කවිජ, දිමන්ත සහ නවෝද්‍ය ශතක වාර්තා කරයි

U17 Sri Lanka Youth League Tournament 2024

5
U17 Sri Lanka Youth League Tournament 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී අද (25) දවසේ නිමා වූ තරගවල දී ශතක ත්‍රිත්වයක් වාර්තා කිරීම කැපී පෙණුනා.  

Kandy කණ්ඩායම වෙනුවෙන් ත්‍රිත්ව විද්‍යාලයේ දිමන්ත මහවිතාරණ සහ කිංග්ස්වුඩ් විද්‍යාලයේ කවිජ ගමගේත්, Dambulla කණ්ඩායම වෙනුවෙන් නවෝද්‍ය සමරසිංහත් මෙලෙස ශතක වාර්තා කළා. මේ අතුරින් කවිජ ගමගේ වාර්තා කරන්නේ මෙවර තරගාවලියේ තම 2 වැනි ශතකයයි.  

මෙම ශතක ත්‍රිත්වය ම වාර්තා වෙන්නේ එක ම තරගයක දී වීම විශේෂත්වයක්. 

ඊට අමතර ව Galle කණ්ඩායම වෙනුවෙන් දුල්සිත් දර්ශන, විරාන් චමුදිත සහ රශේන් දිල්හාර ද Colombo North කණ්ඩායම වෙනුවෙන් දුල්නිත් සිගේරා ද සහ Kandy කණ්ඩායම වෙනුවෙන් ආදම් හිල්මි ද අර්ධ ශතක ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.  

මේ අතර දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට Colombo North කණ්ඩායමේ දිනෝෂ් ගමගේ සමත් වුනා.  

අද නිමා වූ තරගවල දී Kandy කණ්ඩායම සහ Galle කණ්ඩායම ජයග්‍රහණ වාර්තා කළා.   

Galle සහ Colombo North අතර තරගය සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණයේ දී. 

කාසියේ වාසිය දිනා ගත් Colombo North කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගාලු ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 287ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Colombo North කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 142ක් පමණයි.  

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගාලු කණ්ඩායමට අර්ධ ශතක ත්‍රිත්වයක් වාර්තා වුනා. එහි දී ආරම්භක පිතිකරු දුල්සිත් දර්ශන පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟ ලකුණු 81ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූවා.  

ඊට අමතර ව රශේන් දිල්හාර පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 55ක් ද සහ නායක විරාන් චමුදිත පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 52ක් ලබා ගත්තා. 

කඩුලු දවා ගැනීමේ දී දිනෝෂ් ගමගේ ලකුණු 63කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූ අතර ඊට අමතර ව මෙවන් දිසානයක කඩුලු 2ක් දවා ගත්තා.   

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Colombo North කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක දුල්නිත් සිගේරා. ඔහු පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 51ක් ලබා ගන්නවා.  

ඊට අමතර ව රයීඩ් කරීම් පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ලබා ගන්නවා. 

පන්දු යැවීමේ දී දුල්සත් නිමවිරු, ගිම්හාන රසාංජන සහ ඉමෙත් මනම්පේරි කඩුලු 2ක් බැගින් දවා ගන්නා ලද අතර ලින්දුල නුවාංග සහ ජිතිර සන්සිත කඩුල්ල බැගින් දවා ගන්නවා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

Galle – කඩුලු 9ක් දැවී 287 (50.0) දුල්සිත් දර්ශන 81, යසිරු ලක්ශාන් 28, විරාන් චමුදිත 52, රශේන් දිල්හාර 55, දිනෝෂ් ගමගේ 5/63, මෙවන් දිසානායක 2/47

 

Colombo North – සියලුම දෙනා දැවී 142 (35.2) දුල්නිත් සිගේරා 51, රයීඩ් කරීම් 33, සෙත්රූ ප්‍රනාන්දු 26, ඉමෙත් මනම්පේරි 2/32, දුල්සත් නිමවිරු 2/09, ගිම්හාන රසාංජන 2/15

 

Galle කණ්ඩායමට ලකුණු 145ක ජයක්.   

Dambulla සහ Kandy අතර තරගය සමාධි පිටියේ දී. 

කාසියේ වාසිය දිනා ගත් දඹුල්ල නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 321ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි දඹුලු ක්‍රීඩකයෝ තියුණු සටහනක් දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 296ක් ලබා ගත්තා.  

මහනුවර ඉනිමේ දී ශතක 2ක් වාර්තා වීම කැපී පෙණුනා. එහි දී නායක කවිජ ගමගේ පන්දු 107කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 109ක් ලබා ගත් අතර දිමන්ත මහවිතාරණ පන්දු 114කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 102ක් ලබා ගත්තා.  

ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 206ක දී ලකුණු 206ක් ලබා ගැනීම කැපී පෙණුනා.  

එම ඉනිම වෙනුවෙන් ඊට අමතර ව ආදම් හිල්මි ද පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 54ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී මෙනුර නිරෝශන ලකුණු 36කට කඩුලු 2ක් දවා ගත් අතර භාග්‍ය ඉෂාන් සහ දමේෂ් මතීශාන් කඩුල්ල බැගින් දවා ගත්තා.  

හඹායන දඹුලු කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු නවෝද්‍ය සමරසිංහ පන්දු 127කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 121ක් ලබා ගත්තා.  

ඔහු දමේශ් මතීශාන් හා එකතුව 2 වැනි කඩුල්ල සඳහා පන්දු 148ක දී ලකුණු 116ක සබඳතාවක් ද ගොඩ නැගීමට සමත් වෙනවා.  

ඉන් නොනැවතුණ ඔහු තෙවැනි කඩුල්ලට පන්දු 56ක දී ලකුණු 51ක් ද සහ සිවු වැනි කඩුල්ලට පන්දු 33ක දී ලකුණු 33ක් ද එක් කිරීමට දායක වෙනවා.  

එහි දී දමේශ් මතීශාන් පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 43ක් ද සහ භාග්‍ය ඉෂාන් පන්දු 33ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුනු 23ක් ද ලබා ගන්නවා.  

ඊට අමතර ව සනුජ නිඳුවර පන්දු 21ක දී හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 48ක් ලබා ගන්නවා. 

පන්දු යැවීමේ දී කවිජ ගමගේ ලකුණු 46කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව දසුන් වැලිඅංග සහ රයන් ග්‍රෙගරි කඩුලු ද්විත්වය බැගින් ද කෞශික කුමාරසිංහ සහ නිමේෂ් සිල්වා කඩුල්ල බැගින් ද දවා ගත්තා.   

තරගයේ කෙටි ලකුණු පුවරුව 

Kandy – කඩුලු 5ක් දැවී 321 (50.0) කාශ්‍යප දිසානායක 19, දිමන්ත මහවිතාරණ 102, කවිජ ගමගේ 109, ආදම් හිල්මි නොදැවී 54, මෙනුර නිරෝෂන 2/36

 

Dambulla – සියලුම දෙනා දැවී 296 (48.3) නවෝද්‍ය සමරසිංහ 121, දමේශ් මතීශාන් 43, භාග්‍ය ඉෂාන් 23, සනුජ නිඳුවර 48, දසුන් වැලිඅංග 2/35, රයන් ග්‍රෙගරි 2/67

 

Kandy කණ්ඩායමට ලකුණු 25ක ජයක්.  

මෙම තරගාවලියේ පළමු වටයේ අවසන් තරග ද්විත්වය මේ මස 27 වැනිදා  පැවැත්වීමට නියමිතයි. ඒ අනුව Colombo North සහ Dambulla කණ්ඩායම් අතර පැවැත්වෙන තරගය සාලියපුර දීත් සහ Colombo South සහ Galle කණ්ඩායම් අතර පැවැත්වෙන තරග සමාධි පිටියේ දීත් පැවැත්විමට නියමිතයි.  

වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<