ප්‍රංශයේ Lievin හීදී පැවති World Indoor Tour මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර් 1500 ඉසව්ව නියෝජනය කරමින් එම ඉසව්වේ ගෘහස්ථ ලෝක වාර්තාව බිඳ හෙළීමට ඉතියෝපියානු ක්‍රීඩිකා Gudaf Tsegay සමත් විය.
තරගාවලියේ කාන්තා මීටර් 1500 ඉසව්ව මිනිත්තු 3:53.09ක කාලයකින් අවසන් කිරීමට Gudaf Tsegay සමත් වූ අතර එම කාලය 2014 වසරේ එම ඉසව්වේ ගෘහස්ථ ලෝක වාර්තාව පිහිටවූ Genzebe Dibaba වාර්තා කළ කාලයට (මිනිත්තු 3:55.17) වඩා වේගවත් කාලයක් ලෙස සටහන් විය.
එම තරගයේ දෙවන ස්ථානය මිනිත්තු 3:59.58ක කාලයකින් තරගය අවසන් කළ Laura Muir හට හිමි වූ අතර ඇය එම තරගයේ දී එම ඉසව්ව සඳහා පිහිටුවා තිබූ බ්‍රිතාන්‍ය ගෘහස්ථ වාර්තාව ද බිඳ හෙළීමට සමත් විය.
මීටර් 1500 ඉසව්ව නියෝජනය කරමින් 2019 වසරේ පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ දී ලෝකඩ පදක්කම දිනා ගැනීමට ද Gudaf Tsegay සමත් ව තිබූ අතර 2016 වසරේ පැවති ගෘහස්ථ ශූරතාවයේ දී ද ඇය විසින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.
තවත් මලල ක්‍රීඩා පුවත්:
- කෙන්යානු ශූරයාට වසර 4ක තහනමක්
- ශ්‍රී ලාංකිය සම්භවයක් ඇති ග්‍රීක ශූරියගෙන් සුපිරි දස්කම්
- විනුර ශ්‍රී ලංකා වාර්තාවක් අලුත් කරයි
- Fazza Grand Prix තරගාවලියට මෙරටින් 6ක්
සිය ජයග්රහණයෙන් පසුව අදහස් දක්වමින් Gudaf Tsegay ප්‍රකාශ කර සිටියේ,
“මගේ පුහුණුවයි එය සිදු කළේ, වේගය මගේ මිතුරායි. මම ඉතාමත් වෙහෙස වී පුහුණුවීම් කටයුතු සිදු කළා, ඉතින් මම ගොඩක් සතුටට පත්වෙනවා මේ ජයග්‍රහණය ගැන.”
එමෙන්ම මෙම තරගාවලියේ පිරිමි මීටර් 1500 තරගය මිනිත්තු 3:31.80ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්ව සඳහා වාර්තා වූ පස්වැනි හොඳම කාලය වාර්තා කිරීමට 20 හැවිරිදි නොර්වේ ක්‍රීඩක Jakob Ingebrigtsen සමත් වූ අතර එම කාලය යුරෝපා වාර්තාවක් ලෙස ද සටහන් විය.
මෙම තරගාවලියේ මීටර් 60 ඉසව්ව සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩක යුපුන් අබේකෝන් සහභාගි වීම කැපී පෙනුණ අතර මූලික වටයේ තරගය තත්පර 6.74ක කාලයකින් අවසන් කළ ඔහු හට හයවැන්නා ලෙස තරගය නිමා කිරීමට සිදු විය.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<