අළුබඳුන කියන්නෙත් ආදරේ සංකේතයක්!

986

Sporting Times පුවත්පත කියන විදිහට පළවෙනි වතාවට සුද්දන්ගේ ක්‍රිකට් මැරුණේ 1882 අගෝස්තු මාසේ 29 වැනිදා.

ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව වගේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් ගණනාවක සුදු හම තියෙන ක්‍රිකට් ක්‍රීඩකයෝ හිටියත්, අපි “සුද්දෝ” කියලා කට ඇරලා හඳුන්වලා දෙන්න පුරුදු වෙලා ඉන්නේ එංගලන්ත ජාතිකයන්ව. අද වෙද්දී නම් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සැලකිය යුතු පිරිසක් කළු හම තියෙන සහ වෙනත් රටවල ආභාෂය තියෙන ක්‍රීඩකයින් කියන එක වෙනම කතාවක්. ඒත් අදටත් එංගලන්තය තමයි අපි දන්න සුද්දා!

එංගලන්තයට එදා ඉඳන් අද වෙනකම් ඉන්න ප්‍රධානතම සහ ප්‍රබලතම ප්‍රතිවාදියා වුනේ ඕස්ට්‍රේලියාව. ඒක කණ්ඩායමට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් එකොළොස් දෙනා හෝ සංචිතයේ ඉන්න ක්‍රීඩකයින් පහළොස් දෙනාට විතරක් දැනෙන හැඟීමක් නෙවෙයි. දෙරටේ ම මිනිස්සුන්ගේ හදවත් ඇතුළට කිඳා බැහැපු හැඟීමක්. මොකද ක්‍රිකට් උපන් දේශය විදිහට හඳුන්වලා දෙන එංගලන්තයේ ක්‍රිකට් පළමු වතාවට මැරුවේ ඕස්ට්‍රේලියාව විසින්.

1982 අගෝස්තු මාසයේ 29 වැනිදා සිදු වුන මේ අනපේක්ෂිත ඝාතනය නිසා තමයි Reginald Shirley Brooks නම් එංගලන්ත මාධ්‍යවේදියා විසින් “සුද්දන්ගේ ක්‍රිකට් මළගම” ගැන මරණ දැන්වීමක් Sporting Times පුවත්පතේ පළ කරන්නේ.

“1882 අගෝස්තු 29 වැනි දින එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේ දී මිය ගිය ඉංග්‍රීසි ක්‍රිකට් ක්‍රීඩාව ආදරයෙන් සිහිපත් කරමින් ශෝකයට පත් මිතුරන් සහ හිතවතුන් සිය බලවත් ශෝකය පළ කරයි.

සමාදානයේ සැතපේවා!

දේහය ආදාහනය කිරීමෙන් අනතුරුව භෂ්මාවශේෂ ඕස්ට්‍රේලියාවට රැගෙන යනු ඇත.”

ලෝක ක්‍රිකට් ඉතිහාසය සලකලා බැලුවා ම වැඩිම දුරක් ඈතට දිවෙන ක්‍රිකට් අතීතයක් තියෙන්නේ එංගලන්තය ඕස්ට්‍රේලියාව කියන රටවල් දෙකට. රටවල් දෙකක් අතර පැවැත්වුණු පළමු නිල ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වුනෙත් මේ දෙරට අතර. (රටවල් දෙකක් අතර පළමු ක්‍රිකට් තරගය කැනඩාව සහ ඇමරිකාව අතර 1844 වර්ෂයේ දී පැවැත්වුනත් නිල වශයෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා රටාව ආරම්භ වෙලා පැවැත්වුණු පළමු ටෙස්ට් තරගය 1877 දී එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙනවා.)

ඒ වගේ ම කාලයෙන් කාලයට එංගලන්තය ඕස්ට්‍රේලියාවට සහ ඕස්ට්‍රේලියාව එංගලන්තයට සංචාරය කරමින් ක්‍රිකට් තරග ක්‍රීඩා කළා. අතීතයේ නැව් වල නැගලා මුහුදු මාර්ග ඔස්සේ සිදු කරපු මේ වගේ සංචාර අතරතුර දී මේ කණ්ඩායම් ශ්‍රී ලංකාවටත් ගොඩ බැස්සා කියන එක ප්‍රසිද්ධ කතාවක්.

කොහොම හරි ක්‍රිකට් ඉපදුණු එංගලන්තය 1882 වෙන තෙක් ම කවමදාවත් තමන්ගේ රටේ දී ක්‍රිකට් තරගයක් පරාජය වෙලා තිබුණේ නැහැ. හැබැයි ඒ ඉතිහාසය වෙනස් වෙන්න නියමිත බවට පළමු ඉඟිය ලබා දෙන්න ඕස්ට්‍රේලියාව සමත් වෙන්නේ 1882 අගෝස්තු 28 සහ 29 දින දෙක තුළ පැවැත්වුණු ටෙස්ට් තරගය අවසානයේ ලකුණු 7ක තියුණු ජයග්‍රහණයක් ලබා ගනිමින් එංගලන්ත කණ්ඩායම පරාජය කිරීමත් සමඟ.

එතෙක් එංගලන්තයේ ජීවත් වෙන සුද්දෝ ජීවිතේට අත් විඳලා නොතිබුණු පරාජය කියන හැඟීම පළමු වතාවට අත් විඳින්න ලැබීමේ කම්පනය තමයි Sporting Times පුවත් පතේ පල වුන මරණ දැන්වීමෙන් පිළිබිඹු වුනේ.

එංගලන්තය සිය මවුබිමේ දී ම පළමු වතාවට පරාජය කිරීම වෙනුවෙන් ඕස්ට්‍රේලියාව මෙහෙයවුවේ Billy Murdoch විසින්. ඔහුගේ නායකත්වය යටතේ ඕස්ට්‍රේලියාව විසින් එංගලන්තය පරාජය කරලා තමන්ගේ රට බලා නැවත පිටත් වෙලා ගියත් වැඩි කල් නොයාම එංගලන්තය විසින් Ivo Bligh කියන නායකයා යටතේ තවත් කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවට පිටත් කරන්නේ තමන්ගේ රටේ දී ම ආදාහනය කළ ක්‍රිකට් වල අළු නැවත සිය රටට රැගෙන ඒමේ අරමුණින් යුතුව.

Ivo සමඟ ඕස්ට්‍රේලියාව බලා පිටත් ව ගිය එංගලන්ත කණ්ඩායම

ඇත්තටම මේ සංචාරය අදාළ පරාජිත තරගයට පෙර සිට ම සැලසුම් කරලා තිබුණු එකක්, නමුත් එංගලන්තයේ පරාජයත් එක්ක මේ සංචාරයට අලුත් අරමුණක් එකතු වීම තමයි සිදු වුනේ.

මේ තරගාවලියේ පළමු තරගය ආරම්භ වෙන්නේ 1882 දෙසැම්බර් මාසේ 30 වැනිදා. නමුත් ඒ තරගය ජයග්‍රහණය කරන්න සමත් වෙන්නෙත් සත්කාරක ඕස්ට්‍රේලියාව විසින්මයි. කෙසේ වෙතත් ඊළඟ තරග දෙක ම ජයග්‍රහණය කරන්න Ivoගේ නායකත්වයෙන් යුත් එංගලන්ත කණ්ඩායම සමත් වෙනවා.

Ivo Bligh

මේ තරග තුනට අමතරව එංගලන්ත කණ්ඩායම තවත් සමාජ ප්‍රවර්ධන ක්‍රිකට් තරග කිහිපයකටත් සහභාගී වෙනවා. අන්න ඒ වගේ තරගයකින් පසුව පැවැත්වුණු නත්තල් සාදයක් අතරතුර (සමහර තැන්වල දී එංගලන්තය මේ තරගාවලිය ජයග්‍රහණය කිරීමෙන් පසුව කියලත් සඳහන් වෙනවා.) එංගලන්ත නායක Ivo Blighහට කුඩා අළුබඳුනක් තෑගි ලැබෙනවා.

තමන් අතින් ගිලිහුණු අභිමානය එහෙම නැත්නම් තමන්ගේ මවුබිමේ දී ම දවා අළු කළ ක්‍රිකට් භෂ්මාවශේෂ නැවත රැගෙන යන්න ඕස්ට්‍රේලියාවට පැමිණි එංගලන්තයට නැවත රැගෙන යන්න පුළුවන් විදිහට Terracotta භාවිත කරලා හදපු කුඩා අළුබඳුනක් තමයි මේ විදිහට තෑගි ලැබෙන්නේ.

ඒ වගේ ම මේ බඳුන අළු තැන්පත් කිරීම වෙනුවෙන් ම නිර්මාණය කළ එකක් නොවෙන බව සහ එය සුවඳ විලවුන් බෝතලයක් විය හැකි බවත් අනුමාන කෙරෙනවා.

මේ අළුබඳුනේ තිබුණේ එංගලන්තය ඕස්ට්‍රේලියාවේ දී සහභාගී වුන තෙවැනි ටෙස්ට් තරගයේ දී භාවිත වුන බේලයක් (කඩුල්ලේ බේලයක්) දවා ලබා ගත් අළු බවට යම් මතයක් තියෙනවා. නමුත් ඊට වඩා තරමක් වෙනස් කතාවකුත් මේ අළුබඳුන ගැන ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවා.

ඕස්ට්‍රේලියාවේ Rupertswood වතුයායේ පැවැත්වුණු නත්තල් සාදයක දී Ivo Bligh හට මේ අළුබඳුන තෑගි ලැබෙන්නේ කාන්තාවන් පිරිසකගෙන් කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ කාන්තාවන් පිරිස අතර හිටපු Florence Morphy කියන කාන්තාව තමයි පසු කාලයක දී (1884 දී) Ivo සමඟ විවාහ වෙන්නේ.

Florence Morphy

1998 වසරේ දී 82 හැවිරිදි වියේ පසු වුන Ivo Blighගේ වැඩිමහල් ලේලිය විසින් කියනවා මේ කුඩා අළුබඳුනේ අඩංගු වුනේ තමන්ගේ නැන්දම්මාගේ, ඒ කියන්නේ Florence Morphyගේ හිස් පළඳනාවක (වේලයක) අළු බව. නමුත් ඒ ගැන නිශ්චිතව ම පවසන්න හැකියාවක් නැහැ. මොකද තවත් සමහරු විශ්වාස කරනවා මේ අළුබඳුනේ තියෙන්නේ බේලයක හෝ වේලයක අළු නොව ක්‍රිකට් පන්දුවක අළු බව.

කොහොම වෙතත් අළුබඳුනේ ඉතිහාසය හොයා ගෙන යද්දී Ivo සහ Florence අතර ඇතිවුන සුන්දර ආදර කතාවක් අපට මුණ ගැහෙන්නේ ඒ විදිහට.

අවසානයේ අළුබඳුනක් පාදක කර ගෙන මුණ ගැහුණු රටවල් දෙකක තරුණ යුවළක් එකිනෙකා ආදරයෙන් වසර 43ක් එකට ජීවත් වෙනවා.

Ivo Bligh (පසුව ඔහුව Darnley සාමිවරයා ලෙසත් හඳුන්වා දුන්නා.) මිය යන්නේ 1927 වසරේ දී. ඒ වෙනකම් ම මේ අළුබඳුන ඔහු තමන් සන්තකයේ තබා ගන්නවා. නමුත් ඔහුගේ මිය යාමෙන් පසුව ඔහුට ඒ අළුබඳුන තෑගි කළ අයගෙන් කෙනෙක් වුන ඔහුගේ ප්‍රිය බිරිඳ Florence විසින් එය MCCය (Marylebone Cricket Club) වෙත ලබා දෙනවා. එදා පටන් අද වන තෙක් එය Lord’s හි ක්‍රිකට් කෞතුකාගාරය තුල සුරක්ෂිත ව තැන්පත් කරලා තියෙන බව තමයි දැන ගන්න ලැබෙන්නේ. ඒ වගේ ම අවස්ථාවන් කිහිපයක ම මේ අළුබඳුන එංගලන්තයේ වගේ ම ඕස්ට්‍රේලියාව තුලත් විශේෂ ප්‍රදර්ශන වෙනුවෙන් රැගෙන ගිහින් තියෙනවා.

පසු සටහන;

1882 දී එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර එංගලන්තයේ දී පැවැත්වුණු තරගය මේ අළුබඳුන ක්‍රිකට් තරගාවලියේ ආරම්භයට හේතු වුනත් ඒ තරගය නිල වශයෙන් අළුබඳුන තරගාවලියට අයත් එකක් ලෙස පිළිගැනෙන්නේ නැහැ. නිල වශයෙන් අළුබඳුන තරගාවලිය ආරම්භ වුනා කියලා සැලකෙන්නේ 1882 දී ම එංගලන්තය විසින් ඕස්ට්‍රේලියාවේ සිදු කරපු තරග සංචාරයෙන් පසුවයි.

ඒ වගේ ම මේ තරගාවලිය අළුබඳුන ලෙස නම් කරලා තිබුනත්, තරගාවලියේ ජයග්‍රාහකයාට අළුබඳුන කුසලානයක් ලෙස පිරිනැමීම ආරම්භ වුනේ 1998/99  තරගාවලිය තුල දී. එම තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත් වුන ඕස්ට්‍රේලියානු නායක Mark Taylor තමයි පළමු වරට අළුබඳුන කුසලානයක් තමන්ගේ දෑතේ හොවා ගන්න සමත් වුනේ.

Taylorට අළුබඳුන කුසලානය දෑතේ හොවා ගන්න පුළුවන්කම ලැබුණාට අපේ කතා නායකයා Ivo Blighගේ අතට ලැබුණ අළුබඳුන නම් ඒ විදිහට දෝතින් දරන්න තරම් නොවන සෑහෙන්න කුඩා ප්‍රමාණයේ එකක්. ඇත්ත ම අළුබඳුනේ උස සෙන්ටි මීටර 10.5 (අඟල් 4.1) බවයි දැන ගන්න ලැබෙන්නේ. නමුත් Taylorගේ අතට ලැබෙන්නේ සෙන්ටි මීටර 49.5ක් උස සත්‍ය අළුබඳුනේ ආකෘතියක් බව තමයි MCC නිල වෙබ් අඩවියේ සඳහන් වෙන්නේ.

ඒ වගේ ම 1882/83 තරග වාරයෙන් ආරම්භ වුන අළුබඳුන ක්‍රිකට් තරගාවලිය මේ වන විට 72 වතාවක් පවත්වලා තියෙනවා. ඉන් තරගාවලි 34ක් ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කරද්දී, තරගාවලි 32ක් එංගලන්තය ජයග්‍රහණය කරමින් එකිනෙකාට නොදෙවෙනි ව සිටින්න සමත් වෙලා තිබීමත් විශේෂත්වයක්.

දැන් 73 වැනි අළුබඳුන ක්‍රිකට් තරගාවලිය ජුනි 16 වැනිදා පටන් එංගලන්තයේ දී ආරම්භ වෙන්න නියමිතයි. මේ තරගාවලිය අරභයා තමයි මේ ලිපිය ලියැවෙන්නෙත්. 2021/22 අළුබඳුන තරගාවලිය ජයග්‍රහණය කරන්න සමත් වුන ඕස්ට්‍රේලියාව තමයි වත්මන් අළුබඳුන ශූරයින් බවට පත් වෙලා ඉන්නේ.

1882 දී එංගලන්තයේ ක්‍රිකට් පළමු වතාවට මැරුණු නිසා අළුබඳුන තරගාවලිය බිහි වුනා. ඊට පසුවත් එංගලන්ත ක්‍රිකට් සැරින් සැරේ මැරුණා. එහෙම මැරිලා වැටිලා තිබුණු එංගලන්ත ක්‍රිකට් වලට 2015 වසරෙන් පසුව නව ජීවයක් ලැබුණා කියලා සැකයකින් තොරව ම කියන්න පුළුවන්. ඒ වගේ ම හිටපු නවසීලන්ත නායක Brendon McCullumගේ පුහුණුකාරීත්වය යටතේ සහ සුපිරි එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක Ben Stokesගේ ආක්‍රමණශීලී නායකත්වය යටතේ එංගලන්තය දැන් ක්‍රීඩා කරන්නේ අලුත් ම රටාවක ක්‍රිකට් ක්‍රීඩාවක්.

අලුත් ක්‍රිකට් කලාවක් හොයා ගත්තු එංගලන්තය එක් පසෙකින් හිඳිද්දී ක්‍රිකට් ලෝකයේ රජු සහ වත්මන් ටෙස්ට් ලෝක ශූරයින් ලෙස කිරුළු දරන්න සමත් වුන ඕස්ට්‍රේලියාව අනෙක් පසින් තරග බිමට පිවිසෙනවා. ඒ නිසා මෙවර අළුබඳුන තරගාවලිය ඉතිහාසයේ තවත් තරගකාරී ම තරගාවලියක් වේවි කියලා අනුමාන කරන්න පුළුවන්.

මේ වතාවේ එංගලන්තය විසින් හඳුන්වලා දුන්න Bazball තරග රටාව එංගලන්තයේ දී ම දවා අළු කරන්න ඕස්ට්‍රේලියාව සමත් වේවි ද?

එහෙම නැත්නම් ටෙස්ට් ලෝක ශූරයින් කියන වචනය නිකම්ම නිකම් වචනයක් පමණක් වෙන තැනට ඕස්ට්‍රේලියාව පත් කරන්න එංගලන්තය සමත් වේවි ද කියලා අපි බලා ගෙන ඉමු.

මේ ආරම්භ වෙන්නෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ක්‍රිකට් ක්‍රීඩාවේ වසන්ත කාලයයි!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<