ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සමාගම්වල අනුග්‍රහයෙන් ´සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල´ අද (11) කොළඹ – 7 ක්‍රීඩා අමාත්‍යංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්වුණු අතර එහි දී වසරේ ක්‍රීඩා සාහිත්‍ය නව මාධ්‍යය ලෙස ThePapare.com සම්මානයෙන් ඇගයීමට පාත්‍ර විය.
ඊට අමතරව, වසරේ ක්‍රීඩා සාහිත්‍යවේදියා ලෙස අශෝක ගුණතිලක මහතාත්, වසරේ ක්‍රීඩා සාහිත්‍ය ශාස්ත්‍රීය කෘතිය වෙනුවෙන් ආචාර්ය සමන්තා නානායක්කාර මහත්මියත් සහ වසරේ ක්‍රීඩා සාහිත්‍ය විවිධ විෂයික කෘතිය සඳහා භාතිය අර්ථනායක මහතාත් සම්මානයෙන් පිදුම් ලැබූහ.
මෙවන් ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙලක් මෙරට පැවැත්වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර 2019 වසරට අදාළව සබුද්ධි සාහිත්‍ය කවය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලේ දී ජීවිතයට එක් වරක් පමණක් පිරිනැමෙන “සබුද්ධි රන් සම්මානය” ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදීන් දෙදෙනෙකු වන පාලිත පෙරේරා සහ ප්‍රේමසර ඈපාසිංහ යන මහත්වරුන් වෙත පිරිනැමීම ද විශේෂත්වයක් විය.
සිංහල ක්‍රිකට් විස්තර විචාරකයින් ලෙස කටයුතු කරමින් ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා මෙන්ම මෙරට ක්‍රීඩා සාහිත්‍ය වෙනුවෙන් දශක 5කට අධික කාලයක් කරන ලද මහඟු සේවය ඇගයීමක් ලෙස මොවුන් දෙදෙනාට මෙම රන් සම්මාන පිරිනමනු ලැබීය.
ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා සහභාගී වූ මෙම සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකාවෙන් බිහි වූ ශ්‍රේෂ්ඨ මලල ක්‍රීඩිකාවක් වන සුසන්තිකා ජයසිංහ ද රන් සම්මානයෙන් පිදුම් ලැබූ අතර 2000 වසරේ පැවති සිඩ්නි ඔලිම්පික් උළෙලේ මීටර් 200 ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීම වෙනුවෙන් ඇයට මෙම සම්මානය පිරිනැමීය. තවද සුසන්තිකාගේ එම ඔලිම්පික් ජයග්‍රහණයට 20 වසරක් සමරමින් මෙම සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල පැවැත්වීම ද විශේෂත්වයකි.
මෙරට ක්‍රීඩා සාහිත්‍ය ක්ෂේත්රයේ විවිධ අංශ යටතේ සම්මාන සහ කුසලතා සහතික පත්‍ර පිරිනැමූ මෙම සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙලේ දී 2019 වසරට අදාළව වසරේ දිනපතා සහ සතිපතා පුවත්පත් යන අංශ සම්මානයට පාත්‍ර විය. එසේම වසරේ ගුවන් විදුලිය, රූපවාහිනිය සහ නව මාධ්‍ය (වෙබ්අඩවි) යන අංශ මෙන්ම වසරේ ක්‍රීඩා සඟරාව සඳහා ද සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන පිරිනැමීය.
- වසරේ ක්‍රීඩා සාහිත්‍ය නව මාධ්‍යය – ThePapare.com
කුසලතා සහතික – batsman.com, ceylonathletics.com
- වසරේ ක්‍රීඩා සාහිත්‍ය රූපවාහිනී මාධ්‍යය – සිරස News 1st
කුසලතා සහතික – ජාතික රූපවාහිනිය, හිරු
- වසරේ ක්‍රීඩා සාහිත්‍ය ගුවන්විදුලිය – ලක්හඬ
කුසලතා සහතික – වෙළඳ සේවය, නෙත්
- වසරේ ක්‍රීඩා සාහිත්‍ය දිනපතා පුවත්පත – අරුණ
කුසලතා සහතික – අද, මව්බිම
- වසරේ ක්‍රීඩා සාහිත්‍ය සතිඅන්ත පුවත්පත – රාවය
කුසලතා සහතික – දිවයින, ලංකාදීප
- වසරේ විවිධ විෂයික ක්‍රීඩා කෘතිය – The Minds – භාතිය අර්ථනායක
කුසලතා සහතිකය – අට්ටාලය – මංජුල ලන්දේකුඹුර
- වසරේ ශාස්ත්‍රීය ක්‍රීඩා කෘතිය – ආචාර්ය සමන්තා නානායක්කාරගේ ව්‍යවහාරික ක්‍රීඩා මනෝවිද්‍යාව
- වසරේ ක්‍රීඩා සාහිත්‍යවේදියා – අසෝක ගුණතිලක
සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා සභාව අමතමින් පවසා සිටියේ,
ගමේ පිට්ටනිවල ක්‍රීඩා කරන ක්‍රීඩකයාගේ ඉඳන් ජාත්‍යන්තර තලය දක්වා යන ක්‍රීඩකයින් දක්වා අපි සැලැස්මක් හදලා තියෙනවා. හැබැයි ඒ සැලැස්ම හදන කොට පහුගිය ඉතිහාසයේ අපට අමතක වෙච්ච තැනක් තියෙනවා, ඒ තමයි ක්‍රීඩා සාහිත්‍ය. අපිට තිබුණ අඩුව තමයි අපේ රටේ ක්‍රීඩාව ගැන, ක්‍රීඩකයා ගැන තිබෙන පොත්පත් ප්‍රමාණය ගැන තිබෙන හිඟය. බොහෝ අංශවල දී මේ සාහිත්‍යමය හිඟය තිබෙනවා. කුඩා කාලයේ දී ආඩම්බරයෙන් සාහිත්‍ය ගැන ඉගෙන ගත්තත් නූතනත්වයට එන කොට සාහිත්‍ය අමතක කරලා මේ වන විට විශාල අභියෝගයන්ට අප මුහුණ දීලා තිබෙනවා. අපි විශ්වාස කරන දෙයක් තමයි ක්‍රීඩකයා සහ ක්‍රීඩාව ගැන තව තවත් ලියැවෙන්න ඕන. ක්‍රීඩකයෝ ගැන ලියැවෙනවා නම්, ඔවුන්ගේ ජයග්‍රහණයේ තිබෙන රහස මොකද්ද කියලා ලියැවෙනවා නම් ඒ දේවල් අනාගත පරපුර වෙනුවෙන් අපට ලබා දෙන්න පුළුවන්.
ක්‍රීඩා සංස්කෘතියේ ක්‍රීඩාව ගැන ලියැවෙන දේවල් කියවන පිරිසට තිබෙන දේවල් අපේ රටේ ඉතාමත් සීමිතයි. ඒ තැන තිබෙන අඩුව සහ හිස්තැන නිවැරදි කරන කොට ඒ සඳහා සාහිත්‍ය පැත්තෙන් බලන ඔබේ දායකත්වය සහ ඔබ ඇගයීම ඉතාමත් කාලෝචිතයි සහ විය යුතු කාරණයක් ලෙස අපි දකිනවා. මොකද වර්තමානයේ ක්‍රීඩාවේ සිදුවන දේවල් අනාගතයේ දුවා දරුවන්ට කියවන්නට ඉතිරි කරන්නේ ඔබ සියලු දෙනායි. අවසන් වශයෙන් සම්මාන උළෙලේ ඇගයීමට පත් සියලු දෙනාට මම සුබ පතනවා, ආශීර්වාද කරනවා.
කොරෝනා වසංගතය හමුවේ සෞඛ්‍ය අංශ විසින් පනවා තිබුණු ක්රියාපටිපාටීන්ට අනුව සංවිධානය කර තිබුණු මෙම සම්මාන උළෙල ලබන වසරේ දී එක් සම්මාන උළෙලකට පමණක් සීමා නොවී ක්‍රීඩා සාහිත්‍යවේදීන් වෙනුවෙන් වැඩමුළුවක් සමඟ පවත්වන්නට අපේක්ෂා කරනවා යැයි නාමල් රාජපක්ෂ මහතා සිය කතාව අවසන් කරමින් පවසා සිටියා.
තවත් ක්‍රීඩා පුවත්:
- පාලිතට සහ ප්‍රේමසරට රන් සම්මාන
- ප්‍රථම සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල එළි දැක්වෙයි
- පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනයට වැඩකටයුතු ඇරඹෙයි
- ”ශාරීරික යෝග්‍යතා සමාජ” පිහිටුවීමේ මුල් පියවර තබයි
- මාතලේට ජාත්‍යන්තර හොකී පිටියක්
ශ්‍රී ලංකාවෙන් බිහි වූ ශ්‍රේෂ්ඨ මලල ක්‍රීඩකයකු වන ඩන්කන් වයිට් පිළිරුව අභියස සිට එතුමාගේ නමින් පිහිටි ශ්‍රවණාගාරයක සිට මෙවන් සම්මාන උළෙලක් පැවැත්වීමත්, ශ්‍රී ලංකාව නියෝජනය කළ ජාතික ක්‍රීඩා කණ්ඩායමක නායකයකු මෙරට ක්‍රීඩා අමාත්‍යවරයා බවට පත්වූ පළමු අවස්ථාව සටහන් කරමින් පත්වූ නව ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මාන ප්රදානය පැවැත්වීමට අවස්ථාව ලැබීමත් විශේෂත්වයක් කොට සලකන බව සම්මාන උළෙල අවසන් කරමින් සබුද්ධි සාහිත්‍ය කවයේ විධායක අධ්යක්ෂ සිරිනාම රාජපක්ෂ මහතා පැවසීය.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ සබුද්ධි විධායක අධ්යක්ෂවරයා,
“අපි විශ්වාස කරනා විදියට, ඕනැම තැනක නිසි විනයක් හා ඇගයීමක් නැත්නම් ඒතැන පැවැත්මක් සහ දියුණුවක් දකින්නට බැහැ. ක්‍රීඩාවටත් ඒක අදාළයි. ඒනිසයි අපි ක්‍රීඩාවේ සාහිත්‍ය වෙනුවෙන් මහන්සියෙන් සේවය කරපු මෙවන් පිරිසක් ඇගයීමකට ලක්කළ යුතුයි කියල තීරණය කළේ.
අද ආරාධිත අමුත්තන් ලෙස මෙතැනට පැමිණ සිටින බොහෝ දෙනෙක් එදා ක්‍රීඩාවේ යෙදෙන විට ඔවුන් ගැන ලියපු කතා කරපු පෙන්වපු මාධ්‍යවේදීන් පිරිසක් තමයි අද මේ ඇගයීමට ලක් කළේ. පාසලේ අවුරුදු 11න් පහළ සිටම ක්‍රීඩාවට එන ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව රටට හඳුන්වා දෙමින් ජාත්‍යන්තරය දක්වා ඔසවා තබන්නට මාධ්‍යවේදීන් සිදු කරනා මෙහෙවර තවමත් හරි හැටි ඇගයීමකට ලක්වී නැති බව අපගේ විශ්වාසයයි.
කෙසේ වෙතත් ලැබුණේ සම්මානය ද, සහතිකය ද කියන කරුණට වඩා ඉදිරි වසරේ සම්මානයක් වෙනුවෙන් විශිෂ්ට කෘතියක්, ගුවන් විදුලි රූපවාහිනී වැඩසටහනක්, වෙබ් අඩවියක නිර්මාණයක් කරන්නේ කෙසේ ද යන සිතුවිල්ල සිතේ දරාගෙන අද මෙම ස්ථානයෙන් පිටවනු ඇතැයි මම විශ්වාස කරනවා,” යනුවෙන් පැවසීය.
සම්මාන උළෙල සඳහා ආරාධිත අමුත්තන් ලෙස තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, 96 ලෝක කුසලානය දිනූ ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග මහතා, ඔලිම්පික් පදක්කම් ලාභි සුසන්තිකා ජයසිංහ මහත්මිය, ලෝක කැරම් ශූර නිශාන්ත ප්‍රනාන්දු මහතා, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතා, ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා, ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ලාල් ඒකනායක මහතා, ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සමාගමේ සභාපති රොහාන් ප්‍රනාන්දු, The Chance Sports සමාගමේ කළමනාකරණ අධ්යක්ෂ ලසන්ත අමරසිංහ යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<