නැගී එන ක්‍රිකට් කණ්ඩායම් අතර දකුණු අප්‍රිකාවේ දි පැවැත්වෙන, තුන් කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වන පරාජයත් භුක්ති විඳින්නට ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමට සිදු විය. ඒ දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රීඩකයන් සමග ඊයේ (04) පැවති තරගය කඩුලු 3කින් පරාජය වීමත් සමගිනි.
පසුගිය ලිපි: අවසන් පන්දුවෙන් ශ්‍රී ලංකා සංවර්ධන පිලට ජය
ප්‍රිටෝරියා හී පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම, නියමිත පන්දු වාර 50 තුල කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 240කි.
ආරම්භක පිතිකරු හෂාන් දුමිඳු අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 104ක් රැස් කිරීමට සමත් විය. ඔහු පන්දු 135ක් තුල ඉතාමත් ඉවසිලිවන්තව ගොඩනැගු මේ ඉනිමට හතරේ පහර 7ක් ඇතුලත් විය.
කෙසේ වෙතත් හෂාන් තම කඩුල්ල ආරක්ෂා කර ගනිද්දී අනෙක් අන්තයෙන් වේගවත් ප්‍රහාරයක් දියත් කරන්නට කිසිදු පිතිකරුවෙකු සමත් වූයේ නැත.
නායක රුමේෂ් බුද්ධික ලකුණු 43ක් ලබා ගත්තේ පන්දු 59ක් වැය කරමිනි. ජෝන් ෆොර්ටැන් ලකුණු 34කට කඩුලු 3ක් බිඳ හෙලන්නට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 3ක් තුල, කඩුලු 7ක් දැවී ලකුණු 244ක් ලබා ගෙන තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.
මාකේස් ඇකමන් දකුණු අප්‍රිකානු ජයග්‍රහණයේ නියමුවා බවට පත්වූයේ පන්දු 79කින් නොදැවී ලකුණු 83ක් රැස් කරමිනි. ඇකමන්ගේ ඉනිමට හතරේ පහර 10ක් ඇතුලත් විය.
සංජය චතුරංග විසින් කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් වුවත් අමිල අපෝන්සු සහ ප්‍රියමාල් පෙරේරා හැරුණුවිට අනෙක් පන්දු යවන්නන් කිසිවෙකුටත් දකුණු අප්‍රිකා කණ්ඩායමේ ලකුණු වේගය පාලනය කරගත නොහැකි වීම පරාජයට ප්‍රධාන හේතුවක් විය.
ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම මේ වනවිට මෙම තරගාවලියේ සහභාගී වූ තරග 4න් 3ක් පරාජය වී ඇති අතර ජයගෙන ඇත්තේ 1 තරගයක් පමණි.
ලකුණු පුවරුව –
ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම – 240/7 (50) – හෂාන් දුමිඳු – 104, රුමේෂ් බුද්ධික – 43, සධීර සමරවික්‍රම – 27, ජෝන් ෆොර්ටැන් – 3/34, වින්සන්ට් මුවර් – 2/39
දකුණු අප්‍රිකා නැගී එන කණ්ඩායම – 244/7 (47.3) – මාකේස් ඇකමන් – 83*, ලියස් ඩු ප්ලුයි – 49, සිබෝනිලෝ මකන්යා – 37, පැට්‍රික් කෘගර් – 31, සංජය චතුරංග – 2/57, කේෂාන් විජේරත්න 2/51
දකුණු අප්‍රිකා නැගී එන කණ්ඩායමට කඩුලු 3ක ජයක්.
තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට