17න් පහළ යොවුන් ශූරතාව කොළඹ දකුණට

U 17 Sri Lanka Youth League Tournament 2024

2

විමත් දින්සර සහ රෙහාන් පීරිස් ගේ අගනා ඉනිම් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ලද වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී Kandy කණ්ඩායමට එරෙහි ව කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගත් Colombo South කණ්ඩායම ශූරතාව දිනා ගත්තා. 

අනුරාධපුර සමාධි පිටියේ දී පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Kandy ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 192ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිමේ දී Colombo South කණ්ඩායම තවත් පන්දුවාර 14.2ක් ඉතිරි ව තිබිය දී කඩුලු 4ක් පමණක් දැවී අදාළ ඉලක්කය සපුරා ගනිමින් තරගයේ ජයග්‍රහණය වාර්තා කළා.   

Kandy කණ්ඩායම 

කවිජ ගමගේ (නායක), කෞෂික කුමාරසිංහ, කාශ්‍යප දිසානායක, දිමන්ත මහවිතාරණ, කලණ හේරත්, සෙත්මික සෙනෙවිරත්න, ආදම් හිල්මි, රයන් ග්‍රෙගරි, දසුන් වැලියංග, කෙනුල පිහිලිංග සහ නිමේෂ් සිල්වා.  

 

Colombo South කණ්ඩායම 

විමත් දින්සර (නායක), රෙහාන් පීරිස්, සුහස් ප්‍රනාන්දු, ඔශාන් ද සිල්වා, දිනෙත් සිතුමිණ (කඩුලු රකින්නා), රමිරු පෙරේරා, හිරුෂ ප්‍රනාන්දු, රන්දීශ බණ්ඩාරනායක, ජොශුවා සෙබස්තියන්, රුසිත් ජයවර්ධන සහ අබීත් පරණවිදාන. 

කාසියේ වාසිය දිනා ගත් Colombo South කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහනුවර කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්තේ ආරම්භක පිතිකරු කෞෂික කුමාරසිංහ. ඔහු පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 47ක් ලබා ගත්තා. 

ඔහු පිටියේ රැඳී සිටිය දී කාශ්‍යප දිසානයක (13) හා එක් ව පළමු කඩුල්ලට පන්දු 36ක දී ලකුණු 34ක් ද සහ 2 වැනි කඩුල්ලට දිමන්ත මහවිතාරණ (19) හා එක් ව පන්දු 36ක දී ලකුණු 40ක සබඳතාවක් ද එක් කිරීමට සමත් වූවා.  

අනතුරු ව ඉනිමේ මැදි පෙළින් පිටියට පිවිසි ආදම් හිල්මි පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 42ක් ලබා ගත්තා. ඔහු 9 වැනි කඩුල්ල වෙනුවෙන් කෙනුල පිහිලියංග සමඟ එක් වෙමින් පන්දු 44ක දී ලකුණු 42ක සබඳතාවක් ගොඩ නැගීමට ද සමත් වුනා.  

Kandy ඉනිම අවසන් වෙද්දී කෙනුල පිහිලියංග පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 19ක් ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී රන්දීශ බණ්ඩාරනායක ලකුණු 29කට කඩුලු 3ක් දවා ගත් අතර විමත් දින්සර, ජොශුවා සෙබස්තියන්, අබීත් පරණවිදාන, ඔශාන් ද සිල්වා සහ හිරුෂ ප්‍රනාන්දු කඩුල්ල බැගින් දවා ගත්තා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Colombo South ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් සර්ථක ආරම්භයක් ලබා ගැනීමට රෙහාන් පීරස් සහ සුහස් ප්‍රනාන්දු සමත් වුනා. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 90ක දී ලකුණු 72ක සබඳතාවක් එක් කළා.  

ඒ අතුරින් පළමුවෙන් ම දැවී ගියේ සුහස් ප්‍රනාන්දු. ඔහු ඒ වෙද්දී පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 35ක් ලබා සිටියා.  

අනතුරු ව රෙහාන් පීරිස් සහ විමත් දින්සර එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 53ක දී ලකුණු 59ක් ලබා ගත්තා. එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ රෙහාන් පීරිස් ගේ දැවී යෑමත් සමඟිනුයි. රෙහාන් පීරිස් පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 52ක් ලබා ගත්තා. 

එම කඩුල්ල දැවී යෑමෙන් පසුව යැවුණ පන්දුවේ දී ඔශාන් ද සිල්වා ද දවා ගැනීමට රයන් ග්‍රෙගරි සමත් වුනා. නමුත් එතැන් සිට නැවත දීර්ඝ ලකුණු සබඳතාවකට යෑමට Colombo South ක්‍රීඩකයෝ සමත් වීමත් සමඟින් තරගයේ පාලනය ඔවුන් වෙත නතු වුණා.  

ඉනිමේ සිව් වැනි කඩුල්ල ලෙසින් විමත් දින්සර දැවී යන්නේ තරගයේ වැඩිම ලකුණුලාභියා වෙමිනුයි. ඔහු පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 77ක් ලබා සිටියා.  

ඉනිම ජයග්‍රහණයෙන් කෙළවර වෙද්දී දිනෙත් සිතුමිණ නොදැවී ලකුණු 18ක් සහ රමිරු පෙරේරා නොදැවී ලකුණු 4ක් ලබා සිටියා. 

කඩුලු දවා ගැනීමේ දී රයන් ග්‍රෙගර් ලකුණු 34කට කඩුලු 2ක් දවා ගනිද්දී කෙනුල පිහිලියංග කඩුල්ලක් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

 

Kandy – සියලුම දෙනා දැවී 192 (38.2) කෞෂික කුමාරසිංහ 47, දිමන්ත මහවිතාරණ 19, ආදම් හිල්මි 42, කෙනුල පිහිලියංග නොදැවී 19, රන්දීශ බණ්ඩාරනායක 3/29 

Colombo South – කඩුලු 4ක් දැවී 193 (35.4) රෙහාන් පීරිස් 52, සුහස් ප්‍රනාන්දු 35, විමත් දින්සර 77, දිනෙත් සිතුමිණ නොදැවී 18, රයන් ග්‍රෙගරි 2/34 

 

Colombo South කණ්ඩායමට කඩුලු 6ක ජයක්.  

  • අවසන් මහා තරගයේ වීරයා – විමත් දින්සර (Colombo South)
  • තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – මෙවන් දිසානායක (Colombo North)
  • තරගාවලියේ දක්ෂතම පිතිකරු – දුල්නිත් සිගේරා (Colombo North)
  • තරගාවලියේ වීරයා – කවීජ ගමගේ (Kandy)

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<