ඕස්ට්‍රේලියාව පරාජය කළත් ශ්‍රී ලංකාවේ ගමන නවතී

 U 19 Women's T20 World Cup

44
 U 19 Women's T20 World Cup

වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (29) ඕස්ට්‍රේලියාව සමඟ පැවැති තරගයෙන් ලකුණු 12ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් සමත් වූවා.

මෙම තරගයත් සමඟින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ මෙන් ම ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 6 වටයේ තරග අවසන් වූ අතර එම නිමාවත් සමඟින් එම කාණ්ඩයෙන් ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව පළමු සහ 2 වැනි ස්ථානවලට පත් වෙමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් අතර ශ්‍රී ලංකාවට හිමි වූයේ 3 වැනි ස්ථානයයි.

Bangi හී YSD-UKM Cricket Oval ක්‍රීඩාංගණයේ දී අද පැවැති තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 99ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙසින් ප්‍රතිවාදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 8ක් දැවී ලකුණු 87ක් පමණයි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

මනුදි නානායක්කාර (නායිකාව), සංජනා කාවින්දි, සුමුදු නිසංසලා (කඩුලු රකින්නිය), හිරුණි හංසිකා, දැහැමි සෙනෙත්මා, රශ්මිකා සෙව්වන්දි, ශෂිනි ගිම්හානි, ලිමංසා තිලකරත්න, ප්‍රමුදි මෙත්සරා, අසෙනි තලගුණේ, චමෝදි ප්‍රබෝධා.

ඕස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

Lucy Hamilton (නායිකාව), Kate Pelle, Ines McKeon, Caoimhe Bray, Eleanor Larosa, Hasrat Gill, Ella Briscoe, Grace Lyons (කඩුලු රකින්නිය), Chloe Ainsworth, Lily Bassingthwaighte, Tegan Williamson.

සංජනා කාවින්දි සහ සුමුදු නිසංසලා ශ්‍රී ලංකා ඉනිමට හොඳ ආරම්භයක් ලබා ගත්ත ද එය පමණක් එම ඉනිමේ සාර්ථක ම සබඳතාව වූවා. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 45ක දී ලකුණු 42ක් එක් කරනවා.

ඒ අනුව සුමුදු නිසංසලා පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 18ක් ලබා ගනිමින් පළමු කඩුල්ලට දැවී යනවා. අනතුරු ව ඊට පසුව යැවුණ 16 වැනි පන්දුවේ දී සංජනා කාවින්දි ද දැවී යනවා.

ඇය දැවී යන විට පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 19ක් ලබා ගත්තා.

ඊට පසුව පැමිණි පිතිකාරිනියන් අතුරින් නායිකා මනුදි නානායක්කාර පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 15ක් ද සහ හිරුණි හංසිකා පන්දු 22ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 14ක් ලබා ගත් අතර අනෙක් කිසිදු පිතිකාරිනියකට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී Lily Bassingthwaighte ලකුණු 7කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Hasrat Gill සහ Tegan Williamson කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඕස්ට්‍රේලියා ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 23ක් වෙද්දී දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා. නමුත් සිවු වැනි කඩුල්ලේ දී පන්දු 49ක දී ලකුණු 41ක සබඳතාවක් එක් කිරීමට Caoimhe Bray සහ Eleanor Larosa සමත් වුනා.

එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ Caoimhe Bray ගේ දැවී යෑමත් සමඟිනුයි. ඇය දැවී යන විට පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 27ක් ලබා සිටියා.

එතැන් සිට තවත් ලකුණු 23ක දී කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා. එම කඩුලු අතුරින් 6 වැනි කඩුල්ල ලෙසින් Eleanor Larosa දැවී ගිය අතර ඇය දැවී යන විට පන්දු 27කට මුහුණ දෙමින් ලකුණු 18ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී චමෝදි ප්‍රබෝධා, ප්‍රමුදි මෙත්සරා සහ අසෙනි තලගුණේ කඩුලු 2ක් බැගින් දවා ගත් අතර ලිමංසා තිලකරත්න කඩුල්ලක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

 

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 8ක් දැවී 99 (20.0) සංජනා කාවින්දි 19, සුමුදු නිසංසලා 18, Hasrat Gill 2/18, Lily Bassingthwaighte 3/07, Tegan Williamson 2/19

 

ඕස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 8ක් දැවී 87 (20.0) Caoimhe Bray 27, Eleanor Larosa 18, චමෝදි ප්‍රබෝධා 2/13, ප්‍රමුදි මෙත්සරා 2/16, අසේනි තලකුණේ 2/18

 

ශ්‍රී ලංකා කාන්තා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 12ක ජයක්.

තරගයේ වීරයා – ලිමංසා තිලකරත්න (ශ්‍රී ලංකාව)

වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<