සාන්ත ඇලෝසියස් විද්‍යාලය අවසන් සටනට

U 19 Division 1 Schools Cricket Limited Over Tournament 2024/25

6
U 19 Division 1 Schools Cricket Limited Over Tournament 2024/25

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ Tier B කාණ්ඩයේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ගාල්ල ඇලෝසියස් විද්‍යාලය අද (12) සමත් වුනා.

මග්ගොන Surrey Village ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ ප්‍රතිවාදීන් වූ කොළඹ ඉසිපතන විද්‍යාලය ලකුණු 76කින් පරාජය කරමිනුයි, ඔවුන් මෙම අවස්ථාව උදා කර ගත්තේ.

පන්දුවාර 45කට සීමා වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඉසිපතන විද්‍යාලයේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත ඇලෝසියස් විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 214ක් ලබා ගත්තා. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ විනෝද් දනුශ්ක. ඔහු පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 46ක් ලබා ගත්තා.

ඉන් නොනැවතුණ ඔහු තමන් සමඟින් ඉනිම ආරම්භ කළ දෙනෙත් දෙව්මින්ද හා එක් වෙමින් 1 වැනි කඩුල්ලට පන්දු 100ක දී ලකුණු 83ක සබඳතාවක් ද එක් කළා. දෙනෙත් දෙව්මින්ද පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 38ක් ලබා ගත්තා.

ඊට අමතර ව නවිඳු ප්‍රමෝද් පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 34ක් ද සහ සසිඳු මදුසර පන්දු 28කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 33ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී දසිත් සෙනාල් ලකුණු 21කට කඩුලු 4ක් දවා ගත් අතර ඊට අමතර ව ජනිත කවිශාන් සහ මලීෂ සඳරුවන් කඩුල්ල බැගින් දවා ගත්තා.

ලකුණු 215ක් ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ඉසිපතන විද්‍යාලයට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 138ක් පමණයි.

එම ඉනිම වෙනුවෙන් රන්මිත් සෙනරත් පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 48ක් ලබා ගත්තා. ඔහු මලීෂ සඳරුවන් (7) සමඟ 3 වැනි කඩුල්ලට පන්දු 91ක දී ලකුණු 63ක් එක් කිරිමට ද සමත් වෙනවා.

ඊට අමතර ව රුචිත් රොද්‍රිගෝ පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 33ක් ලබා ගත්තා. ඔහු දිල්ප රුවනක සමඟ 6 වැනි කඩුල්ලට පන්දු 83කට මුහුණ දෙමින් ලකුණු 53ක සබඳතාවක් ද එක් කළා. එහි දී දිල්ප රුවනක පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 19ක් ලබා ගත්තා.

පන්දු 36ක් ඉතිරි ව තිබිය දී ප්‍රතිවාදීන් මෙල්ල කළ පන්දු යවන්නන් අතුරින් ඉහළ ම දක්ෂතා දැක් වූයේ කවිඳු කේසර. ඔහු ලකුණු 25කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතර ව විනෝද් දනුශ්ක ලකුණකට කඩුලු 2ක් ද, දුල්සත් නිම්විරු ලකුණු 22කට කඩුලු 2ක් ද සහ සසිඳු රන්දීප ලකුණු 27කට කඩුලු 2ක් ද දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • සාන්ත ඇලෝසියස් විද්‍යාලය – කඩුලු 9ක් දැවී 214 (45.0)දෙනෙත් දේවින්ද 38, විනෝද් දනුශ්ක 46, නවිඳු ප්‍රමෝද් 34, සසිඳු මදුශාන් නොදැවී 33, දසිත් සෙනාල් 4/21
  • ඉසිපතන විද්‍යාලය – සියලුම දෙනා දැවී 138 (39.0)රන්මිත් සෙනරත් 48, රුචිත් රොද්‍රිගෝ 33, සසිඳු රන්දීප 2/27, දුල්සත් නිම්විරු 2/22, කවිඳු කේසර 3/25, විනෝද් දනුශ්ක 2/01

සාන්ත ඇලෝසියස් විද්‍යාලයට ලකුණු 76ක ජයක්.

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ Tier B කාණ්ඩයේ අවසන් මහා තරගය සඳහා මේ වෙද්දී ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය සුදුසුකම් ලබා ඇති අතර එම තරගය ඉදිරියේ දී පැවැත්වීමට නියමිතයි.

පාසල් ක්‍රිකට් පිටියේ තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<