කාන්තා යොවුන් පිටිය අදත් උණුසුම් වෙයි

U 19 Girls Sri Lanka Youth League 2024

43
U 19 Girls Sri Lanka Youth League 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන කාන්තා වයස අවුරුදු 19න් පහළ Youth League ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 2ක් අද (08) සූරියවැව, මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූවා.

එම තරගවල දී දඹුලු ක්‍රීඩිකාවන්ට එරෙහි ව අගනුවර ක්‍රීඩිකාවෝ ද සහ මහනුවර ක්‍රීඩිකාවන්ට එරෙහි ව ගාලු ක්‍රීඩිකාවෝ ද ජයග්‍රහණ වාර්තා කළා. ගාල්ල කණ්ඩායම මේ වාර්තා කළේ තම 2 වැනි ජයග්‍රහණයයි.

Colombo U 19 Girls සහ Dambulla U 19 Girls අතර තරගය

කාසියේ වාසිය දිනා ගත් දඹුලු ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 5ක් දැවී ලකුණු 111ක් ලබා ගත්තා. එම ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ නෙත්මි උපේක්ෂා ඇය පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී දිනිති නාගසිංහ කඩුලු 2ක් ද, රශ්මිලා නිශාදි සහ ලිමි තිලකරත්න කඩුල්ල බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි අගනුවර ක්‍රීඩිකාවෝ කඩුලු 6ක් පමණක් දැවී ප්‍රතිවාදී ඉලක්කය පසු කළා. එහි දී උමායා රත්නායක පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 31ක් ලබා ගත්තා.

ඇය 6 වැනි කඩුල්ලට විශ්මි සොයිසා සමඟ එක් වෙමින් පන්දු 44ක දී ලකුණු 58ක සබඳතාවක් එක් කළා. විශ්මි සොයිසා පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තා.

ඊට අමතර ව නායිකා හසිනි විජේසිංහ පන්දු 31ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 23ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී වගීෂා ජයවර්ධන සහ දනුලි තෙන්නකෝන් කඩුලු 2ක් බැගින් ද, කේශලී සනුලි සහ චලනි කවීෂා කඩුල්ල බැගින් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Dambulla U 19 Girls – කඩුලු 5ක් දැවී 111 (20.0) නෙත්මි උපේක්ෂා 30, දනෝද්‍යා සෙව්මිණි නොදැවී 18, දිනිති නාගසිංහ 2/17

Colombo U 19 Girls – කඩුලු 6ක් දැවී 114 (19.2) හසිනි විජේසිංහ 23, උමායා රත්නායක නොදැවී 31, විශ්මි සොයිසා 21, වගීෂා ජයවර්ධන 2/20, දනුලි තෙන්නකෝන් 2/20

Colombo U 19 Girls කණ්ඩායමට කඩුලු 4ක ජයක්.

Kandy U 19 Girls සහ Galle U 19 Girls අතර තරගය

කාසියේ වාසිය දිනාගත් මහනුවර ක්‍රීඩිකාවන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගාලු ක්‍රීඩිකාවෝ කඩුලු 5ක් දැවී ලකුණු 130ක් ලබා ගත්තා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ සංජනා කාවින්දි. ඇය පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 43ක් ලබා ගත්තා. ඊට අමතර ව ඇය හිරුණි හංසිකා සමඟ පළමු වැනි කඩුල්ලට එක් වෙමින් පන්දු 67ක දී ලකුණු 68ක් ද එක් කළා.

හිරුණි හංසිකා පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තා.

ඊට අමතර ව නෙතඟි ඉසුරංජලී පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 22ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී කවිශ්කා අබේරත්න සහ ප්‍රමුධි මෙත්සරා කඩුල්ල බැගින් බෙදා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මහනුවර ක්‍රීඩිකාවන්ගේ ඉනිම කඩුලු 7ක් දැවී ලකුණු 81කට සීමා වූවා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ ප්‍රමුධි මෙත්සරා ඇය පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 19ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී ශෙහාරා ඉඳුවරි ලකුණු 23කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව රිශ්මි සංජනා සහ රශ්මිකා සෙව්වන්දි කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Galle U 19 Girls – කඩුලු 5ක් දැවී 130 (20.0) සංජනා කාවින්දි 43, හිරුනි හංසිකා 35, නෙතඟි ඉසුරංජලී නොදැවී 22, කවිෂ්කා අබේරත්න 1/18

Kandy U 19 Girls – කඩුලු 7ක් දැවී 81 (20.0) ප්‍රමුධි මෙත්සරා 19, ශෙහාරා ඉඳුවරී 4/23

Galle U 19 Girls කණ්ඩායමට ලකුණු 49ක ජයක්.

තරගාවලියේ තවත් තරග 2ක් මේ මස 10 වැනිදා එම ක්‍රීඩාංගණයේ දී ම පැවැත් වෙනවා. ඒ අනුව ගාල්ල සහ කොළඹ අතර තරගය පෙරවරුවේ ද සහ මහනුවර සහ දඹුල්ල අතර තරගය පස්වරුවේ දී ද පැවැත්වීමට නියමිතයි.

U 19 Girls Sri Lanka Youth League ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<