පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා

Paris Olympics 2024

1
Paris Olympics 2024

ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීම මේ ලෝකයේ ඉන්න ඕනෑම ක්‍රීඩකයෙකුට තියෙන විශාලතම හීනය. ඒත් ඒ හීනය වෙනුවෙන් ඔවුන්ට මොන තරම් නම් වෙහෙසක් දරන්න සිදු වෙනවා ද?

Equatorial Guinea කියන මධ්‍යම අප්‍රිකානු රාජ්‍යයෙන් බිහි වුන පිහිනුම් ශූරයෙක් වන Eric Moussambani Malongaගේ කතාව නම් අනිත් ඔලිම්පික් සුදුසුකම් ලබා ගනිපු ක්‍රීඩක/ක්‍රීඩිකාවන්ගේ කතාවලට වඩා සෑහෙන්න වෙනස් විදිහේ එකක්.

ඔහු 2000 ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 100 නිදහස් ආර ඉසව්ව වෙනුවෙන් තමන්ගේ රට නියෝජනය කළා. ඒත් මෙතන තියෙනවා කිසිම කෙනෙකුට විශ්වාස කරන්න බැරි විදිහේ කතාවක්. Eric 2000 සිඩ්නි ඔලිම්පික් පිහිනුම් තටාකයට බහින්න මාස 08කට පෙර හරි හැටි පිහිනන්නවත් දැන ගෙන හිටපු කෙනෙක් නෙවෙයි!

අද ThePapare වෙතින් ඔබ වෙත රැගෙන එන්නේ ඔලිම්පික් ඉතිහාසයේ මන්දගාමී ම පිරිමි මීටර් 100 නිදහස් ආර පිහිනුම්කරු Eric Moussambani Malongaගේ අදහා ගත නොහැකි කතාව.

2000 ඔලිම්පික් උළෙලේ දී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ප්‍රධාන කරන Wild Card ක්‍රමය යටතේ අඩු සංවර්ධිත ක්‍රීඩා වැඩසටහන් ඇති රටවල ක්‍රීඩක/ක්‍රීඩිකාවන්ට දක්ෂතා සපුරාලීමකින් තොරව ඔලිම්පික් සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාවක් හිමි වුනා. මේ අනුව තමයි අපේ කතා නායක Eric Moussambaniට Equatorial Guinea දේශය නියෝජනය කරමින් ඔලිම්පික් උළෙලට සහභාගී වෙන්න අවස්ථාවක් හිමි වෙන්නේ.

මේ හේතුවෙන් ඔහු 2000 ඔලිම්පික් උළෙල ආරම්භ වෙන්න මාස 08කට පෙර පිහිනුම් තටාකයකට බහින්නේ පිහිනීම ඉගෙන ගැනීම සඳහා.

මම පාසල හැර ගියා පසුව තමයි පිහිනන්න පටන් ගත්තේ. අපිට පිහිනුම් තටාක තිබුණේ නැහැ. අපිට කිසි දෙයක් තිබුණේ නැහැ. ඒ නිසා මම පෞද්ගලික හෝටලයක පිහිනුම් තටාකයක පුහුණුවෙන්න ගියා. ඒක මීටර් 13ක් පමණක් දිගයි මම හිතන්නේ.

සාමාන්‍ය පිහිනුම් තරගයකට පාවිච්චි වෙන පිහිනුම් තටාකයක දිග මීටර් 50ක් වුනත්, Eric ට පුහුණුවීම් කරන්න ගන්න ලැබෙන්නේ එයින් තුනෙන් එකකටත් වඩා දිගින් අඩු තටාකයක. ඒකත් ඔහුට සතියකට දවස් තුනක් විතරයි ඉඩ ලැබුණේ. එහෙම දවසකත් ඔහුට පිහිණුම් තටාකයේ ගැවසෙන්නේ ලැබුණේ උදේ 5.00 සිට 6.00 දක්වා පමණයි. ඉතින් මේ පුහුණුවීම් ප්‍රමාණවත් නොවුණු බව තේරුණු Eric ඊට පස්සේ යනවා තමන්ගේ රටේ ස්වාභාවික සම්පත්වල ප්‍රයෝජන සොයාගෙන.

එහෙම ගිය Eric ගංගාවල, මුහුදේ පිහිනීම ඉගෙන ගන්නවා. මෙතන දී විශේෂයෙන්ම ඔහු ධීවරයින්ගේ උදව් ද ඇතිව තමන්ගේ පාද හැසිරීම කළ යුතු ආකාරය ඉගෙන ගනිමින් වතුරේ නොගිලී ඉන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න උනන්දු වුනා කියලා පසු කාලීන ව කියනවා.

ඇත්තටම ඔහුට ඔලිම්පික් යද්දී තිබුණේ වෘත්තීය ලෙස පිහිනනවාටත් වඩා වතුරේ නොගිලී සිටීමේ අපේක්ෂාව.

මම කවදාවත් සිඩ්නි ගැනවත් ඕස්ට්‍රේලියාව ගැනවත් අහලා තිබුණේ නැහැ. ඒ තමයි මම රටින් පිට ගිය පළමු අවස්ථාව. ඒ ගමනට දවස් තුනක් ගත වුනා.

තමන්ගේ රටේ ඉඳන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි බලා ඒම ගැන Eric ඒ විදිහට සඳහන් කරනවා.

මේ ගමනේ ගමනාන්තය වුන සිඩ්නි ඔලිම්පික් උළෙලේ පිහිනුම් තටාකය දකින Eric තමන්ගේ ජීවිතයේ පළමු වරට නිල පිහිනුම් තටාකයක ප්‍රමාණය පිළිබඳ තේරුම් ගන්නවා.

මම පිහිනන තටාකය දැක්ක ගමන්  මම බය වුනා.

කොහොමින් කොහොම හරි Ericට තමන්ගේ ජීවිතයේ දැකපු විශාලතම පිහිනුම් තටාකය තුළ පුහුණුවීම් ආරම්භ කරන්න සිදු වුනා. මේ පුහුණුවීම් කාල අතරතුර ඇමරිකානු පිහිනුම් කණ්ඩායමේ පුහුණුවීම් දිහා බලාගෙන ඉන්න තමන්ට අවස්ථාවක් ලැබුණු බවත් ඔහු මතක් කරනවා. විශේෂයෙන්ම ඒ වගේ අවස්ථාවල තමන් පුහුණුවීම් කරනවාටත් වඩා අනෙක් ක්‍රීඩකයින්ගේ තාක්ෂණික උපක්‍රම දෙස බලමින් ඒවා අවබෝධ කරගන්න උත්සාහ කළා කියලයි ඔහු මතක් කරන්නේ.

ඒ වගේම මේ අතරවාරයේ Ericට දකුණු අප්‍රිකානු පිහිනුම් කණ්ඩායමේ පුහුණුකරු මුණ ගැහෙනවා වගේම ඔහු විසින් Ericට පිහිනීම සඳහා අවශ්‍ය ඇඳුම් සහ Goggles පවා ලබා දෙනවා. ඒ වගේම Ericට පිහිනුම් තාක්ෂණය ගැන යම් යම් දේවල් පවා ඔහු කියලා දෙනවා.

මෙන්න මේ විදිහට Eric Moussambani 2000 ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 100 නිදහස් ආර ඉසව්වේ පළමු වටයට තරග වදින්න සූදානම් වෙනවා. තරගය පැවැත්වුණේ 2000 වසරේ සැප්තැම්බර් මස 19 වැනි දා.

ඉසව්වේ පළමු මූලික වටයේ තරගයට Ericට අමතරව නයිජීරියාවේ Karin Bare සහ ටජිකිස්තානයේ Farkhod Oripov කියන දෙන්නත් සහභාගී වෙන්න සූදානම් වෙලා හිටියා. ඒත් තරගයේ දී වැරදි ආරම්භ ලබා ගැනීම නිසා මේ දෙන්නවම තරගයෙන් ඉවත් කරන්න සිදු වෙනවා. මේ හේතුවෙන් Eric ඔලිම්පික් පිහිනුම් තටාකයේ පස් වැනි මංතීරුවේ තනි වෙනවා.

දැන් මේක තනි මනුස්සයෙකුගේ රේස් එකක්!

මම මුල් මීටර් 50 හොඳින් පිහිනුවා. මම මගේ මුලු ශක්තියම තරගය අවසානයක් කරා ගෙනියන්න යෙදෙව්වා. මම දැනන් හිටියා මගේ පවුලේ අය, මගේ රටේ අය, මගේ අම්මා, මගේ සහෝදරිය, මගේ යහළුවෝ ඇතුළු මුළු ලෝකයක් ම මම දිහා බලා ගෙ ඉන්නවා කියලා. ඒ නිසයි මම මටම කියාගත්තේ මම ඉදිරියට යා යුතුයි කියලා. මම තරගය අවසන් කළ යුතුයි කියලා. මම තටාකයේ තනියම හිටියත් මම කාලය ගැන නම් කිසිම වෙලාවක වද වුනේ නැහැ. මට අවශ්‍ය වුනේ තරගය අවසන් කිරීම විතරයි.

Eric තමන්ගේ පිහිනීම සාපේක්ෂව හොඳ මට්ටමකින් ආරම්භ කළත් තරගයේ මීටර් 30-40ත් අතර ප්‍රමාණයක් පිහිනීමෙන් පසුව ඉතාම මන්දගාමී වුනා. එතැනින් පසුව මුළු ප්‍රේක්ෂකාගාරයම බලා ගෙන හිටියේ Eric මෙතනින් එහාට මොනවා කරාවිද කියලයි.

මට ඒ වෙලාවේ ඇහුණා ප්‍රේක්ෂකයින් කෑගහන ආකාරය, “යන්න, යන්න, යන්න”. එය මට තරගය අවසන් කරන්න අවශ්‍ය ශක්තිය ලබා දුන්නා. මම තරගය අවසන් කරමින් බිත්තිය අල්ලපු වෙලාවේ මම මටම කියාගත්තා ඔහ්, මම ඒක කළා” කියලා.

Ericගේ තරග නිමි කාලය ලෙස සටහන් වුනේ මිනිත්තු 1.52.72ක් විදිහට. පිරිමි මීටර් 100 නිදහස් ආර ඉසව්වකට මේ වගේ තරග නිමි කාලයක් කිසිම විදිහකින් ගැළපෙන්නේ නැහැ. සාමාන්‍ය පිහිනුම් දක්ෂතා පිරික්සන වෙබ් අඩවියකින් ඔබට ඒ ගැන තහවුරු කරගන්නත් පුළුවන් අවශ්‍යයි නම්. ඒත් Eric තමන්ගේ තරග නිමි කාලය ගැන දශමයකින් වත් කනගාටු නොවුණු නිසා මේ ලිපිය තුළත් ඒ පිළිබඳ හුවා නොදක්වා ඉන්න තීරණය කළා.

ඔලිම්පික් කියන්නේ තරග කිරීම විතරක්  නෙවෙයි, සහභාගී වීම. මම හිතන්නේ ඒ දේ තමයි මාව ප්‍රසිද්ධ කළේ.

ඇත්තටම ඒ පිහිනීම නිසා Eric ඉතා ඉක්මනින් ක්‍රීඩා ලෝකයේ ජනප්‍රිය වුනා. තරගයෙන් පසුව පැය හතරක පමණක් නින්දකින් පස්සේ ඇහැරෙද්දී Eric ලෝකය පුරා ප්‍රසිද්ධ වෙලා තිබුණා.

මේ ප්‍රසිද්ධියත් සමඟින් ම ඔහුට Eric The Eel නමින් අන්වර්ථ නාමයක් පවා පට බැඳුණා.

ඔහුගේ මේ පිහිනීම ඔලිම්පික් ඉතිහාසයේ මන්දගාමී ම පිහිනීමක් විදිහට වාර්තා අතරටත් එක් වුනා. ඒ මොනවා වුනත් හරි Ericගේ පිහිනුම් ජීවිතය නම් එතනින් නතර වුනේ නැහැ.

මිනිත්තු 1.52.72කින් ඔලිම්පික් මීටර් 100 අවසන් කළ Eric 2004 වසර වෙද්දී මේ ඉසව්වේ තම හොඳම දක්ෂතාව තත්පර 56.9ක් දක්වා අඩු කරන්නත් සමත් වුනා. ඒ විතරක් නෙවෙයි පිරිමි මීටර් 50 ඉසව්වත් තත්පර 27.9කින් නිමා කරන්න ඔහුට හැකි වුනා. මේ තරග නිමි කාල දෙකම ඔහුගේ රටේ තවමත් ජාතික වාර්තා විදිහට සටහන් වෙලා තියෙනවා.

නමුත් අවාසනාවන්ත විදිහට ඔහුට 2004 සහ 2008 ඔලිම්පික් උළෙල ද්විත්වයම අහිමි වුනා.

2000 වසරේ දී වයස අවුරුදු 22ක් වුන මේ තරුණයා එදා සිඩ්නි පිහිනුම් තටාකයට එද්දී බයෙන් ආපු එක කාරණාවක් තිබුණා.

මම බය වුනා මිනිස්සු මට හිනාවෙන විදිහේ දෙයක් කරන්න.

ඔහුට තමන් ගැනම තිබුණු ඒ බය, තමන්ගේ ආත්ම ගෞරවය ගැන තිබුණු හැඟීම නිසා තරගය කොහොම හරි අවසන් කළා. අවසානයේ මේ ගමන නතර වුනේ තමන්ගේ රටේ ජාතික වාර්තා ද්විත්වයක් ඔහුගේ නම ඉදිරියෙන් සටහන් වෙමින් වගේම 2012 වර්ෂයේ දී Equatorial Guinea රාජ්‍යයේ ජාතික පිහිනුම් පුහුණුකරු බවටත් ඔහු පත් වෙමිනුයි.

ඔලිම්පික් කියන්නේ තරග වැදීම සහ ජයග්‍රහණ ලැබීම විතරක් ම නෙවෙයි. වඩාත් වැදගත් වෙන්නේ සහභාගී වීම, ඒ බව Eric මුළු ලෝකයටම ඔප්පු කරලා පෙන්නුවා.

2024 පැරිස් ඔලිම්පික් උළෙලට සමගාමීව ඔලිම්පික් ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් පිළිබඳ තවත් විශේෂ ලිපි ඔබ වෙත රැගෙන ඒමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<