දුල්නිත් සිගේරාත් ශතක සමාජයට

U 17 Sri Lanka Youth League Tournament 2024

4

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනය වූ අද (22) දිනය අවසන් වූයේ තවත් ශතකයක් තරගාවලියට එක් වෙමින්.

ආරම්භක දිනයේ ම ශතක 2ක් වාර්තා වූ අතර අද ශතකය වාර්තා කළේ කොළඹ මහානාම විද්‍යාලය නියෝජනය කරමින් Colombo North කණ්ඩායම හා එක් වූ දුල්නිත් සිගේරා.

ඔහුට අමතර ව පෙර දිනයේ ශතකයක් වාර්තා කළ Kandy කණ්ඩායමේ නායක කවිජ ගමගේ අද අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වීම කැපී පෙණුනා. ඊට අමතර ව Colombo North කණ්ඩායමේ දෙනුර දම්සිත් සහ කිත්ම විදානපතිරණ, Colombo South කණ්ඩායමේ දිනෙත් සිතුමිණ සහ Dambulla කණ්ඩායමේ ජනිඳු රණසිංහ ද අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ Colombo North කණ්ඩායමේ තනුග පළිහවඩන යි.

මේ අතර අද පැවැති තරගවල දී Colombo North සහ Dambulla කණඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුනා. Colombo North ක්‍රීඩකයෝ මේ ලැබුවේ තම 2 වැනි ජයග්‍රහණයයි.

Kandy සහ Colombo North අතර තරගය සමාධි පිටියේ දී.

කාසියේ වාසිය දිනා ගත් Kandy නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව උදා කර ගනිමින් පිටියට පිවිසි අතර ඒ අනුව ඔවුන් සියලුම දෙනා දැවී ලකුණු 292ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙසින් Colombo North ක්‍රීඩකයෝ තරගය වර්ෂාව හේතුවෙන් නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 277ක් ලබා සිටියා.

පළමුවෙන් පන්දුවට පහර දුන් මහනුවර ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක කවිජ ගමගේ. ඔහු පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 81ක් ලබා ගත්තා.

ඊට අමතර ව පුලස්ති තිලකරත්න සමඟ එක් ව ඔහු පන්දු 122ක දී ලකුණු 88ක් ද එක් කිරීමට සමත් වුනා. පුලස්ති තිලකරත්න පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 45ක් ලබා ගත්තා.

අනතුරු ව කඩුල්ලේ දී ශෙවෝන් කනිශ්ක සමඟ එක් වෙන කවිජ ගමගේ පන්දු 47ක දී ලකුණු 73ක් ද එක් කිරීමට සමත් වෙනවා. ශෙවෝන් කනිශ්ක පන්දු 21ක දී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 33ක් ලබා ගත්තා.

නුවර ඉනිම ශක්තිමත් කිරීමේ දී ආදම් හිල්මි පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 48ක් ලබා ගනිමින් කැපී පෙණෙන ඉනිමක නිතර වුනා.

කඩුලු දවා ගැනීමේ දී තනුග පලිහවඩන ලකුණු 28කට කඩුලු 4ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව රසිත නිම්සර කඩුලු 3ක්, දුල්නිත් සිගේරා, මෙවන් දිසානායක සහ කිත්ම විදානපතිරණ ද කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිමේ දී පළමු කඩුල්ලේ සිට ම සටන්කාමී ලකුණු පුවරුවක් ගොඩ නැගීමට Colombo North කණ්ඩායම සමත් වීම කැපී පෙණුනා. එහි දී වැඩි වැඩ කොටසක් කළේ දකුණත් ආරම්භක පිතිකරු දුල්නිත් සිගේරා.

ඔහු පළමු කඩුල්ලට පන්දු 46ක දී ලකුණු 57ක සබඳතාවක් එක් කිරීමට නෙතුල එදිරිමාන්න (15) එක් කර ගත් අතර 2 වැනි කඩුල්ලට පන්දු 98ක දී ලකුණු 111ක සබඳතාවක් එක් කිරීමට දෙනුර දම්සිත් එක් කර ගත්තා.

දෙනුර දම්සිත් පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 58ක් ලබා ගත්තා. ඊට අමතර නායක කිත්ම විදානපතිරණ ද පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 52ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 47ක දී ලකුණු 46ක සබඳතාවක් එක් කරමින් තම කණ්ඩායමේ ජයග්‍රහණයට උර දුන්නා.

ඊට අමතර ව කිත්ම විදානපතිරණ සහ  Raaed Carrim (19) සිව් වැනි කඩුල්ල සඳහා පන්දු 44ක දී ලකුණු 42ක් ද එක් කළා.

වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 42.3ක දී නතර කෙරුණ අතර ඒ වෙද්දී ඔවුන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය ගණනය කිරීම මත ප්‍රතිවාදීන්ට වඩා ඉදිරියෙන් සිටියා. තරගය එලෙස නතර වෙද්දී රමිත් බණ්ඩාර (6*) සහ දිනෝෂ් ගමගේ (9*) නොදැවී පිටියේ රැඳී සිටියා.

කඩුලු දවා ගැනීමේ දී කාශ්‍යප දිසානායක සහ රයන් ග්‍රෙගරි කඩුලු 2ක් බැගින් දවා ගත් අතර කෙනුල පිහිලියංග කඩුල්ලක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Kandy – සියලුම දෙනා දැවී 292 (49.4) කාශ්‍යප දිසානායක 21, කෞෂික කුමාරසිංහ 23, දිමන්ත මහවිතාරණ 22, කවිජ ගමගේ 81, පුලීශ තිලකරත්න 45, ශෙවෝන් කනිශ්ක 33, ආදම් හිල්මි 48, රසිත් නිම්සර 3/57, තනුග පළිහවඩන 4/28

Colombo North – කඩුලු 5ක් දැවී 277 (42.3) දුල්නිත් සිගේරා 109, දෙනුර දම්සිත් 58, කිත්ම විදානපතිරණ 52, Raaed Carrim 19, කාශ්‍යප දිසානායක 2/32, රයන් ග්‍රෙගරි 2/41

Colombo North කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 5ක ජයක්.

Colombo South සහ Dambulla අතර තරගය සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය දිනූ දඹුලු නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Colombo South කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 168ක් ලබා ගත් අතර එම ඉලක්කය තවත් පන්දු 25ක් සහ කඩුලු 3ක් ඉතිරිව තිබිය දී සපුරා ගැනීමට Dambulla කණ්ඩායම සමත් වුනා.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Colombo South කණ්ඩායම වෙනුවෙන් දිනෙත් සිතුමිණ පන්දු 119කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 69ක් ලබා ගැනීම කැපී පෙණුනා.

ඊට අමතර ව සුහස් ප්‍රනාන්දු පන්දු 72ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 29ක් ද සහ රමිරු පෙරේරා පන්දු 26ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 27ක් ද ලබා ගත්තා.

ඔවුන් තිදෙනා හැරෙන්නට අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පැමිණීමට ප්‍රතිවාදී පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ.

එහි දී ආරම්භක පන්දු යැවූ භාග්‍ය ඉශාන් ලකුණු 18කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව දිමත් අබේසිංහ, දමේශ් මතීශාන් සහ කේ. මතුලාන් කඩුලු ද්විත්වය බැගින් බෙදා ගත්තා.

හඹායන ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ජනිඳු රණසිංහ. ඔහු පන්දු 147කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 69ක් ලබා ගත්තා. ඊට අමතර ව සනුජ නිඳුවර පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 33ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 94ක දී ලකුණු 64ක සබඳතාවක් එක් කරමින් තරගය ජයග්‍රහණය කරා ගෙන ගියා.

කඩුලු දවා ගැනීමේ දී අභීත් පරණවිදාන ලකුණු 20කට කඩුලු 2ක් දවා ගනිද්දී ජොෂුවා සෙබස්තියන්, විමත් දින්සර, හිරුෂ ප්‍රනාන්දු සහ චිතුම් බැද්දගේ කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Colombo South – සියලුම දෙනා දැවී 168 (48.0) සුහස් ප්‍රනාන්දු 29, දිනෙත් සිතුමිණ නොදැවී 69, රමිරු පෙරේරා 27, භාග්‍ය ඉශාන් 3/18, කේ. මතුලාන් 2/30, දිමත් අබේසිංහ 2/11, දමේෂ් මතීශාන් 2/23

Dambulla – කඩුලු 7ක් දැවී 169 (45.5) ජනිඳු රණසිංහ 69, සනුජ නිඳුවර 33, අභීත් පරණවිදාන 2/20

Dambulla කණ්ඩායමට කඩුලු 3ක ජයක්.

මෙම තරගාවලියේ තවත් තරග 2ක් මේ මස 24 වැනි සෙනසුරාදා  පැවැත්වීමට නියමිතයි. ඒ අනුව Colombo South සහ Kandy කණඩායම් අතර පැවැත්වෙන තරගය සාලියපුර දීත් සහ Dambulla සහ Galle කණ්ඩායම් අතර පැවැත්වෙන තරග සමාධි පිටියේ දීත් පැවැත්විමට නියමිතයි.

වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<