2002 පාපන්දු ලෝක කුසලානයේ දී තුර්කියට එරෙහිව බ්‍රසීලය ක්‍රීඩා කරපු අවසන් පූර්ව වටයේ තරගයට Ronaldo පිවිසෙන්නේ අලුත්ම කොණ්ඩ විලාසිතාවක් එක්ක.
එය තමයි එතෙක් මෙතෙක් පාපන්දු ඉතිහාසයේ දකින්න ලැබුණු අයිකොනික් ම කොණ්ඩ විලාසිතාව. ඒ කතාවේ අයිතිකාරයා වෙන කවුරුවත් නෙවෙයි The Penominan නොහොත් Ronaldo Luís Nazário de Lima.
තමන්ගේ මුළු ඔළුවෙම කොණ්ඩේ බූ ගාලා, හිසේ ඉදිරි පසින් ත්‍රිකෝණාකාර හැඩයට කොණ්ඩය පොඩ්ඩක් ඉතුරු කරලා කපපු මේ කට් එක ලස්සනයි කියලා නං කාටවත් කටක් ඇරලා කියන්න පුළුවන් කමක් තිබුණේ නැහැ.
අඩුම තරමේ ඒකේ අයිතිකාරයා වෙච්ච Ronaldoට වත් ඒකේ ලස්සනක් පෙනුණේ නැහැ. හැබැයි මදි නොකියන්න අවධානය නම් ලැබුණා. Ronaldo අවශ්‍ය වෙලා තිබුනෙත් ඒ දේම තමයි.
2002 පාපන්දු ලෝක කුසලානය ක්‍රීඩා කරන්න ආපු Ronaldo ගැන මාධ්‍යවේදීන් විසින් වැඩි අවධානයක් යොමු කරලා තිබුණා. 1998 දී ලෝක කුසලාන අවසාන මහා තරගයට මිනිත්තු 72ක් කලින් තරගයෙන් එළියට විසි වුණු Ronaldoට, එදා නොලැබුණු ලෝක කුසලානයේ අයිතිය මෙදා ලැබේවි ද, 1999 ඉඳන් හරි හැටියකට ග්‍රවුන්ඩ් එකකට බැහැලා සෙල්ලම් කරගන්න බැරුව වරින් වර කඳුළු වගුරුවමින් පිටියෙන් බැහැරව ගිය, ආබාධ නිසා තමන්ගේ ක්‍රීඩා ජීවිතයේ ඉදිරි අනාගතය අවිනිශ්චිත වෙලා හිටපු, වසර දෙකකට පසුව නැවත ක්‍රීඩා පිටියට එන මේ ක්‍රීඩකයා ඉස්සර වගේම ආයෙත් ක්‍රීඩා කරාවි ද. ඒ වගේ මාධ්‍යය වගේම ප්‍රේක්ෂක අවධානයක් ඇතුවයි 2002 දී Ronaldo බසීල කණ්ඩායම එක්ක ආසියාවට එන්නේ.
ඒ වගේම තරගාවලියේ ටිකෙන් ටික ඉදිරියට යද්දියි Ronaldo තමන්ගේ කොණ්ඩයට මේ විදිහේ වෙනසක් කරන්න තීරණය කරන්නේ.
ඉහතින් සඳහන් කරපු හැම කරුණක්ම මේ කොණ්ඩ විලාසිතාවේ පසුබිම් කතාවට සම්බන්ධයි කියලා කිවුවොත් ඔබට විශ්වාස කරන්න පුළුවන් ද?
මේ ලිපිය ලියවෙන්නේ Ronaldoගේ විහිළු සහගත කොණ්ඩා විලාසිතාව ගැන සහ එහෙම දෙයක් කරන්න Ronaldoට තිබුණු හේතුව ගැන.
දෙයක් ප්‍රසිද්ධ වෙනවා සහ ජනප්‍රිය වෙනවා කියන්නේ මාතෘකා දෙකක්. මේ වචන දෙකේ තේරුම Ronaldoව උදාහරණයට අරගෙන මෙහෙම කියන්න පුළුවන්.
Ronaldoගේ අසාමාන්‍ය කොණ්ඩා විලාසිතාව පාපන්දු ලෝක කුසලානය අතරමැද දී මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කළා.
හැබැයි 2002 පාපන්දු ලෝක කුසලානය අවසාන වෙද්දී ඒ කොණ්ඩා විලාසිතාව Ronaldoගේ දක්ෂතා නිසා ජනප්‍රිය එකක් බවට පත් වෙලා තිබුණා.
Ronaldo කියන්නේ 1994 පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කල බ්‍රසීල පාපන්දු කණ්ඩායමේ ජයග්‍රාහී සාමාජිකයෙක්. හැබැයි අවාසනාවකට ඔහුට එම තරගාවලියේ අඩුම තරමින් එක මිනිත්තුවක් හෝ ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබෙන්නේ නැහැ.
හැබැයි 1998 දී මේ කතාව Ronaldo විසින් වෙනස් කරනවා, 98 පාපන්දු ලෝක කුසලානයේ අවසාන මහා තරගය වෙනකම් බ්‍රසීලයට ජයග්‍රාහී ගමනක එන්න Ronaldo අතිවිශිෂ්ට දායකත්වයක් සපයනවා.
ප්‍රංශය සමඟ අවසන් තරගය ක්‍රීඩා කිරීමට Ronaldo සූදානම් වෙන්නේ එතෙක් තරගාවලියේ ගෝල හතරක් ලබා ගෙන වැඩිම ගෝල ලාභීන්ගේ ලැයිස්තුවේ තෙවැනියට තමන්ගේ නම සටහන් කරගන්න අතරෙයි.
කොහොම වෙතත් Ronaldoගේ පාපන්දු ගමන අඩාල කරවන ආබාධ සහ අවාසනාවන්ත කාලයේ ආරම්භය සටහන් වෙන්න පටන් ගන්නේ 98 ලෝක කුසලාන අවසාන මහා තරගය දවසේ දහවලේ සිටයි. කිසිවකු හෝ බලාපොරොත්තු නොවුණු ලෙස බ්‍රසීල කණ්ඩායමේ තුරුම්පුව Ronaldo අසනීප වෙනවා.
“විනාඩි දෙකක විතර පොඩි අමාරුවක් තිබ්බා තමයි, හැබැයි ඒක ප්‍රංශෙට එරෙහිව ලෝක කුසලාන අවසාන මහා තරගය ක්‍රීඩා නොකර ඉන්න තරම් හේතුවක් විදිහට මට දැනුණේ නැහැ. මට මගේ රට වෙනුවෙන් කරන්න රාජකාරියක් ඉතුරු වෙලා තිබුණා.”
Ronaldo එහෙම හිතුවට එය සාමාන්‍ය මට්ටමේ අසනීපයක් නම් නෙවෙයි, ඔහුට වැලඳෙන්නේ පපුවේ අමාරුවක්!
Ronaldoගේ පාපන්දු ලෝක කුසලාන ජයග්‍රහණය සිහිනයක් බවට පත්වෙමින් අවසාන මහා තරගයට සහභාගී වීමේ අවස්ථාව ඔහුගෙන් ගිලිහිලා යද්දී, බ්‍රසීල කණ්ඩායමෙනුත් ඒ තරගයේ ජයග්‍රහණය ගිලිහිලා යන්නේ බ්‍රසීලයට Ronaldo නැති අඩු පාඩුව කෙතරම් ද යන වග පසක් කරමින්.
මේ හැම කතාවකම ඇරඹුම සටහන් වෙන්නේ ඒ විදිහට. එතැනින් පස්සේ Ronaldoගේ පාපන්දු ක්‍රීඩා දිවියේ දරුණු ගණයේ ආබාධ දෙකක් ඇති වෙලා තියෙනවා. ඒ අවස්ථා දෙකේ දී ම ඔහුගේ දණහිසට තමයි විඳවන්න සිදු වුනේ.
පළවෙනි වතාවට ඔහුගේ දණහිසේ ආබාධය මතු වුනේ 1999 වසරේ දී. මාස පහක විවේකයකින් අනතුරුව ඔහු 2000 වසරේ අප්‍රේල් 12 වැනි දින ආයෙත් පාපන්දු පිටියට පය තියනවා. ඒ නැවත පැමිණීමෙන් විනාඩි හයකට පසුව ඔහුගේ ජීවිතයේ මුහුණ දුන් දෙවැනි සහ දරුණුතම ආබාධයට මුහුණ දෙන්න සිදු වෙනවා.
ඔහුට ක්‍රීඩා පිටියේ ඉන්න ලැබුණේ විනාඩි 6ක් විතරයි!
Ronaldoගේ භෞත චිකිත්සක වරයා වුණු Nilton Petrone ඒ අතීතය මතක් කරන ගමන් කියන්නේ ඒ ආබාධය තමයි ඔහු මෙතෙක් කාලෙකට පාපන්දු ක්‍රීඩකයකුගෙන් දැකපු දරුණුතම ආබාධය කියලා.
“මට පුළුවන් ඒ ආබාධයෙන් පසුව ඔහුගේ දණහිස දිස් වුණ විදිහ ඔබට පෙන්වන්න ඡායාරූපවලින්, ඒත් ඔබ එවා විශ්වාස කරන එකක් නම් නැහැ, අපිට ඔහුගේ දණහිසට සැත්කමක් කරන්න සිදු වුනා, සැත්කමෙන් පස්සේ ඔහුගේ දණහිස පා පන්දුවක් තරම් විශාලෙටයි දිස් වුනේ. ඔහුට ඒ වේදනාව දරාගන්න බැරි තැන මෝෆීන් ඉල්ලලා ඇඬුවා.
එක දවසක් මධ්‍යම රාත්‍රියේ මට දුරකථන ඇමතුමක් දුන්න Ronaldo මගෙන් ඇහුවා ‘මට ආයේ කවදා හරි පාපන්දු ක්‍රීඩා කරන්න පුළුවන් වේවි ද?’ කියලත් ”
එහෙම අහපු Ronaldo මාස හතකට පස්සේ ආයෙත් පාපන්දු පිටියට එන්න සමත් වෙනවා. ඒ විතරකුත් නෙවෙයි 2002 පාපන්දු ලෝක කුසලානයේ ජයග්‍රහණය බ්‍රසීලයට ලබා දෙන්න ප්‍රධානතම හේතුව බවට පත් වෙන්නෙත්, තරගාවලියේ වැඩිම ගෝල ලාභියා විදිහට රන් සපත්තුව හිමිකර ගන්නෙත් Ronaldo විසිනුයි.
ලෝක කුසලාන ජයග්රහණයෙන් අනතුරුව Ronaldo ඔහුගේ අතීතය ගැන මේ විදිහට පවසනවා,
“මට අවුරුදු දෙක හමාරක් තිස්සේ පීඩා විඳපු මගේ ආබාධවලින් සුව වෙලා ආයෙත් පරණ විදිහට සෙල්ලම් කරන්න පුළුවන් වුනා. ඒ අතීතයේ විඳපු හැම දුකක් වෙනුවෙන්ම මට අද සතුටු වෙන්න පුළුවන්. දෙවියන් අද දවස මට, වගේම මගේ රටේ මිනිස්සුන්ටත් සතුටු වෙන්න වෙන් කරලා දීලයි තියෙන්නේ.”
2002 පාපන්දු ලෝක කුසලානයේ දී Ronaldo ගෝල අටක් ලබා ගන්න සමත් වෙනවා, එයින් ගෝල දෙකක්ම අවසාන මහා තරගයේ දී ජර්මනියට එරෙහිව ලබා ගත්තු ගෝල.
ඔහු අමාරු කාලයක් පහු කරලා ඇවිත් ක්රීඩකයකුට දැක්විය හැකි උපරිම මට්ටමේ දක්ෂතාවයක් පෙන්වන්නේ ඒ විදිහටයි. 1970 පාපන්දු ලෝක කුසලානයේ දී ජර්මන් ජාතික Gerd Mueller ගෝල දහයක් ලබා ගත්තයින් පස්සේ මේ තමයි එක් ලෝක කුසලානයක ක්‍රීඩකයකු ලබා ගත් ඉහළම ගෝල ප්‍රමාණය. (1970ට පෙර ක්‍රීඩකයින් පස් දෙනෙකු ගෝල අට හෝ ඊට වඩා එක තරගාවලියක දී ලබා ගැනීමට සමත් වී ඇත.)
“ඒ භයානක හීනය මෙතැනින් ඉවරයි, මට ආයෙත් දුවන්න පුළුවන්, මට ආයෙත් ගෝල රැස් කරන්න පුළුවන්. අවුරුදු දෙකකට පස්සේ මට ආයෙත් පාපන්දු පිටියකට ඇවිත් සෙල්ලම් කරන්න පුළුවන්. මේ තමයි මගේ ඉහළම ජයග්‍රහණය.”
ඔහු ජර්මනියට එරෙහිව අවසන් මහා තරඟය ක්‍රීඩා කරන්න පෙර ඒ විදිහට අදහස් දක්වලා තිබුණා.
2002 ලෝක කුසලානයේ එංගලන්තය සමග පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේ දී විතරයි ඔහුට ගෝලයක් ලබා ගැනීමට නොහැකි වෙන්නේ. ඒ තරගයේ දීත් ගෝලයක් ගත්තා නම් එය වසර 32ක ඇවෑමෙන් පසුව නැවත ඉතිහාසයේ වාර්තාවක් අලුත් කිරීමක් බවට පත් වෙන්න තිබුණා, ලෝක කුසලානයක තමන් ක්‍රීඩා කළ සෑම තරගයක දී ම ගෝල රැස් කළ ක්‍රීඩකයකු විදිහට.
දෛවය Ronaldoගේ ජීවිතයට ගොඩක් දායාද දීලා තියෙනවා, ඒ වගේම ඔහුගේ ජීවිතයෙන් ගොඩක් දේවල් අරගෙනත් තියෙනවා. දෛවය Ronaldoට හරස් නොවෙන්න, එදාමෙදාතුර බිහිවුණු විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා යන උදෘත පාඨයේ හිමිකාරිත්වය සදහටම ඔහුගේ නම ඉදිරියෙන් ලියැවෙන්නත් ඉඩ තිබුණා.
මොකද මේ තරම් දේවල් වෙලත් ඔහු තමන්ගේ ක්‍රීඩා ජීවිතය නිමා කරන්නේ ශ්‍රේෂ්ඨතමයෙක් විදිහට.
- කලෙක ළඟම මිතුරාය, පසුව හතුරාය
- 90 දශකයේ කෙටිදුර රජුන් පසු කර දිවූ සුගත් තිලකරත්න
- සියවසේ හොඳම පිම්ම පැන්න Bob Beamon
- දුර පැනීමේ ඉතිහාසයේ උණුසුම්ම දෙපැය
- අම්මාගේ හෙවණැල්ලෙන් එළියට ආ දියණිය Eilish McColgan
මේ තමයි Ronaldoගේ 1998 සිට 2002 දක්වා සැකැවින් කතාව.
2002ට පෙර කාලසීමාවේ මාධ්‍යයට තිබුණු ලොකුම ගැටලුවක් තමයි Ronaldo ආයෙත් පාපන්දු ක්‍රීඩා කරාවි ද කියන දේ, සමහරු Ronaldo නැවත ක්‍රීඩාවේ නොයෙදෙනු ඇති බවට පෙරැයීම් කරලයි තිබුණේ ඒ වෙද්දී.
“ඒ වෙද්දී මගේ දණහිසේ ඇති වුණු ආබාධය ගැන තමයි හැමෝම කතා කරේ, ඒ නිසා මම තීරණය කළා ඉස්සරහින් කොණ්ඩය පොඩ්ඩක් ඉතුරු කරලා අනිත් ඔක්කොම ටික කපලා දාන්න. ඊට පස්සේ ඒ අමුතු කට් එකත් එක්ක මම පුහුණුවීම් වලට එද්දී හැමෝම මම දිහා, ඇත්තටම මගේ ඔළුව දිහා බලන්න ගත්තා. හැමෝම මගේ කොණ්ඩේ ගැන කතා කරන්න පටං ගත්තා, හැමෝටම මගේ දණහිසේ ආබාධය ගැන අමතක වෙලා ගියා. ඒ නිසා මට මගේ පුහුණුවීම්වලට තවත් සංසුන්ව අවධානය යොමු කරන්න පුළුවන් වුනා.
මම මගේ කොණ්ඩා විලාසිතාව ගැන ආඩම්බර හෝ සතුටු වෙන්නේ නැහැ, ඇත්තටම ඒක ගොඩක් අමුතුයි. හැබැයි හැමෝගේම අවධානය වෙනතකට හරවන්න පුළුවන් තරමට ඒ වැඩේ ප්‍රායෝගිකයි!”
2002 පාපන්දු ලෝක කුසලානයේ වැඩියෙන්ම කතා බහට ලක් වුණු දෙය වෙච්ච Ronaldoගේ කොණ්ඩ විලාසිතාවට පාදක වුණු හැබෑම හේතුව Ronaldo විසින්ම හෙලි දරව් කළේ ඒ විදිහට.
අවුරුදු දෙක හමාරක පමණ අවාසනාවන්ත කාලයක් පහු කරගෙන ඇවිත්, යන්තම් ප්‍රකෘති තත්වයට එන ක්‍රීඩකයෙක්ගේ මනසට මාධ්‍ය මගින් මොන තරම් ලොකු බලපෑමක් එල්ල කරනවා ද කියන දේ ගැන මීටත් වඩා උදාහරණ අවශ්‍ය වුනේ නැහැ.
Ronaldo විසින් තමන්ගේ තැනට සුදුසු නුවණ පාවිච්චි කරලා මේ අනවශ්‍ය අවදානය වෙනතකට හරවන්න සමත් වුනා. නමුත් මාධ්‍ය මගින් ක්‍රීඩකයින්ට ඇති වන බලපෑම කියන මාතෘකාවෙන් මානසික පීඩාවට පත් වෙන ක්‍රීඩකයින් අදටත් කොතෙකුත් ඇති. තමන් විසින්ම එවැනි ගැටලුවලින් ගැලවිලා යන්න ඒ හැමෝම Ronaldo ලා නෙවෙයි නේ.
වැඩේ කියන්නේ Ronaldo පවා අකමැති වුණු මේ හෙයාර් කට් එකට ඔහුගේ රසිකයින් ආදරය කරන්න පටන් ගැනීම. 2002 පාපන්දු ලෝක කුසලානය ඉවර වෙද්දී ඔහු වීරයෙක්. ඒ වගේ වීරයෙක් පසු පසින් බිහිවෙන අනුගාමිකයන් පිරිසට ඕනම කැත දෙයක් වුනත් ලස්සනට පේන එක සාමාන්‍ය දෙයක් එක අතකට.
වත්මන් පාපන්දු ලෝකයේ වටිනාම පාපන්දු ක්‍රීඩකයෙක් වෙන Neymar de Silva විසිනුත් මේ කොණ්ඩා විලාසිතාව ඒ කාලේ කරලා බැලුවලු.
“ඒ කොණ්ඩ විලාසිතාව ලස්සනයි, මාත් ඒක අනුගමනය කළා. ඒ කාලේ අපි හැමෝම රොනාල්ඩෝලා වගෙයි පෙනුණේ.”
Neymar ඒ කාලේ පොඩි කොල්ලෙක්, Neymar විතරක්ම නෙවෙයි ඒ කාලේ පාපන්දු උණ බෝ වෙලා හිටපු ගොඩක් කොල්ලො කුරුට්ටෝ ඒ විලාසිතාව අනුගමනය කරලා තිබුණා. පස්සේ කාලෙක Ronaldo විසින් මේ ගැන ඒ හැම දරුවෙක්ගේම අම්මලා වෙනුවෙන් ප්‍රසිද්ධියේම කනගාටුව පළ කරා.
“ඒක කැතයි, තමන්ගේ දරුවන් ඒ විදිහට කොණ්ඩය කපලා ඉන්නවා දකින්න ලැබුණු හැම අම්මා කෙනෙක්ගෙන්ම මම සමාව ඉල්ලනවා.”
මේ කොණ්ඩා මෝස්තරය ඒ ළමයින්ගේ අම්මලට මහා හිසරදයක් වෙන්න ඇති, Ronaldoගේ අම්මත් ඒකට කිසිම කැමැත්තක් දක්වලා තිබුණේ නැහැ.
“ඒක හරිම කැත කොණ්ඩ මෝස්තරයක්, ඔහුට තිබුණේ කොණ්ඩේ ඔක්කොම බූ ගාලා දාන්න. La Nación (Ronaldoගේ පුතා) ට පවා එයාව අඳුර ගන්න බැරි වුනා. එයා ටික වෙලාවක් ඔහු දිහා බලාගෙන හිටියත් තාත්තාව අඳුර ගන්න බැරි වුනා.”
මේ කොණ්ඩා මෝස්තරය නිකම්ම Ronaldoගේ ඔළුවට ආපු අදහසක් නම් නෙවෙයි, බ්‍රසීල කාටූන් සීරීස් එකක් වෙන Turma da Mônica කියන කාටූන් එකේ Cascão නම් චරිතයේ කොණ්ඩය දැකලා තමයි Ronaldo ට මේ අදහස ඇවිත් තියෙන්නේ.
ඒ තමයි Ronaldo 2002 දී හඳුන්වා දුන්නු අලුත් කොණ්ඩා විලාසිතාවේ ඇත්ත කතාව. මේ ලිපිය තුලින් Ronaldo කියන්නේ මොන තරම් දක්ෂ ක්‍රීඩකයෙකු ද කියන දේ උළුප්පා දක්වන්න මම උත්සාහ කරේ නැහැ, ඔහුගේ කොණ්ඩ විලාසිතාව සහ ඒ සඳහා පාදක වුණු පසුබිම් කතාව විතරයි විස්තර කළේ.
නමුත් බොහෝ දෙනා කියන විදිහට ආබාධ නිසා සැලකිය යුතු කාලයක් ක්‍රීඩාවෙන් ඈත් වෙලා ඉන්නට සිදු වුනත් Ronaldo කියන්නේ මෙතෙක් බිහිවුණු විශිෂ්ටතම ක්‍රීඩකයෙක්.
ඒ ගැන වැඩි දෙයක් නොලියාම පාපන්දු ලොවේ තවත් ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙක් වෙන Lionel Messi විසින් Ronaldo ගැන තමන්ගේ අදහස කියපු තැනින්ම මේ ලිපියේ අවසානය සනිටුහන් කරන්නම්.
“මා මෙතෙක් දැක ඇති සියලුම Strikers (ප්‍රහාරකයින්) ලා අතරින් ඔහු තමයි හොඳම කෙනා. ඔහුගේ ක්‍රීඩා විලාශය සිත් ඇද ගන්නා සුළුයි.”
මෙම වසර අග දී ඔබට තවත් පාපන්දු ලෝක කුසලානයක අසිරිය විඳ ගැනීමට අවස්ථාව හිමි වීමට නියමිතයි. එමෙන්ම එම තරගාවලියේ සියලු තතුවිත්ති ඔබ හා සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<