ත්‍රිත්ව විද්‍යාලය ‍රාජකීයයන්ට තියුණු පරාජයක් හිමි කර දෙයි!

78th Bradby Shield 2024

2
78th Bradby Shield 2024

78 වැනි Bradby පලිහ ශූරතාවයේ පළමු අදියර වෙනුවෙන් කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අද (24) තරග වැදුණා.

මේ දක්වා පැවැත්වුණු ශූරතා 78න්, 39ක් ජයග්‍රහණය කිරීමට සමත් වී සිටින ත්‍රිත්ව විද්‍යාලයට එරෙහිව, 2017 වසරේ සිට අඛණ්ඩව ශූරතාව පස් වරක් ජයග්‍රහණය කළ රාජකීයයන් අද තරග බිමට පිවිසුණා.

එහි දී දෙපිළෙන් ම කරට කර සටනක් නිර්මාණය වන බව තරගයේ පළමු අර්ධයේ පටන් ම පෙනෙන්නට තිබූ අතර, තරගයේ පළමුව ලකුණු රැස් කිරීමේ ගෞරවය රාජකීය විද්‍යාලයේ ඉඩ්‍රිස් ෆාරුක් හට හිමි වුනා.

ඔහු දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ලකුණු ලබා ගැනීමෙන් මොහොතකට පසුව ත්‍රිත්ව ක්‍රීඩක ශාන් අල්තාෆ් ද දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් තම විද්‍යාලය වෙනුවෙන් ලකුණු ලබා ගැනීම ආරම්භ කළා.

කෙසේ වෙතත් තරගයේ පළමු අර්ධය නිමා වන විට රාජකීයයන් විසින් සිය සත්කාරකත්වයේ වාසිය ද සමඟින් ලකුණු 13ක් ලබා ගැනීමට සමත් වුනේ එක් උත්සාහක දිනුමක්, එක් ප්‍රවර්තනයක් මෙන්ම දඬුවම් පහර දෙකක් ද සාර්ථක කර ගනිමිනුයි.

මේ අතරවාරයේ ත්‍රිත්ව ක්‍රීඩකයින් එක් උත්සාහක දිනුමක් සමඟ ලකුණු 08ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ ත්‍රිත්ව විද්‍යාලය රාජකීයයින් අබිබවා නැගී සිටීමට සමත් වූ අතර, එහි පෙරගමන්කරු වීමට ශාන් අල්තාෆ්ට හැකියාව ලැබුණා.

ඔහු විසින් දෙවැනි අර්ධය තුළ තවත් දඬුවම් පහර ද්විත්වයක් සාර්ථක කර ගනිමින් තරගයේ ලකුණු තත්වය 14-13ක් ලෙස වෙනස් කිරීමට පළමුව සමත් වුනා.

ඉන් පසුව ඔහු විසින් මීටර් 38ක දුරක හිඳිමින් විශිෂ්ට Drop ගෝලයක් වාර්තා කිරීමට සමත් වුනේ ත්‍රිත්ව ලකුණු සංඛ්‍යාව 17ක් දක්වා රැගෙන යමිනුයි.

මින් පසුව රාජකීයයන් ද තවත් දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට සමත් වූ නමුත්, එය ඔවුන්ට ජයග්‍රහණයක් කරා යාමට තරම් ප්‍රමාණවත් වුනේ නැහැ.

  • ත්‍රිත්ව විද්‍යාලය 17(1T, 3P, 1DG) – රාජකීය විද්‍යාලය 16 (1T, 1C, 3P)

තරගයේ වීරයා ශාන් අල්තාෆ් (ත්‍රිත්ව විද්‍යාලය)

මෙම තරගයේ වීරයා වූ ශාන් විසින් තම විද්‍යාලය වෙනුවෙන් ලකුණු 12ක් වාර්තා කිරීමට සමත් වීම විශේෂත්වයක්.

දේශීය පාසල් රග්බි පිටියේ උණුසුම නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<