23න් පහළ දිස්ත්‍රික් විස්සයි විස්ස කාන්තා ශූරතාව ගාල්ලට

279

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ වයස අවුරුදු 23න් පහළ අන්තර් දිස්ත්‍රික් කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනිමට ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම පසුගිය දා සමත් වුනා.

මග්ගොන සරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති අවසන් මහා තරගයේ දී ගම්පහ කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක ජයග්‍රහණයක් ලබා ගනිමින් ඔවුන් මෙම ශූරතාවට හිමිකම් කීවා.

තරගාවලිය සඳහා කණ්ඩායම් 26ක් සහභාගී වුනා.

ගාල්ල සහ ගම්පහ කණ්ඩායම්වල ගමන් මඟ
ගාල්ල ගම්පහ
මොනරාගලට එරෙහිව කඩුලු 10ක ජයක්. කලුතරට එරෙහිව ලකුණු 9ක ජයක්
බදුල්ලට එරෙහිව ලකුණු 82ක ජයක්. කොළඹ උතුරට එරෙහිව ලකුණු 36ක ජයක්.
රත්නපුරට එරෙහිව කඩුලු 10ක ජයක්. කලුතර හා සමඟ අතහැර දමන ලදි.
හම්බන්තොටට එරෙහිව කඩුලු 10ක ජයක්. කොළඹ උතුර තරගය අතහාර දමන ලදි.
මාතරට එරෙහිව කඩුලු 5ක ජයක්. කොළඹ දකුණුට එරෙහිව ලකුණු 5ක ජයක්.
අවසන් පූර්ව වටය
අනුරාධපුරයට එරෙහිව ලකුණු 100ක ජයක්. නුවරට එරෙහිව ලකුණු 53ක ජයක්.
අවසන් මහා තරගය
ගාල්ලට ලකුණු 18ක ජයක්

ගාල්ල කණ්ඩායම: සුලේශා සත්සරණි (නායිකාව) සංජනා කාවින්දි, හිරුනි හංසිකා, නෙතජි ඉසුරංජලී, ශෂිනි ගිම්හානි, ලක්ෂි අභිමානි, රශ්මි නේත්‍රාංජලී, සුමුදු නිසංසලා (කඩුලු රකින්නිය), මහිංසා නෙත්මිනි, ශෙහාරා ඉදුවරි, හිරුණිකා නිවර්තනී.

  • අතිරේක ක්‍රීඩිකාවන්: නෙත්මි සංසලා, නෙත්මි ශාක්‍යා, රශ්මි තාරුකා, සචිනි සාවින්ද්‍යා.

ගම්පහ කණ්ඩායම: සඳලි වීරසිංහ, නිමේෂා තරුණි, නෙත්මි ගුණරත්න, උමායා රත්නායක, හසිනි විජේසිංහ, නිකේශා විජේසේකර, කාව්‍යා පෙරේරා, නිපුනි නවෝද්‍යා, කවිශ්කි හශ්මිකා, සඳුනි අමන්දා, අංජලී ගම්හේවාගේ (කඩුලු රකින්නිය).

  • අතිරේක ක්‍රීඩිකාවන්: දෙව්මිණි පබසරා, විදුශිකා පෙරේරා.

අවසන් මහා තරගය

කාසියේ වාසිය දිනා ගත් ගාල්ල ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්ත ද, එය තරමක විවාදාත්මක තීරණයක් වුනා. ඔවුන්ට සියලුම දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 92ක් පමණයි.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ නෙතජි ඉසුරංජලී. ඇය පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තා. ඊට අමතර ව සුමුදු නිසංසලා ද ලකුණු 10ක් ලබා ගත්තා.

අනෙක් කිසිදු ක්‍රීඩිකාවකට ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට ගම්පහ පන්දු යවන්නියෝ ඉඩ නොදීම කැපී පෙනුණා. කඩුලු දවා ගැනීමේ දී නිපුනි නවෝද්‍යා ලකුණු 14කට කඩුලු 2ක් දවා ගනිමින් හොඳම පන්දු යැවීම වාර්තා කරද්දී, හසිනි විජේසිංහ සහ කවිශ්කි හෂ්මිකා ද කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ගම්පහ ක්‍රීඩිකාවන්ට වූයේ ඊට නොදෙවෙනි අකරතැබ්බයක්. ගාල්ල පන්දු යවන්නියන් විසින් වැඩි නිලකුණු පන්දු යැවීම හේතුවෙන් ඔවුන්ගේ ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 74 දී නතර වුනා.

එම ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්තේ නායිකා සඳලි වීරසිංහ. ඇය පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 16ක් ලබා ගත්තා. ඊට අමතර ව නෙත්මි ගුණරත්න පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 11ක් ලබා ගත්තා.

තම කණ්ඩායමට සේ ම ගම්පහ කණ්ඩායමේ ද අනෙකුත් කිසිදු ක්‍රීඩිකාවකට ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට ගාල්ල පන්දු යවන්නියෝ ඉඩ තැබුවේ නැහැ. ඒ අතරින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට ශෂිනි ගිම්හානි සමත් වුනා. ඇය ලකුණු 14කට කඩුලු 3ක් දවා ගත්තා.

ඊට අමතර ව ලක්ෂි අභිමානි ලකුණු 10කට කඩුලු 2ක් සහ ෂෙහාරා ඉඳුවරි මෙන් ම හිරුනිකා නිවර්තනී කඩුල්ල බැගින් බෙදා ගත්තා.

  • ගාල්ල කණ්ඩායම – සියලුම දෙනා දැවී 92( 18.2): නෙතජි ඉසුරංජලී 30, සුමුදු නිසංසලා 10, හසිනි විජේසිංහ 2/22, නිපුනි නවෝද්‍යා 2/14, කවිශ්කි හෂ්මිකා 2/22
  • ගම්පහ කණ්ඩායම – සියලුම දෙනා දැවී 74 (20): නෙත්මි ගුණරත්න 11, සඳලි වීරසිංහ 16, ශෂිනි ගිම්හානි 3/14, ලක්ෂි අභිමානි 2/10

තරගාවලියේ දක්ෂතම පිතිකාරිනිය – සංජනා කාවින්දි

රත්ගම දේවපතිරාජ විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි වමතින් පිත්ත හසුරුවන සංජනා කාවින්දි මෙවර තරගාවලියේ දක්ෂතම පිතිකාරිනිය ලෙසින් සම්මානයට පාත්‍ර වුනා. ගාල්ල කණ්ඩායම නියෝජනය කළ ඇය මෙම තරගාවලියේ දී තරග 7ක ඉනිම් 7ක දී ලකුණු 173ක් ලබා ගන්නවා.

ඊට බදුල්ල කණ්ඩායමට එරෙහිව පන්දු 51ක දී ලකුණු 52ක් සහ අනුරාධපුර කණ්ඩායමට එරෙහිව පන්දු 64කදී නොදැවී අර්ධ ශතකයක් ද වාර්තා කිරිමට ඇය සමත් වෙනවා.

ඇය පසුගිය වසරේ දී ඉන්දීය සංචාරයක යෙදුණ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ද සාමාජිකාවක් වුනා.

තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකාරිණියන් 5 දෙනා
Player Team Mat Inns Runs HS Ave 50
1 සංජනා කාවින්දි ගාල්ල 7 7 173 67* 57.67 2
2 සඳලි වීරසිංහ ගම්පහ 7 5 161 88* 40.25 1
3 මනුදි නානායක්කාර කොළඹ උතුර 4 4 153 51 38.25 1
4 ශිකරි ද සිල්වා කොළඹ දකුණ 4 4 136 66* 45.33 1
5 නිමේෂා අඹතලාව අනුරාධපුර 6 6 131 45 26.20 0

තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නිය – නිකේෂා විජේසේකර

ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි නිකේෂා විජේසේකර මෙවර තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නිය ලෙසින් සම්මාන දිනා ගත්තා.

ගම්පහ කණ්ඩායම නියෝජනය කළ ඇය තරග 7ක දී කඩුලු 13ක් දවා ගනිමින් මෙම සම්මානයට හිමිකම් කීවා. මෙම තරගාවලියේ ඇයගේ හොඳම පන්දු යැවීම බවට පත් වූයේ කොළඹ උතුර කණ්ඩායමට එරෙහිව ලකුණු 06කට දවා ගත් කඩුලු 3යි. ඇය ඊට අමතර ව අවසන් පූර්ව තරගයේ දී නුවර කණ්ඩායමට එරෙහිව ලකුණු 10කට කඩුලු 3ක් ද දවා ගන්නවා.

තරගාවලියේ වැඩිම කඩුලු දවා ගත් පන්දු යවන්නියන් 5 දෙනා
Player Team Mat Inns Wkts Best Ave 4
1 නිකේශා විජේසේකර ගම්පහ 7 7 13 3/06 10.77 0
2 නිමේෂිකා සෙනෙවිරත්න නුවර 6 6 12 5/11 5.42 1
3 ඉසුරි උමයංගනා නුවර 6 6 11 5/01 5.09 1
4 ශෂිනි ගිම්හානි ගාල්ල 7 6 11 3/05 4.18 0
5 කවිශ්කි හෂ්මිකා ගම්පහ 7 7 11 4/18 11.73 1

අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – නෙතජි ඉසුරංජලී

අවසන් මහා තරගයට පෙර තවත් එක් තරගයකට පමණක් ක්‍රීඩා කළ ගාල්ල කණ්ඩායමේ නෙතජි ඉසුරංජලී අවසන් මහා තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් සම්මාන දිනා ගැනීමට සමත් වුනා.

ඇය ඊට පෙර කණ්ඩායමට එක් වූයේ මොනරාගල කණ්ඩායම හා සමඟ තරගයේ දී. එම තරගයේ දී ඔවුන්ට කඩුලු 10ක ජයග්‍රහණයක් හිමි වීම හේතුවෙන් පන්දුවට පහර දීමට සඳහා පිටියට පිවිසීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

එම තරගයෙන් පසුව දින 20කට පසුව පැවති අවසන් තරගයේ දීයි ඇය නැවත තරගයකට නම් කෙරෙන්නේ. එම තරගයේ දී තම කණ්ඩායම වැටී සිටි අසීරු තත්ත්වයෙන් ගොඩ ගැනීමට දැක් වූ දායකත්වය හේතුවෙන් ඇයට මෙම සම්මානය හිමි වුනා.

තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවින් වික්‍රමරත්න මහතා, කාන්තා තරග ප්‍රධානී මනුජ කාරියප්පෙරුම මහතා, බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමයේ ලේකම් අනුර වීරසිංහ මහතා සහ කාන්තා ක්‍රිකට් උපදේශිකා සුසන්තිකා ජයසිංහ මහත්මිය යන අය සහභාගීත්වයෙන් සිදු වුනා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<