Jaffna Stallions කණ්ඩායමට තවත් විදෙස් ක්‍රීඩකයින් හතරක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2020

983

මෙම මස 26 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් සකස් කර තිබෙන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියෙහි තරග වදිනු ලබන Jaffna Stallions කණ්ඩායම නියෝජනය කිරීම වෙනුවෙන් තවත් විදෙස් ක්‍රීඩකයින් සිව්දෙනෙකු සිය කැමැත්ත පළකර ඇත.

ඒ අනුව දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් දෙපළක් වන Kyle Abbott, Duanne Olivier සහ එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන් වන Ravi Bopara, Tom Moores යන ක්‍රීඩකයින් සිය එකඟතාවය පළකර තිබෙන විදෙස් ක්‍රීඩකයින් වේ.

පසුගිය 19 වැනිදා පැවති ක්‍රීඩකයින් කණ්ඩායම් ගත කිරීමේ දී (player draft) Jaffna Stallions ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන තිලින කණ්ඩම්බි මහතා ඒ අවස්ථාවේ දී විදෙස් ක්‍රීඩකයින් සිව්දෙනෙකු තෝරාගත්තේ, ඉදිරියේ දී තවත් විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු තෝරා ගැනීමේ බලාපොරොත්තු ඇතිවයි.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

දක්ෂ විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන එංගලන්ත ජාතික Dawid Malan සහ පාකිස්තානු ජාතික Asif Ali යන ක්‍රීඩකයින් දෙදෙනා මෙවර LPL තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් Jaffna Stallions කණ්ඩායම තෝරා ගත් නමුත්, එංගලන්ත – දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගාවලියේ දී Malan සිය රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම නිසාවෙන් ද Ali පුද්ගලික හේතුවක් නිසා ද මෙවර LPL තරගාවලියට සහභාගී වන්නේ නැත.

ඒ අනුව එම සංචිතය තුළ ඉතිරිව සිටි විදෙස් ක්‍රීඩකයින් දෙදෙනා වූයේ පාකිස්තානු ක්‍රීඩකයින් දෙපළක් වන Shoaib Malik සහ Usman Shinwari පමණි. ඒ අනුව ඔවුන්ට තවත් විදෙස් ක්‍රීඩකයින් සිව්දෙනෙකු තෝරා ගැනීමට ඉඩකඩ විවර වූ අතර, ඒ අනුව Kyle Abbott, Duanne Olivier, Ravi Bopara, Tom Moores යන ක්‍රීඩකයින් තෝරාගෙන එම සංචිතය සම්පූර්ණ කරගෙන තිබේ.

දක්ෂ දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩකයින් දෙපළක් වන Abbott සහ Olivier ජාතික කණ්ඩායමෙන් ඉවතට ගිය පසුව එංගලන්ත කවුන්ටි ක්‍රිකට් තරගාවලියේ පිළිවෙළින් Hampshire සහ Yorkshire යන කණ්ඩායම් නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙමින් සිටියි. ඊට අමතරව එම සංචිතය තුළ ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් තිබෙන වේගපන්දු යවන ක්‍රීඩකයින් වන සුරංග සුරංග ලක්මාල්, බිනුර ප්‍රනාන්දු සහ Usman Shinwari යන ක්‍රීඩකයින් ද ඇතුළත්ව සිටියි.

හිටපු එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක Ravi Bopara සහ යොවුන් කඩුලු රකින පිතිකරුවෙකු වන Tom Moores ද තිසර පෙරේරාගේ මූලිකත්වයෙන් යුත් මෙම Jaffna Stallions සංචිතය සඳහා ඇතුළත්ය.

Jaffna Stallions සංචිතය: 

දේශීය ක්‍රීඩකයින් – Thisara Perera, Wanindu Hasaranga, Avishka Fernando, Dhananjaya de Silva, Suranga Lakmal, Binura Fernando, Minod Bhanuka, Chaturanga de Silva, Mahesh Theekshana, Charith Asalanka. 

විදෙස් ක්‍රීඩකයින් – Shoaib Malik, Usman Shinwari, Kyle Abbott, Duanne Olivier, Tom Moores, Ravi Bopara.  

අතිරේක ක්‍රීඩකයින් – Nuwanindu Fernando, Kanagaratnam Kapilaraj, Thevendiram Dinooshan, Vijayakanth Viyaskanth.  

නොවැම්බර් මස 26 වැනිදා සිට දෙසැම්බර් මස 16 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය මූලික කරගනිමින් පැවැත්වෙන මෙම තරගාවලියට තරග 23ක් ඇතුළත් වන අතර ඒ සඳහා මූලික වටයේ තරග 20ක්, අවසන් පූර්ව වටයේ තරග 2ක් සහ අවසන් මහා තරගය ඇතුළත්ව ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<