රයිගම් සල්පිටි වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ ශූරතාව වසර 25කට පසුව රයිගමට රැගෙන ගිය හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය, ඊට සතියකට පසුව පැවති ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ දෙවැනි පෙළ ක්‍රිකට් තරගාවලියේ Tier B කාණ්ඩයේ ශූරතාව ද රයිගමට රැගෙන යෑමට සමත් වුනා.
කොළඹ නාලන්දා විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම අවසන් මහා තරගයේ දී තක්ෂිලා ක්‍රීඩකයෝ ශ්‍රී ජයවර්ධනපුර මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගනිමින් මෙම ශූරතාව දිනා ගත් අතර ඒ සමඟ ම ඔවුන් එළඹෙන තරග වාරයේ දී දෙවැනි පෙළ Tier A කාණ්ඩය දක්වා උසස් වීම් ලබා ගත්තා.
තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයන්ගේ ගමන මග | ||
ප්‍රතිවාදීන් | විසඳුම | |
1 | අශෝක විද්‍යාලය,
කොළඹ. |
තක්ෂිලා විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 206ක ජයක්. |
2 | සාන්ත තෝමස් විද්‍යාලය,
මාතලේ. |
තක්ෂිලා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්. |
3 | සාන්ත මරියා විද්‍යාලය,
හලාවත. |
තක්ෂිලා විද්‍යාලයට කඩුලු 6ක ජයක්. |
4 | ක්‍රිස්තු රාජ විද්‍යාලය,
ජාඇල. |
ක්‍රිස්තු රාජ විද්‍යාලයට කඩුලු 5ක ජයක්. |
5 | රේවත විද්‍යාලය,
බලපිටිය. |
තක්ෂිලා විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 36ක ජයක්. |
අර්ධ අවසන් පූර්ව වටය | ||
6 | සාන්ත තෝමස් විද්‍යාලය,
මාතලේ. |
තක්ෂිලා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්. |
අවසන් පූර්ව තරගය | ||
7 | රාජකීය විද්‍යාලය,
පානදුර. |
තරගයේ විසඳුමක් නෑ.
|
අවසන් මහා තරගය | ||
8 | මධ්‍ය මහා විද්‍යාලය,
ශ්‍රී ජයවර්ධනපුර |
තක්ෂිලා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්. |
හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ මෙම කුසලානය දක්වා පැමිණි ගමනේ දී ආසන්න වසර කිහිපයේ දැක්වූ දක්ෂතා වඩාත් ඉවහල් වූ බැව් පෙනේ. ඔවුන් මෙවර තරගාවලියට පිවිසෙන්නේ 2022 වසරේ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ Tier B කාණ්ඩයේ අනුශූරයන් බවට පත් වූ අභිමානයත් සමඟින්.
ඒ අනුව ශ්‍රී ලංකා පාසල් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ආසන්නත ම අනුශූරයන් වන තක්ෂිලා ක්‍රීඩකයෝ ඉතා කෙටි කාලයක දී තමන් මුහුණ දුන් ප්‍රධානතම තරගාවලි ත්‍රිත්වයක දී මේ සා දක්ෂතා දැක්වූ ප්‍රථම අවස්ථාව මෙයයි.
නිමා වූ එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ දී ඔවුන් අවසන් පූර්ව වටයේ දී මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයට එරෙහිව කඩුල්ලක ජයග්‍රහණයක් ලබා ගනිමින් අවසන් පූර්ව වටය දක්වා පැමිණෙනවා. එම වටයේ දී ඔවුන් ජාඇල ක්‍රිස්තු රාජ විද්‍යාලයට එරෙහිව කඩුලු 9ක ජයග්‍රහණයක් ලබා ගනිමින් අවසන් මහා තරගයට පිවිසීමට සුදුසුකම් ලබා ගන්නවා.
අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලය සමඟ පැවති අවසන් මහා තරගයේ දී ලකුණු 35කින් පරාජය වන ඔවුන් සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ අනුශූරයන් බවට පත්වෙනවා.
ඉන් අනතුරුව පසුගිය සතියේ මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී නිමා වූ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය සහ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය අතර 21 වැනි වරටත් පැවති රයිගම් සල්පිටි වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී කඩුල්ලක ජයග්‍රහණයක් හිමි කර ගන්නා ඔවුන් එම තරග ඉතිහාසයේ මංගල ජයග්‍රහණය වාර්තා කිරීමට ද සමත් වුනා.
එම කුසලාන ද්විත්වයේ උණුසුමත් සමඟයි මෙම තරගලියේ අවසන් තරගය පැවැත්වෙන්නේ.
- දෙවැනි පෙළ Tier B ශූරතාවය තක්ෂිලා මැදි විදුහලට
- මහානාම විද්‍යාලය නොකඩවා 6 වැනි වරටත් ශූරතාවය දිනයි
- සාන්ත සර්වේශස් ක්‍රීඩකයින්ට දැවැන්ත ජයක්
- ජයවර්ධනපුර සටනේ වැඩි ගෞරවය සාන්ත ජෝන් විද්‍යාලයට
- සාන්ත ජෝසප්, ත්‍රිත්ව සහ මාරිස් ස්ටෙල්ලා අවසන් මහා තරගවලට
තක්ෂිලා විද්‍යාලය මෙවර පාසල් ක්‍රිකට් තරගාවලිය හා එක් වෙන්නේ Z කාණ්ඩයෙන්. එම තරගාවලියේ පළමු තරගයේ දී ම ඔවුන් කොළඹ අශෝක විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 206ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගනිමින් ලබා ගනිමින් තරගාවලියට පිවිසෙනවා.
දෙවැනි තරගයේ දී ඔවුන් මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගන්නේ මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියේ නොමැකෙන සිහිවටන වාර්තාවක් ද තබමින්. ඔවුන් එම තරගයේ දී ප්‍රතිවාදීන්ට එරෙහිව ලකුණු 507ක් වාර්තා කිරීමට සමත් වෙනවා. එය මෙම කාණ්ඩයේ මෙවර එක් කණ්ඩායමක් ඉනිමක දී වාර්තා කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් ද සැලකෙනවා. කෙසේ වෙතත් එම තරගයෙන් ඔවුන් සතු වෙන්නේ පළමු ඉනිමේ ජයග්‍රහණයක් පමණයි.
එවන් දැවැන්ත ඉනිමක් ක්‍රීඩා කළ ඔවුන් ඉන් පසුව පැවති ජාඇල ක්‍රිස්තු රාජ විද්‍යාලය හා සමඟ තරගයේ දී කඩුලු 5ක අමිහිරි පරාජයකට මුහුණ දෙන්නට සිදු වෙනවා.
එසේ වූවත් නැවත සිව්වැනි තරගයේ දී ජය මාවතට පිවිසෙන ඔවුන් හලාවත සාන්ත මරියා විද්‍යාලයට එරෙහිව කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගනිමින් ද සහ තරගාවලියේ අවසන් තරගය වූ බලපිටිය රේවත මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ඉනිමකින් සහ ලකුණු 36ක ජයග්‍රහණයක් ලබා ගනිමින් තරගාවලියේ පළමු වටය අවසන් කරනවා.
අර්ධ අවසන් පූර්ව පූර්ව වටයේ දී ඔවුන්ට නැවත හමුවෙන්නේ මාතලේ සාන්ත තෝමස් ක්‍රීඩකයෝ. එම තරගයෙන් ද ඔවුන් පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගන්නවා. එම ජයග්‍රහණයත් සමඟින් අවසන් පූර්ව වටයට පිවිසෙන ඔවුන්ට එම වටයේ දී හමුවෙන්නේ පානදුර රාජකීය විද්‍යාලය.
මෙම තරගය විසඳුමකින් තොරව අවසන් වූව ද, ප්‍රසාද ලකුණු මත අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට තක්ෂිලා විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වෙනවා.
තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රිකට් සංචිතය: නවෝද්‍ය ප්‍රනාන්දු (නායක) දේශාන් දිල්මිත් (උපනායක), ශහන් දිව්යාංජන (කඩුලු රකින්නා), සනීර මිහිසර, සන්විදු දිසානායක, දිමන්ත ඕවිටිගල, ජනිත් දනංජය, සංදිත් රණවීර, චරිත් හර්ෂන, චමෝද් මිහරාන්, රශාන් නවාංජන, ලහිරු අවිශ්ක, රිද්ම අමරතුංග, අචිල පතිරගේ, ජයෝද් මාතරආරච්චි, පුන්හස් සෙනිත, තෙනුෂ යාපා.
නිලධාරීන්: නිලූක වීරසිංහ (විදුහල්පති) පී. ඒ. යද්දෙහිගේ (ක්‍රිකට් භාර ආචාර්ය), ඩී. එම්. එස්. ඩී. දිසානායක (පුහුණුකරු), උදාර මද්දුමගේ (සහාය පුහුණුකරු).
තක්ෂිලා විද්‍යාලයීය ජයග්‍රහණයේ දී වැඩි කාර්ය භාරයක් සිදු කිරීමට නායක නවෝද්‍ය ප්‍රනාන්දු සමත් වීම කැපී පෙනුණා. ඔහු තරග 11ක ඉනිම් 12ක දී ලකුණු 371ක් සහ කඩුලු 23ක් ලබා ගනිමින් තම කණ්ඩායම ජයග්‍රාහී මාවතට කැඳවාගෙන ගියා.
ඔහු මෙවර තරගාවලියේ කොළඹ අශෝක විද්‍යාලය සමඟ පැවති මංගල තරගයේ දී ම නොදැවී ලකුණු 158ක් ලබා ගැනීමට සමත් වූ අතර එය ඔහු මෙවර තරගාවලියේ දී ඉනිමක දී වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි. ඊට අමතරව ලබා ගත් අර්ධ ශතක 2ක් ද ඔහුගේ පිතිකරු ගිණුමට ඇතුළත්. නවෝද්‍ය කණ්ඩායමේ දකුණතින් මද වේගපන්දු යවමින් දැක්වූ දක්ෂතා ද කැපී පෙනුණා.
කණ්ඩායමේ කැපී පෙනෙන පිතිකරු වූයේ මැදිපෙළින් පිටියට පිවිසෙන දකුණත් පිතිකරු ජනිත් දනංජය. ඔහු තරග 11ක ඉනිම් 15ක දී ලකුණු 583ක් ලබා ගන්නවා. ඔහුගේ මෙම ලකුණු අතරට බලපිටිය රේවත මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව වාර්තා කරන ලද ලකුණු 118ක් සමඟින් තවත් අර්ධ ශතක 2ක් ද ඇතුලත්. කණ්ඩායමේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට ද ඔහු සමත් වුනා.
ඔවුන්ට අමතරව පිතිකරුවන් ලෙස දක්ෂතා දැක්වීමට කඩුලු රකින ක්‍රීඩක ශහන් දිව්යාංජන, උප නායක දේශාන් දිල්මිත් සහ සනීර මිහිසර සමත් වුනා.
ඔවුන් අතරින් වමත් පිතිකරු ශහන් දිව්යාංජන තරග 11ක ඉනිම් 16ක දී ශතකයක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 451ක් ලබා ගත්තා. මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව පළමු වටයේ දී ලකුණු 123ක් ලබා ගැනීමට ඔහු සමත් වූ අතර එය ඔහුගේ මෙවර තරගාවලියේ ඉනිමක හොඳම ලකුණු සංඛ්‍යාවයි.
දකුණත් පිතිකරු දේශාන් දිල්මිත් ලබා ගත් ලකුණු සංඛ්‍යාව ද 451ක්. ඔහු ඒ සඳහා තරග 10ක ඉනිම් 14ක දී පිටියට පිවිසි අතර ඊට අවසන් පූර්ව තරගයේ දී ලබා ගත් ශතකය ද සමඟින් තවත් අර්ධ ශතක 2ක් ද ඇතුළත් කළා. දකුණත් පිතිකරු සනීර මිහිසර තරග 11ක ඉනිම් 13ක දී අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 403ක් ලබා ගත්තා.
ඊට අමතරව කණ්ඩායමේ ශතකලාභීන් අතරට එක් වීමට දකුණත් පිතිකරු දිමන්ත ඕවිටිගල සමත් වුනා.
කණ්ඩායමේ කැපී පෙනෙන ම පන්දු යවන්නා බවට පත් වූයේ වමතින් දඟපන්දු යැවූ සන්විදු දිසානායක. ඔහු ලබා ගත් කඩුලු සංඛ්‍යාව 53ක්. ඔහුගේ දක්ෂතා අතරට බලපිටිය රේවත මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලබා ගත් කඩුලු 8ක් සහ හලාවත සාන්ත මේරි විද්‍යාලයට එරෙහිව ලබා ගත් කඩුලු 6ක් ද තිබෙනවා.
ඊට අමතර ව දකුණතින් පිට දඟපන්දු යවන රශාන් නවාංජන කඩුලු 32ක් දවා ගත්තා.
මෙම කුසලානය දිනා ගැනීමට පෙර තක්ෂිලා විද්‍යාලයීය ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ 2021 වසරේ දී සම ශූරයන් බවට ද පත් වුවා. ඒ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලය සමඟින් පැවති තරගය විසඳුමකින් තොරව නිමා වූ හේතුවෙන්.
එමෙන් ම 2022 වසරේ වයස අවුරුදු 15න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier B කාණ්ඩයේ ශූරයන් ලෙසින් ද අභිශේකයට පත් වූයේ හොරණ තක්ෂිලාවන්.
එම කුසලාන ගොන්නට මෙවර වයස අවුරුදු 19න් පහළ Tier B කුසලානය ද එක් කර ගැනීමට සමත් වූ හොරණ තක්ෂිලා විද්‍යාලයට ThePapare.com අපගේ උණුසුම් සුබ පැතුම්!
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<