ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ 2023 වසරේ ශූරතාව දිනා ගැනීමට කඳාන ද මැසිනොද් විද්‍යාලය සමත් වුනා.
ඔවුන් මෙම ශූරතාව දිනා ගත්තේ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයට එරෙහිව ලකුණු 51ක ජයග්‍රහණයක් ලබා ගනිමිනුයි.
මෙම තරගාවලිය සඳහා දිවයිනේ පාසල් 76ක් සහභාගී වූ අතර ඔවුන් කාණ්ඩ 14ක් යටතේ තරගාවලියට සඳහා එක් වුනා. එහි දී ද මැසිනොද් විද්‍යාලයීය කණ්ඩායම අපරාජිතව මෙම ශූරතාවට හිමිකම් කීමට සමත් වීම වඩාත් කැපී පෙනුණා.
එමෙන්ම, මෙම ශූරතාව ද මැසිනොද් විද්‍යාලයීය ක්‍රිකට් ඉතිහාසයට එක් වෙන්නේ ඕනෑම වයස් කාණ්ඩයක පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගවල දී දිනූ පළමු කුසලානය ලෙසින් වීමත් වැදගත්.
“ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් ගොඩාක් සතුටු වෙනවා. මේ වෙනුවෙන් කණ්ඩායමේ සියලුම දෙනා ගොඩාක් මහන්සි වුනා. විශාල කැපවීම් කළා. පාසලේ විදුහල්පති සහ නියෝජ්‍ය විදුහල්පති සහෝදරතුමන්ලාගේ මඟ පෙන්වීම මේ ජයග්‍රහණයට බෙහෙවින් ඉවහල් වුනා. ඔවුන් අපට අවශ්‍ය සෑම දෙයක් ම සපයමින් මේ ජයග්‍රහණයේ ප්‍රධාන නියමුවන් වුනා. ඒ ගැන ඔවුන්ට විශේෂයෙන් ම ස්තූති කළ යුතුයි.
ඒ වගේ ම මේ ජයග්‍රහණයට දායක වූ සෑම කෙනෙක්ට ම මම කණ්ඩායම වෙනුවෙන් ගෞරවය පුද කරන අතර අපි කණ්ඩායමක් ලෙස ලැබූ මේ ජයග්‍රහණය ඉදිරියේදීත් රැක ගැනීමට බලාපොරොත්තු වෙන බව ද පැවැසිය යුතුයි,” ද මැසිනොද් විද්‍යාලයීය ක්‍රිකට් භාර ආචාර්ය මලික් කීර්ති මහතා ThePapare.com සමඟ පැවසුවා.
ද මැසිනොද් විද්‍යාලයේ ජයග්‍රාහී ගමන් මඟ
ප්‍රතිවාදී කණ්ඩායම් | ප්‍රතිඵලය | |
ප්‍රථම වටය | ||
1 | ධර්මාලෝක විද්‍යාලය, කැළණිය. | ද මැසිනොද් විද්‍යාලයට කඩුලු 4ක ජයක්. |
2 | මධ්‍ය මහා විද්‍යාලය, ගලහිටියාව. | ද මැසිනොද් විද්‍යාලයට ලකුණු 270ක ජයක්. |
3 | බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය, ගම්පහ. | ද මැසිනොද් විද්‍යාලයට ලකුණු 81ක ජයක්. |
4 | මධ්‍ය මහා විද්‍යාලය, හේනේගම. | ද මැසිනොද් විද්‍යාලයට කඩුලු 8ක ජයක්. |
දෙවැනි වටය | ||
5 | සාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස. | ද මැසිනොද් විද්‍යාලයට ලකුණු 126ක ජයක්. |
6 | රාජකීය විද්‍යාය, කොළඹ. | ද මැසිනොද් විද්‍යාලයට කඩුලු 7ක ජයක්. |
අර්ධ අවසන් පූර්ව වටය | ||
7 | සාන්ත සර්වේශස් විද්‍යාලය, මාතර. | ද මැසිනොද් විද්‍යාලයට ලකුණු 113ක ජයක්. |
අවසන් පූර්ව වටය | ||
8 | සාන්ත සෙබස්තියන් විද්‍යාලය, මොරටුව. | ද මැසිනොද් විද්‍යාලයට ලකුණු 138ක ජයක්. |
අවසන් මහා තරගය | ||
9 | වේල්ස් කුමාර විද්‍යාලය, මොරටුව. | ද මැසිනොද් විද්‍යාලයට ලකුණු 51ක ජයක්. |
ද මැසිනොද් විද්‍යාලයීය කණ්ඩායම; ජනිත් තරින්ද්‍ර (නායක), මෙවන් නවෝෂ, තිසංග සේමිත්, තරීන් සංකෙත්, දිනෝෂ් ජෙලොන්, කවීන් නෙත්මිණ, ෂෙවන් මෙනූෂ (කඩුලු රකින්නා), සවිනු චන්තුල, රවිඳු රනේෂ, දිනිඳු සස්මිත, නිපුන් තීක්ෂණ, හසරු විමන්ත, ශාලුක රෙෂාන්, රොවින් සිල්වා, ශෙනේෂ් දම්සිත්, ඉසුරු නදීර, අයන් දුශාන්ත් සහ රවින් කිත්නුක.
නිලධාරීන්; ජානක ෆොන්සේකා සහෝදරතුමා (විදුහල්පති) හෙන්රි දිසානායක සහොදරතුමා (නියෝජ්‍ය විදුහල්පති) මලික් කීර්ති (ක්‍රිකට් භාර ආචාර්ය) මිහිරාන් මාධව (පුහුණුකරු) ලක්ෂාන් (සහාය පුහුණුකරු) සත් කුමාර (ක්‍රීඩාංගණ කළමණාකරු) සංජය ජයසිංහ (දත්ත විශ්ලේෂක)
- කොළඹ උතුරෙන් සහ කොළඹ දකුණෙන් තියුණු ජයග්‍රහණ
- 17න් පහළ යොවුන් ක්‍රිකට් ලීගයේ තරග කාලසටහන සහ කණ්ඩායම්
- ඩිල්ශාන්, තිසර සහ ශෙහාන් US Masters හි ජයග්‍රහණ ලබයි
- එංගලන්ත සංචාරයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය
- 2023 LPL තරගාවලියේ කණ්ඩායම
අවසන් මහා තරගය
නාරාහේන්පිට, කිරි මණ්ඩල මාවත ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් වේල්ස් කුමාර නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට ප්‍රතිවාදී ද මැසිනොද් ක්‍රීඩකයන්ට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි ඔවුන් තරගයට කදිම ආරම්භයක් ලබා ගත්ත ද, එය අවසානය දක්වා පවත්වා ගෙන යෑමට සමත් වූයේ නැහැ. ඒ හේතුවෙන් ම ඔවුන්ගේ ඉනිම ලකුණු 124කට සීමා වෙනවා.
ද මැසිනොද් විද්‍යාලයීය පළමු කඩුල්ල සඳහා එක් වූ නායක ජනිත් තරින්ද්‍ර සහ කවීන් නෙත්මිණ ලකුණු 58ක සබඳතාවක් එක් කළ අතර එය ඉනිමේ හොඳම ලකුණු සබඳතාව බවට ද පත්වුනා. එහි දී කවීන් නෙත්මිණ පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 26ක් ලබා ගනිමින් දායකත්වය දක්වමින් පළමු කඩුල්ල ලෙසින් දැවී සබඳතාව නිමා කරමින් දැවී යනවා.
ජනිත් තරින්ද්‍ර ලබා ගත් ලකුණු සංඛ්‍යාව 30ක්. එය ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව වූ අතර ඊට පන්දු 53ක් වැය වෙද්දී හතරේ පහර 3ක් ද ඊට ඇතුළත් වුනා.
අනෙක් පිතිකරුවන් අතරින් ඉලක්කම් දෙකක ඉනිමක් ගොඩ නැගුවේ සවිනු චතුරංග පමණයි. ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 11ක් වූ අතර හයේ පහරක් ද ඇතුළත් වූ එම ඉනිමට පන්දු 29ක් වැය ව තිබුණා.
කඩුලු ලබා ගැනීමේ දී ප්‍රින්ස් ප්‍රනාන්දු සහ සුවස් රණවන කඩුලු 3 බැගින් බෙදා ගනිද්දී, බාසුරු කල්හාර කඩුලු 2ක් ද සහ නවීන් ප්‍රමේෂ් කඩුල්ලක් ද බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි වේල්ස් කුමරුවන්ට සිදු වූයේ ද මැසිනොද් ක්‍රීඩකයන්ට සිදු වූ සිදුවීමටත් අන්ත සිදුවීමකට මුහුණ දීමටයි. ඔවුන්ගේ ඉනිම පන්දු 119කට සීමා කිරීමට ද මැසිනොද් ක්‍රීඩකයෝ සමත් වුනා. සියලුම දෙනා දැවී ඔවුන් රැස් කර ගත්තේ ලකුණු 73ක් පමණයි.
එම ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු වාර්තා කළ පිතිකරු වූයේ ඔෂාන් මනීෂ. ඔහු පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 24ක් ලබා ගත්තා. ඊට අමතර ව පසන් කුරේ පන්දු 15ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 13ක් ලබා ගත් අතර අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවක් කරා පැමිණීමට ද මැසිනොද් පන්දු යවන්නෝ ඉඩ දුන්නේ නැහැ.
කඩුලු දවා ගැනීමේ දී සවිනු චන්තුල කඩුලු 3ක් දවා ගත් අතර දිනෝෂ් ජෙලොන්, දිනුඳු සස්මිත සහ කවීන් නෙත්මිණ කඩුලු 2 බැගින් බෙදා ගත්තා.
අවසන් තරගයේ කෙටි ලකුණු පුවරුව
- ද මැසිනොද් විද්‍යාලය ; සියලුම දෙනා දැවී 124 (37.1) ජනිත් තරින්ද්‍ර 30, කවීන් නෙත්මිණ 26, ප්‍රින්ස් ප්‍රනාන්දු 3/24, සුවස් රණවන 3/17, බාසුරු කල්හාර 2/06
- වේල්ස් කුමාර විද්‍යාලය : සියලුම දෙනා දැවී 73 (19.5) ඔෂාන් මනීෂ 24, සවිනු චන්තුල 3/33, දිනෝෂ් ජෙලොන් 2/23, දිනුඳු සස්මිත 2/07, කවීන් නෙත්මිණ 2/10
ද මැසිනොද් විද්‍යාලයට ලකුණු 51ක ජයග්‍රහණයක්
දක්ෂතා දැක්වූ ද මැසිනොද් ක්‍රීඩකයෝ
කණ්ඩායම වෙනුවෙන් වඩාත් දක්ෂතා දැක්වූ පිතිකරු වූයේ නායක ජනිත් තරින්ද්‍ර. ඔහු තරග 9ක ඉනිම් 9ක දී ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 343ක්. ඊට නොදැවුණ ඉනිමක් ද ඇතුළත් අතර තරගයක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 42.88ක් ලෙස තබා ගැනීමට ඔහු සමත් වුනා.
ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට (55), ගම්පහ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයට (90), සහ මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයට (53) එරෙහිව අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වෙන ඔහු මැසිනොද් විද්‍යාලය වෙනුවෙන් ඉනිමක දී ලබා ගන්නා ලද වැඩිම ලකුණු ප්‍රමාණයේ හිමිකරු ද වුනා.
ඉන් අනතුරුව එම ලැයිස්තුවේ දෙවැනි අසුන වෙන් කර ගැනීමට සමත් වෙන්නේ ශෙවාන් මෙනූෂ. ඔහු තරග 9ක ඉනිම් 7ක දී ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 246ක්. ඊට සාන්ත සෙබස්තියන් විද්‍යාලයට එරෙහිව පැවති අවසන් පූර්ව තරගයේ දී වාර්තා කරන ලද ලකුණු 65ක් ද සහ ධර්මාලෝක විද්‍යාලයට එරෙහිව වාර්තා කරන ලද ලකුණු 77ක් ද ඇතුළත්.
පිතිකරුවන් අතර තෙවැනි ස්ථානය තරග 9ක ඉනිම් 8ක දී ලකුණු 218ක් ලබා ගන්නා ලද දිනෝෂ් ජෙලොන් සතු වුනා. ඔහුගේ ඉනිම් අතරට සාන්ත සෙබස්තියන් විද්‍යාලයට (51) සහ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට (87) එරෙහිව ලබා ගන්නා ලද අර්ධ ශතක 2ක් ද ඇතුළත් වුනා.
පන්දු යවන්නෙක් ලෙසින් ද දක්ෂතා දැක්වූ ඔහු කඩුලු 11ක් ද දවා ගනිමින් කණ්ඩායමේ ජයග්‍රහණයට දායක වුනා.
මේ අතර පන්දු යවන්නන් අතරින් වඩාත් කැපී පෙණෙන දක්ෂතා දැක්වූ ද මැසිනොද් ක්‍රීඩකයා වූයේ දිනිඳු සශ්මිත. ඔහු තරගාවලියේ පන්දුවාර 60ක් යවමින් කඩුලු 17ක් දවා ගැනීමට සමත් වෙනවා. ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වූයේ සාන්ත සෙබස්තියන් විද්‍යාලයට එරෙහිව ලකුණු 25කට දවා ගන්නා ලද කඩුලු 5යි.
ඊට අමතර ව එහි දෙවැනි ස්ථානය කවීන් නෙත්මිණ සතු වුනා. ඔහු තරගාවලිය නිමා කරන්නේ පන්දුවාර 52ක් යවමින් කඩුලු 13ක් දවා ගනිමින්. ද මැසිනොද් විද්‍යාලයට වෙනුවෙන් ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ ද නෙත්මිණයි. ඒ කොළඹ රාජකීය විද්‍යාලයට එරෙහිව ලකුණු 12කට කඩුලු 6ක් දවා ගනිමින් පෑ දක්ෂතාවයි.
දක්ෂතා දැක්වූ පිතිකරුවන් අතරට තරීන් සංකෙත් අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 195ක් ද, තිසංග සේමිත් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 140ක් ද සහ රවිදු රනේෂ් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 110ක් ද ලබා ගනිමින් ලැබූ ජයග්‍රහණයට දායකත්වය දැක්වූවා.
තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් අතරට මෙවන් නවෝෂ ද එක් වුනා. ඔහු පිතිකරුවෙක් ලෙසින් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 102ක් ලබා ගනිමින් දක්ෂතා දැක්වූ අතර පන්දු යවන්නෙක් ලෙසින් කඩුලු 12ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා.
ඊට අමතර ව පන්දු යවන්නන් අතරින් සවිනු චන්දුල සහ තරීන් සංකෙත් ද කඩුලු 9ක් බැගින් දවා ගනිමින් ද මැසිනෝද් ජයග්‍රහණයට දායකත්වය දැක්වූවා.
වයස අවුරුදු 17න් පහළ අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් ශූරතාව දිනා ගත් කඳාන ද මැසිනොද් විද්‍යාලයට ThePapare.com වෙතින් සුබ පැතුම්!
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<