සුහස් සහ කවිජ ශතක ලබා ගනී

U 17 Sri Lanka Youth League Tournament 2024

1
U 17 Sri Lanka Youth League Tournament 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලිය අද (21) අනුරාධපුරයේ දී ආරම්භ වූවා.

තරග ආරම්භක දිනයේ දී ම ශතක වාර්තා කිරිමට Colombo South කණ්ඩායම නියෝජනය කරන මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ සුහස් ප්‍රනාන්දු සහ Kandy කණ්ඩායම නියෝජනය කරන මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ කවිජ ගමගේ සමත් වුනා.

Colombo South සහ Colombo North අතර තරගය සමාධි පිටියේ දී.

වර්ෂාව හේතුවෙන් පන්දුවාර 36කට සීමා වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් Colombo North කණ්ඩාය පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Colombo South ක්‍රීඩකයෝ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 247ක් ලබා ගත්තා. එම ඉනිම වෙනුවෙන් සුහස් ප්‍රනාන්දු පන්දු 110කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 103ක් ලබා ගත්තා.

ඔහු අසදිස ද සිල්වා සමඟ 2 වැනි කඩුල්ලට පන්දු 137ක දී ලකුණු 150ක සබඳතාවක් එක් කිරීමට ද සමත් වුනා.

අසදිස ද සිල්වා පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 69ක් ලබා ගත්තා. ඊට අමතර ව රමිරු පෙරේරා පන්දු 11ක දී හතරේ පහර 2ක් සහ හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 45ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනිමේ දී මෙවන් දිසානායක සහ රසිත නිම්සර කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුර ඉනිම සඳහා පිටියට පිවිසි Colombo North ක්‍රීඩකයෝ කඩුලු 7ක් පමණක් දැවී ප්‍රතිවාදී ඉලක්කය පසු කරන්නේ තරගය අවසන් වීමට තවත් පන්දුවක් පමණක් ඉතිරි ව තිබියදීයි.

එම ඉනිම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ රමිත් බණ්ඩාර යි. ඔහු පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 73ක් ලබා ගන්නවා.

ඔහු ලිතුම් සෙනුජ සමඟ 6 වැනි කඩුල්ලට පන්දු 82ක දී ලකුණු 91ක සබඳතාවක් ද සහ රහීඩ් කරීම් සමඟ 5 වැනි කඩුල්ලට පන්දු 59ක දී ලකුණු 50ක සබඳතාවක් ද එක් කරනවා.

ලිතුම් සෙනුජ පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 38ක් ද සහ රහීඩ් කරීම් පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 38ක් ද ලබා ගත්තා.

ඊට අමතර ව ආරම්භක පිතිකරු දුල්නිත් සිගේරා තරගයට සුබවාදී ආරම්භයක් ලබා දෙමින් පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 52ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී රමිරු පෙරේරා සහ චිතුම් බැද්දගේ කඩුලු 2ක් බැගින් ද සහ අභීත් පරණවිදාන සහ හිරුෂ ප්‍රනාන්දු කඩුල්ල බැගින් දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

 

Colombo South – කඩුලු 3ක් දැවී 247 (36.0) රෙහාන් පීරිස් 22, සුහස් ප්‍රනාන්දු 103, අසදිස ද සිල්වා 69, රමිරු පෙරේරා නොදැවී 45,

 

Colombo North – කඩුලු 7ක් දැවී 250 (35.5) දුල්නිත් සිගේරා 52, කිත්ම විදානපතිරණ 22, රහීඩ් කරීම් 38, රමිත් බණ්ඩාර නොදැවී 73, ලිතුම් සෙනුජ 38, චිතුම් බැද්දගේ 2/35, රමිරු පෙරේරා 2/27

 

Colombo North කණ්ඩායමට කඩුලු 3ක ජයක්.

Kandy සහ Galle අතර තරගය සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.

මෙම තරගය ද වර්ෂාව හේතුවෙන් පන්දුවාර 38කට සීමා වෙමින් පැවැති අතර කාසියේ වාසිය  දිනා ගත් මහනුවර ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසියා. ඒ අනුව ඔවුන් කඩුලු 7ක් දැවී ලකුණු 253ක් ලබා ගන්නවා.

එම ඉනිම වෙනුවෙන් නායක කවිජ ගමගේ පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 100ක් ලබා ගන්නවා.

ඔහු ආදම් හිල්මි (23) සමඟ එක් වෙමින් 7 වැනි කඩුල්ලට පන්දු 46ක දී ලකුණු 53ක සබඳතාවක් ද එක් කිරීමට සමත් වෙනවා.

ආරම්භක පිතිකරු කාශ්‍යප දිසානායක ඉනිමට කදිම ආරම්භයක් ලබා ගනිමින් පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 50ක් ලබා ගන්නවා. ඔහු ඉනිම ආරම්භ කළ දිමන්ත මහවිතාන (29) සමඟින් එක් ව පළමු කඩුල්ලට පන්දු 101ක දී ලකුණු 91ක සබඳතාවක් එක් කිරීමට ද සමත් වුනා.

කඩුලු දවා ගැනීමේ දී ලින්දුල නුවංග, ගිම්හාන රසාංජන සහ දුල්සත් නිමවිරු කඩුලු 2ක් බැගින් ද සහ විරාන් චමුදිත කඩුල්ලක් ද දවා ගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ගාලු ක්‍රීඩකයන්ට ක්‍රීඩා කිරීමට හැකි වෙන්නේ පන්දුවාර 4.0ක් පමණයි. වර්ෂාව හේතුවෙන් තරගය එම අවස්ථාවේ දී නතර කිරීමට සිදු වෙන අතර ඉන් පසුව  තරගය ආරම්භ කිරීමට තරම් සුදුසු වාතාවරණයක් පැවැතියේ නැහැ.

ඒ වෙද්දී ගාලු ක්‍රීඩකයෝ කිසිවෙක් නොදැවී ලකුණු 28ක් ලබා සිටියා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Kandy – කඩුලු 7ක් දැවී 253 (38.0) දිමන්ත මහවිතාරණ 29, කාශ්‍යප දිසානායක 50, කවිජ ගමගේ නොදැවී 100, ආදම් හිල්මි 23, ලින්දුල නුවාංග 2/32, දුල්සත් නිමවිරු 2/48, ගිම්හාන රසාංජන 2/32

Galle – කිසිවෙක් නොදැවී 28 (4.0) දුල්සිත් දර්ශන නොදැවී 16, විනෝද් දනුශ්ක නොදැවී 11

තරගයේ විසඳුමක් නෑ.

මෙම තරගාවලියේ තවත් තරග 2ක් හෙට (22) දිනයේ දී ද පැවැත්වීමට නියමිතයි. ඒ අනුව Dambulla සහ Colombo South අතර තරගය සාලියපුර දීත් සහ Kandy සහ Colombo North අතර තරග සමාධි පිටියේ දීත් පැවැත්විමට නියමිතයි.

වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<