ගාල්ල සහ මහනුවර අවසන් මහා තරගයට

U 19 Girls Sri Lanka Youth League 2024

3
U 19 Girls Sri Lanka Youth League 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන කාන්තා වයස අවුරුදු 19න් පහළ Youth League ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ගාල්ල සහ මහනුවර කණ්ඩායම් අද (14) සමත් වුනා.

සූරියවැව, මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද දවසේ දී ද මෙම තරගාවලියේ තරග 2ක් පැවැති අතර එහි දී Colombo U 19 Girls සහ Galle U 19 Girls කණ්ඩායම් අතර පැවැති තරගයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගැනිමට ගාලු ක්‍රීඩිකාවෝ ද සහ Kandy U 19 Girls සහ Dambulla U 19 Girls කණ්ඩායම් අතර පැවැති තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට මහනුවර ක්‍රීඩිකාවෝ ද සමත් වුනා.

ඒ අනුව ගාලු ක්‍රීඩිකාවෝ අවසන් මහා තරගය සඳහා එක් වෙන්නේ අපරාජිතව සිටිමින් වන අතර මහනුවර ක්‍රීඩිකාවෝ තරගාවලියේ පරාජය වූ එක ම ප්‍රතිවාදීන් වූයේ ගාලු කණ්ඩායම ම වීම විශේෂත්වයක්.

ඒ අනුව ඔවුන් අතර පැවැත්වෙන අවසන් මහා තරගය හෙට (15) සූරියවැව, මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතයි.

Colombo U 19 Girls සහ Galle U 19 Girls අතර තරගය

කාසියේ වාසිය දිනා ගත් අගනුවර ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් පිටියට පිවිසි අතර ඔවුන් තම පන්දුවාර 20 දී කඩුලු 5ක් දැවී ලකුණු 103ක් ලබා ගත්තා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ දැහැමි සෙනෙත්මා. ඇය පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 40ක් ලබා ගත්තා. ඊට අමර ව එරන්දි වර්ණකුලසූරිය (15) සහ විශ්මි සොයිසා (14*) ද ලකුණු අතරට පිවිසියා.

කඩුලු දවා ගැනීමේ දී චමෝදි මුණසිංහ ලකුණු 10කට කඩුලු 2ක් දවා ගත් අතර හිරුණි හංසිකා සහ රිශ්මි සංජනා කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ගාලු ක්‍රීඩිකාවෝ ප්‍රතිවාදී ඉලක්කය තවත් පන්දු 27ක් ඉතිරිව සපුරා ගන්නේ කඩුලු 3ක් පමණක් දැවී යමිනුයි. එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකාරිනී සංජනා කාවින්දි පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 42ක් ලබා ගත්තා.

ඊට අමතර ව රශ්මිකා සෙව්වන්දි පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 23ක් ද සහ සුමුදු නිසංසලා පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 21ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී දැහැමි සෙනෙත්මා, විශ්මි සොයිසා සහ ලිමි තිලකරත්න කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Colombo U 19 Girls – කඩුලු 5ක් දැවී 103 (20.0) එරන්දි වර්ණකුලසූරිය 15, දැහැමි සෙනෙත්මා නොදැවී 40, චමෝදි මුණසිංහ 2/10

Galle U 19 Girls – කඩුලු 3ක් දැවී 104 (15.3) සංජනා කාවින්දි නොදැවී 42, සුමුදු නිසංසලා 21, රශ්මිකා සෙව්වන්දි 23, දැහැමි සෙනෙත්මා 1/08

Galle U 19 Girls කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

Kandy U 19 Girls සහ Dambulla U 19 Girls

කාසියේ වාසිය දිනාගත් මහනුවර ක්‍රීඩිකාවන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දඹුලු ඉනිම ලකුණු 71ක දී සියලුම දෙනා දැවී ගියා. ඒ අවාසනාවන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ දනෝද්‍යා සෙව්මිණි. ඇය පන්දු 19ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 16ක් ලබා ගත්තා.

ඊට අමතර ව චලනි කවීශා පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 13ක් ලබා ගත් අතර අනෙක් කිසිදු පිතිකාරිනියකට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පැමිණීමට හැකි වූයේ නැහැ.

එම ඉනිම ඒ තරමින් අමාරුවේ දැමීමේ දී යූ. ඩී. සෝපිකා ලකුණු 10කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව මල්මි හේරත් කඩුලු 2ක් ද, ප්‍රමුදි මෙත්සරා, මිතාලි අයෝද්‍යා සහ අසේනි තලගුණේ කඩුල්ල බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මහනුවර ක්‍රීඩිකාවෝ ප්‍රතිවාදී ඉලක්කය 14 වැනි පන්දුවාරයේ දී සපුරා ගන්නේ කඩුලු 5ක් පමණක් දැවී යමින්.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ ආරම්භක පිතිකාරිනී හිරුණි දිසානායක. ඇය පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 22ක් ලබා ගත්තා. ඊට අමතර ව කවිශ්කා අබේරත්න පන්දු 30ක දී හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 16ක් සහ සඳුනි බෝලවත්ත පන්දු 14ක දී හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 15ක් ලෙසින් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී වගීෂා ජයවර්ධන, පියුමි කුලතුංග, චලනි කවීෂා සහ දනුලි තෙන්නකෝන් කඩුල්ල බැගින් දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Dambulla U 19 Girls – සියලුම දෙනා දැවී 71 (18.3) චලනි කවීෂා 13, දනෝද්‍යා සෙව්මිණි 16, මල්මි හේරත් 2/11, යූ. ඩී. සෝපිකා 3/08

Kandy U 19 Girls – කඩුලු 5ක් දැවී 72 (13.2) හිරුණි දිසානායක 22, කවීෂ්කා අබේරත්න නොදැවී 16, සඳුනි බෝලවත්ත නොදැවී 15, වගීෂා ජයවර්ධන 1/01

Kandy U 19 Girls කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

U 19 Girls Sri Lanka Youth League ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<