ගාල්ල, මහනුවර, කොළඹ උතුර සහ දකුණ අවසන් පූර්ව වටයට

U 17 Sri Lanka Youth League Tournament 2024

1
U 17 Sri Lanka Youth League Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී පළමු වටයේ තරග අද (27) අවසන් වූනා.

Dambulla සහ Colombo North අතර තරගය සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Colombo North කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 182ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Dambulla කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 151ක් පමණයි.

Colombo North ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 19ක දී දැවී ගිය පසු 2 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 120ක දී ලකුණු 103ක සබඳතාවක් එක් කිරීමට සෙනුජ වැකුණගොඩ සහ දෙනුර දම්සිත් සමත් වුනා.

සෙනුජ වැකුණගොඩ පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 59ක් ලබා ගත් අතර දෙනුර දම්සිත් පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 41ක් ලබා ගන්නවා.

පන්දු යැවීමේ දී විග්නේශ්වරන් ආකාශ් ලකුණු 23කට කඩුලු 4ක් දවා ගත් අතර ඊට අමතර ව දමේෂ් මෙතිශාන් කඩුලු 2ක් ද, සනුජ නිඳුවර සහ මෙනුර නිරෝෂන කඩුල්ලක් බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Dambulla කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක චන්දූප අබේසිංහ. ඔහු පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී කිත්ම විදානපතිරණ ලකුණු 21කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර මෙවන් දිසානායක ලකුණු 28කට කඩුලු 3ක් දවා ගනිමින් ඔහුට අනගි සහයෝගයක් ලබා දුන්නා.

ඊට අමතර ව දුල්නිත් සිගේරා, තනුග පලිහවඩන සහ ගීනෝද් පෙරේරා කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

 

Colombo North – සියලුම දෙනා දැවී 182 (43.3) සෙනුජ වැකුණගොඩ 59, දෙනුර දම්සිත් 41, රීඩ් කරීම් 26, මෙවන් දිසානායක 20, විග්නේශ්වරන් ආකාශ් 4/23, දමේෂ් මතීශාන් 2/11

 

Dambulla –  සියලුම දෙනා දැවී 151 (37.1) නවෝද්‍ය සමරසිංහ 21, චන්දූප අබේසිංහ 32, සනුජ නිඳුවර 22, සුදර්ශන් සුබර්නන් 24, මෙවන් දිසානායක 3/28, කිත්ම විදානපතිරණ 4/21

 

Colombo North කණ්ඩායමට ලකුණු 31ක ජයක්.  

Colombo South සහ Galle අතර තරගය සමාධි පිටියේ දී.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ Colombo South කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Galle ක්‍රීඩකයෝ තම ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 233ක් ලබා ගත් අතර එම ඉලක්කය කඩුලු 3ක් සහ පන්දු 10ක් ඉතිරි ව තිබිය දී සපුරා ගැනීමට Colombo South ක්‍රීඩකයෝ සමත් වුනා.

ගාලු ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූයේ නායක විරාන් චමුදිත. ඔහු පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 47ක් ලබා ගත්තා.

ඔහු රශේන් දිල්හාර (27) සමඟ එකතු වෙමින් 6 වැනි කඩුල්ලට පන්දු 36ක දී ලකුණු 53ක සබඳතාවක් එක් කළා.

ගාලු ඉනිම ශක්තිමත් කිරීමේ දී රන්දුල් මාබරණ පන්දු 37ක දී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 35ක් ද සහ දුල්සත් නිමවිරු පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 31ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී රමිරු පෙරේරා සහ හිරුෂ ප්‍රනාන්දු කඩුලු 2ක් බැගින් දවා ගත් අතර ඔෂාන් ද සිල්වා, අභීත් පරණවිදාන, රුසිත් ජයවර්ධන, ජොසුවා සෙබස්තියන් සහ රන්දීශ බණ්ඩාරනායක කඩුල්ල බැගින් දවා ගත්තා.

Colombo South හඹා යන ඉනිමේ දී අර්ධ ශතක ද්විත්වයක් වාර්තා වුනා. එහි දී රුසිත් ජයවර්ධන පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 68ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වූවා.

ඊට අමතර ව ආරම්භක පිතිකරු රෙහාන් පීරිස් පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 53ක් ලබා ගත්තා.

 Colombo South ඉනිමේ ලකුණු 127කට කඩුලු 6ක් දැවී ගොස් තිබිය දී 7 වැනි කඩුල්ල වෙනුවෙන් එක් වූ රුසිත් ජයවර්ධන සහ ජොසුවා සෙබස්තියන් පන්දු 72ක දී ලකුණු 66ක සබඳතාවක් එක් කරමින් තරගයට ජීවය දීමට සමත් වූවා.

එහි දී ජොසුවා සෙබස්තියන් 37කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 24ක් ලබා ගත්තා.

අනතුරු ව 8 වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 41ක සබඳතාවක් එක් කිරීමට රුසිත් ජයවර්ධන සහ රන්දීශ බණ්ඩාරනායක සමත් වුනා. රන්දීශ බණ්ඩාරනායක තරගය අවසන් වන විට පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 14ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී ජිතිර සන්සිත සහ ගිම්හාන රසාංජන කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර රශේන් දිල්හාර, දුල්සත් නිමවිරු සහ විරාන් චමුදිත කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

 

Galle – සියලුම දෙනා දැවී 233 (41.3) රන්දුල් මාබරණ 35, විරාන් චමුදිත 47, රශේන් දිල්හාර 27, ඉමෙත් මනම්පේරි 19, දුල්සත් නිමවිරු නොදැවී 31, හිරුෂ ප්‍රනාන්දු 2/37, රමිරු පෙරේරා 2/29

 

Colombo South – කඩුලු 7ක් දැවී 237 (48.2) රෙහාන් පීරිස් 53, ඔශාන් ද සිල්වා 30, රුසිත් ජයවර්ධන නොදැවී 68, ජොශුවා සෙබස්තියන් 24, ජිතිර සන්සිත 2/32, ගිම්හාන රසාංජන 2/41

 

Colombo South කණ්ඩායමට කඩුලු 3ක ජයක්.

මෙම තරග ද්විත්වයත් සමඟින් මෙම තරගාවලියේ පළමු වටයේ තරග අවසන් වූ අතර Colombo North, Kandy, Galle සහ Colombo South යන කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

ඒ අනුව Colombo North සහ Kandy කණ්ඩායම් අතර පැවැත්වෙන පළවු අවසන් පූර්ව තරගය සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණයේ දී ද සහ Colombo South සහ Galle කණ්ඩායම් අතර පැවැත්වෙන 2 වැනි අවසන් පූර්ව තරගය අනුරාධපුර සමාධි පිටියේ දී ද හෙට (28) පැවැත්වීමට නියමිතයි.

වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<