ශෙනුක් සහ රෂ්මි නැඟෙනහිර පළාත් බැඩ්මින්ටන් ශූරතා දිනති

EPBA All-Island Open Badminton Championship

82

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුමැතිය යටතේ නැඟෙනහිර පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් මෙහෙයවනු ලැබූ සමස්ත ලංකා නැඟෙනහිර පළාත් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ පිරිමි ඒකල ශූරතාව දිනා ගැනීමට ශෙනුක් සමරරත්න සමත් වූ අතර, කාන්තා ශූරතාව රෂ්මි මුදලිගේ දිනා ගත්තා.

පසුගිය දා උතුරු පළාත් බැඩ්මින්ටන් ශූරතාවලියේ ද පිරිමි ඒකල ශුරතාව දිනූ ශෙනුක් සමරරත්න නැඟෙනහිර පළාත් තරගාවලියේ විවෘත පිරිමි ඒකල අවසන් මහා තරගයේදී ලකුණු 21-12ක් සහ 21-18ක් ලෙස තිළිණ රාජකරුණා අඛණ්ඩව දෙවැනි වරටත් පරාජය කිරීමට සමත්වීම කැපී පෙනුණා.

රෂ්මි මුදලිගේ විවෘත කාන්තා ඒකල අවසන් මහා තරගයේ දී පංචාලි අධිකාරී ලකුණු 21-14ක්, 18-21ක් සහ 21-18ක් ලෙස පරාජය කරමින් තරගාවලියේ කාන්තා ශූරතාවය දිනා ගැනීමට සමත් වුණා.

මඩකලපුව ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේ පැවැති මෙම තරගාවලියේ විවෘත පිරිමි යුගල ශූරතාව දිනා ගනු ලැබුවේ ලකුණු 21-16ක් සහ 21-19ක් ලෙස සනුද ආරියසිංහ සහ තිසත් රූපතුංග පරාජයට පත් කළ ඔෂාමික කරුණාරත්න සහ තුලිත් පල්ලියගුරු විසිනුයි.

එම තරග අංශයේ කාන්තා ශුරතාව දිනා ගැනීමට රෂ්මි මුදලිගේ සහ වරංගනා ජයවර්ධන සමත් වූයේ ජාත්‍යන්තර පදක්කම් දිනූ බැඩ්මින්ටන් යුගලය වන ඉසුරි අත්තනායක සහ සිතුමි ද සිල්වා ලකුණු 21-13ක් සහ 21-16ක් ලෙස පරාජයට පත් කරමින් වීම විශේෂත්වය

ලකුණු 21-17ක්, 20-22ක් සහ 21-17ක් ලෙස තිළිණ රාජකරුණා සහ නෙත්මි රත්නායක පරාජයට පත් කළ තුලිත් පල්ලියගුරු සහ පංචාලි අධිකාරි විවෘත මිශ්‍ර යුගල ශුරතාව දිනා ගැනීමට සමත් වුණා.

රෙෂාන් දිඹුක්කුවලගේ ලකුණු 21-18ක්, 16-21ක් සහ 21-19කින් පරාජයට පත් කළ තිඩස ඉරූෂික කනිෂ්ඨ තරග අංශයේ අවුරුදු 19න් පහළ ඒකල බාලක ශූරතාව අත්කර ගත් අතර එම තරග අංශයේ බාලිකා ඒකල ශුරතාව දිනා ගනු ලැබුවේ ලකුණු 21-13ක් සහ 21-15ක් ලෙස තිසේජා දම්නදී හේරත් පරාජයට පත් කළ රනුමි මානගේ විසිනුයි.

හනිෂ කුලතුංග සහ ධනුෂ්ක සඳරුවන් ලකුණු 21-16ක් සහ 21-13ක් වශයෙන් පරාජයට පත් කරමින් අවුරුදු 19න් පහළ බාලක යුගල ශුරතාවට හිමිකම් කීමට සනුද ආරියසිංහ සහ තිසත් රූපතුංග සමත් වුණා.

ලකුණු 21-19ක් සහ 21-19ක් ලෙස මෙතුලි නවරත්න සහ මිනූෂා බණ්ඩාර පරාජය කළ දිල්නි අම්බලන්ගොඩගේ සහ රනුමි මානගේ එම තරග අංශයේ බාලිකා යුගල ශුරතාව දිනා ගත්තා.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ පළමු මට්ටමේ ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් ලෙස පැවැති සමස්ත ලංකා නැඟෙනහිර පළාත් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 480කට අධික සංඛ්‍යාවක් තරග වැදුණු අතර ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට රුපියල් 7,50,000ක මුදල් ත්‍යාග පිරිනැමීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා තිබුණා.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<