ත්‍රිත්ව – අන්තෝනි තරගය ලබන සඳුදා

1134

මහනුවර ප්‍රදේශයේ ඇතිවූ සිදුවීම් මාලාව හේතුකොට ගෙන පාසල් රග්බි තරග දින නියමයකින් තොරව කල් දැමූ අතර, අද වන විට තත්වය යහපත් අතට හැරීම හේතුවෙන් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය අතර පැවැත්වීමට නියමිතව තිබූ රග්බි තරගය මාර්තු 12 වන සඳුදා පැවැත්වීමට තීරණය කර තිබේ.

මහනුවර පාසල් රග්බි තරග නවතී

සිංගර් කුසලාන පාසල් රග්බි තරගාවලියේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය අතර

2018 සිංගර් ලීග් රග්බි තරගාවලියේ කණ්ඩායම් දෙකම සහභාගී වන පළමු තරගය වන මෙය මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට පාසල් දෙකෙහිම බලධාරීන් සිය කැමැත්ත පල කොට තිබේ.

තරගය මාර්තු 11 වැනිදා පැවත්වීමට නියමිතව තිබූ අතර මහනුවර දිගන හා තෙල්දෙණියේ ඇතිවූ සිදුවීම් මාලාව හේතුවෙන් පොලිස් ඇඳිරි නීතිය හා රජය විසින් හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම නිසා තරගය දින නියමයකින් තොරව කල් දැමීමට පාසල් දෙකේ බලධාරීන් තීරණය කළහ.

පැවති කලබලකාරී තත්වය සාමාන්‍ය අතට හැරීමෙන් අනතුරුව,12 වැනිදා නිත්තවෙල පැවැත්වෙන තරගයට සාන්ත අන්තෝනි විදුහල සත්කාරකත්වය දරනු ඇත. ක්‍රීඩකයින්ගේ හා ප්‍රේක්ෂකයින්ගේ ආරක්ෂාව තකා තරගය පස්වරු 3ට ඇරඹීමට පාසල් දෙකේම බලධාරීන් ක්‍රියාකර තිබේ.

අද (10දා) පැවැත්වීමට නියමිතව තිබූ කොළඹ වෙස්ලි විදුහල හා මහනුවර ධර්මරාජ විදුහල අතර තරගය අද නොපැවැත්වෙන අතර එම තරගය තරගාවලියේ පළමු වටයේ තරග අවසානයේ පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට