝමසුවන්ට දැවැන්ත ජයක් ගෙන දෙයි

U19 Division 1 Schools Cricket Tournament 2023/24

454

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් සාම්ප්‍රදායික තරගයක් අද (06) දිනයෙන් අවසන් වුනේ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 128ක දැවැන්ත ජයග්‍රහණයක් හිමි කර දෙමිනුයි. 

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර ඊයේ (05) දිනයේ ආරම්භ වූ මෙම තරගයේ පළමු ඉනිම දියත් කළ සාන්ත තෝමස් පිතිකරුවන් කඩුලු 3ක් පමණක් දැවෙමින් ලකුණු 353ක දැවැන්ත ලකුණු පුවරුවක් සටහන් කළා. 

තෝමසුවන්ගේ ඉනිමේ පළමු කඩුලු තුන ම ලකුණු 47ක් වන විට දවා ගැනීමට බෙනඩික්ට් පන්දු යවන්නන් විසින් සමත් වූ නමුත් ඉන් පසු කඩුල්ලේ එක් වූ නායක මහිත් පෙරේරා සහ දිනෙත් ගුණවර්ධන විසින් නොබිඳුණු ත්‍රිත්ව ශතක සබඳතාවක් පැවැත්වීමට සමත් වුනා. 

මොවුන් දෙදෙනා විසින් පන්දු 322ක් තුළ ලකුණු 306ක වේගවත් සබඳතාවක් පිහිටුවීමට සමත් වූ අතර, මෙහි දී නායක මහිත්ගේ පිත්තෙන් ලකුණු 151ක් වාර්තා වුනා. මෙම ලකුණු 151 වාර්තා කිරීමට ඔහු වැය කළේ පන්දු 147ක් පමණක් වන අතර ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 16ක් අන්තර්ගත වුනා. 

මේ අතර මහිත් සමඟ අනෙක් අන්තයෙන් පිතිකණයේ යෙදුණු දිනෙන් ගුණවර්ධන විසින් පන්දු 184ක් තුළ ලකුණු 150ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහුගේ ඉනිම හයේ පහර 5කින් සහ හතරේ පහර 15කින් වර්ණවත් වුනා. 

පන්දු යැවීමේ දී බෙනඩික්ට් විද්‍යාලය වෙනුවෙන් මෙවන් දිසානායක විසින් කඩුලු 2ක් බිඳ හෙළුවා. 

තෝමසුවන්ගේ දැවැන්ත ඉලක්කය වෙනුවෙන් පිළිතුරු බැඳීම සඳහා ඊයේ සවස සිය පළමු ඉනිම ආරම්භ කළ බෙනඩික්ට් පිතිකරුවන් අද දිනයේ දී සිය පළමු ඉනිම ලකුණු 155 සීමාවේ නතර කළේ තෝමසුවන්ට වඩා තවත් ලකුණු 198ක් පිටුපසින් සිටිමිනුයි. මෙහි දී බෙනඩික්ට් විද්‍යාලය වෙනුවෙන් නායක ස්ටීව් අර්ශාන් ලකුණු 56ක් වාර්තා කළා. 

සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ කවිඳු ඩයස් ලකුණු 33කට කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් වුනා. 

මේ අනුව ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා නැවතත් බෙනඩික්ට් විද්‍යාලයට සිය දෙවන ඉනිම ද ක්‍රියාත්මක කිරීමට සිදු වූ අතර එවර ඔවුන්ට ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 70ක් පමණයි. 

මෙහි දී තෝමසුවන් වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ අභීත් පරණවිදාන කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වුනා. 

  • ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය – 353/3d (69.1) මහිත් පෙරේරා 151, දිනෙත් ගුණවර්ධන 150, මෙවන් දිසානායක 2/112, අයේශ් ගජනායක 1/68 
  • කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – 155/10 (56.1) ස්ටීව් අර්ශාන් 56, නේතන් ප්‍රනාන්දු 24, කවිඳු ඩයස් 5/33, අභීත් පරණවිදාන 2/22 & 70/10 (f/o) (19.5) ජනිඳු නන්දසේන 21, නිර්වාන් ජයතිලක 12, අභීත් පරණවිදාන 4/23, යතින්ද්‍ර එන්. සිරිවර්ධන 2/20 

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 128ක ජයක්. 

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<