රග්බි කියන්නේ චණ්ඩින්ගේ ක්‍රීඩාවක් නෙවෙයි – සුපිරි ක්‍රීඩක ඩෑන් කාටර්

705
courtsey - www.theplayerstribune.com /Getty

ඩෑන් කාටර්ගේම සුන්දර සටහනක්…

මට යාන්තමින් වයස අවුරුදු පහක් වෙද්දී මම තනිවම කණ්ණාඩිය ඉදිරියට ගිහින් “හකා” නර්තනය ඉදිරිපත් කරනවා. මගේ පාද තාලයට චලනය කරමින්, මගේ පපුවට අතින් ගහමින්, මම දන්නවා මම හකා නර්තනය හරියට කරන්නේ නැහැ කියලා. නමුත් මම මට පුළුවන් උපරිමයෙන් ඒ දෙය කළා.

ඔබ නවසීලන්තයේ හැදී වැඩෙනවා නම් කුඩා කාලයේ සිටම රග්බි අපට ක්‍රීඩාවකට වඩා දෙයක්. ඒක අපේ සෙල්ලම. අපේ රටේ රග්බි ආගමකට සමානයි. ආගමක් අදහන අය සියලු දෙනාගේ විශ්වාසයන් වෙලාවත් සමඟ වෙනස් වෙනවා. එහෙම උනත් නවසීලන්තයේ රග්බි වලට තිබෙන ආදරය නම් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.

රාජකීයයින් තෙවැනි වරටත් රග්බි පිටියේ බලය තහවුරු කරගනී

අතිශය තරගකාරී මුහුණුවරක් ගත් 2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගවාරය, ඉතා සාර්ථක අවසානයක් කරා රැගෙන…

මට තිබෙනවා හරි අපූරු මතකයන්. ඉන් එකක් තමයි අපේ කණ්ඩායම (නවසීලන්තය) යුරෝපයේ හෝ දකුණු අප්‍රිකාවේ ක්‍රීඩා කරන කොට මමයි මගේ තාත්තයි පාන්දර තුනට ඇහැරලා තරග නරඹනවා. අපි කොහොමවත් තරගයක් මග හරින්නේ නැහැ. ඕල් බ්ලැක්ස් කණ්ඩායම පුරාවෘත්තයක්. ඔවුන් ක්‍රීඩා කරන මට්ටම කිසි ලෙසකින්වත් වෙනත් අයෙකුට පසු කර යන්නට බැහැ. සම්පූර්ණ රටක් වැඩ නතර කර තරගය බලනවා. ඔවුන්ගේ එකම බලාපොරොත්තුව ඕල් බ්ලැක්ස් කණ්ඩායම තරගය ජයගන්නවා බලන්නයි.

පොඩි කාලේ “මමත් ඕල් බ්ලැක්ස් කමිසය හැඳගෙන ක්‍රීඩා කරාවි” යැයි සිතීම පවා විහිළුවක් යැයි මට සිතුණා. නවසීලන්ත ජාතිකයෙකුට එය එතරම් විශාලයි. අපේ ජාතික රග්බි කණ්ඩායම තමයි මුළු නවසීලන්තයේම ආඩම්බරය. දශක ගණනක් පුරා නවසීලන්ත රග්බි කණ්ඩායමේ අඛණ්ඩ සාර්ථකත්වය හරිම පුදුමයි. ජාත්‍යන්තර තරගවල දී ඔවුන් සහභාගී වූ තරග වලින් 75%ක් ජයගෙන තිබෙනවා. ලකුණු 13,921ක් ඔවුන් රැස් කරගෙන සිටින අතරම ඔවුන් ප්‍රතිවාදීන්ට ලබා දී ඇත්තේ ලකුණු 6,793ක් පමණයි. (මේ ලිපිය ලියැවෙන සමයේ).

මගේ ගම නවසීලන්තයේ පිටිසර ගමක්. අපේ ගමෙන් එතරම් ජාතික රග්බි ක්‍රීඩකයින් බිහි වෙලා නැහැ. ඉතින් නවසීලන්තය වෙනුවෙන් එක් තරගයක් හෝ ක්‍රීඩා කිරීම මට හීනයක් වීම සාධාරණයි නේද?

මට තවම මතකයි මම ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ පළමු තරගය. මගේ රට වගේ අලංකාර රටක් නියෝජනය කරමින් තරගයක් ක්‍රීඩා කිරීමේ උද්‍යෝග, ආශාව මට විටෙක දරාගන්නත් බැරි වුනා. ඒ වුනත් මට “වැඩේ අවුල් කරගන්න” අවශ්‍යම වුනේ නැහැ.

(මේ නවසීලන්තයේ හොඳම හකා නර්තනය ද? – 2011 ලෝක කුසලාන අවසාන මහා තරගය)

ඒ 2003 වසර. මට යාන්තමින් වයස අවුරුදු 21යි. අපි වේල්සයට එරෙහිව තමයි ක්‍රීඩා කළේ. මට මතකයි හැමිල්ටන් හි තිබුණු ක්‍රීඩා පිටිය තුළට අපි ගිය ආකාරය. සුපිරි ප්‍රේක්ෂකයින් දහස් ගණනක් තරගය නරඹන්න රැස්ව සිටියා. පිටියේ හිඳ ජාතික ගීය ගැයීම මට ඉතාම හැඟුම්බර අත්දැකීමක් වුනා. නමුත් මට අමතකම නොවන අත්දැකීම තමයි නවසීලන්තය වෙනුවෙන් මගේ ප්‍රථම “හකා” නර්තනය.

හකා නර්තනය කියන්නේ පුරාණ මඔරි වරුන්ගේ (Māori) යුද නැටුමක්. සෑම තරගයකටම පෙර ඕල් බ්ලැක්ස් ක්‍රීඩකයින් සිරිතක් විදියට හකා නර්තනය ඉදිරිපත් කරනවා. ඔබ සැවොම දැකලා තිබෙන විදියට එය හරිම ලස්සනයි.

මම හරිම ආදරය කරන සිරිතක් එය. එය හරි අමුතු යමක් විදියට පෙනෙන්න පුළුවන්. නමුත් කණ්ඩායම සිටිද්දී මම හකා නර්තනයේ සැබෑ තේරුම තේරීම් ගත්තා. එය ආධ්‍යාත්මික නර්තනයක්. හකා නර්තනයට පුළුවන් අපිට ශක්තිය ගෙනල්ලා දෙන්න. එම නර්තනයේ පියවරවලට දිගු ඉතිහාසයක් තිබෙනවා. හැම නවසීලන්ත ජාතිකයෙකුටම එම නර්තනය ලස්සනට කරන්න පුළුවන්. එය තරගයට සුපිරි ජවයක් ගේනවා. ඒ නිසාම හකා නර්තනයක් ඉදිරිපත් කළ සෑම විටෙකම මම පිටියේ සීමාව අසලට ගොස් මාවම සංසුන් කර ගන්නවා. මම ක්‍රීඩා කරන ස්ථානය, ෆ්ලයි හාෆ්, ඇමරිකන් පාපන්දු ක්‍රීඩාවේ හි ක්වාටර්බැක් ස්ථානයට සමානයි. මම තමයි තරගය ඉදිරියට රැගෙන යන තීරණ ගන්නේ. මම දැනන් ඉන්න ඕන කවුද කොයි වේලාවේ ද කොතැන ද සිටින යුත්තේ කියලා. ඒ නිසාම මම බොහොම නිදහස් මනසකින් ක්‍රීඩා කරන්න ඕන.

ඒ හැරුණු කොට මම මගේ උපරිම සහයෝගය දෙනවා ස්ක්‍රම් අවස්ථාවන් සඳහා යන අපේ ඉදිරිපෙළ දැවැන්තයින් හට හකා නර්තනය ඔස්සේ උපරිම ජවයක් අරන් දෙන්නට.

පළමු වරට හකා නර්තනය ඉදිරිපත් කරන්නට මම ඉතා කලබලයෙන් හිටියේ. ඒ නොඉවසිල්ල නිසාම මාව පිටිපස්සට තල්ලු වුනා. නමුත් වසරින් වසර මම ඉදිරියට පැමිණියා. දැන් මම ඉදිරියේම සිටිනවා. අපි පළමු තරගය දිනුවා. එතැන් සිට මම ආපසු හැරී බැලුවේ නැහැ.

මේ ක්‍රීඩාව ගැන හරියට නොදන්නා අය හිතන්නේ රග්බි කියන්නේ හරිම ප්‍රචණ්ඩ සහ අනුකම්පා විරහිත ක්‍රීඩාවක් කියලා. එක් අතෙකට ඒකත් ඇත්ත. මගේ ඇඟේ තිබෙන තුවාල කැළල් ඒවාට සාක්කි දේවී.

මගේ කලව, පාද, උරපත්ත ඇතුළු ස්ථාන කිහිපයකම ආබාධ ඇතිවෙලා තිබෙනවා. මගේ උරහිස් දෙකම විසන්ධි වෙලා තිබෙනවා. වළලුකර සැත්කම් කිහිපයකටත් මම මුහුණ දී තිබෙනවා. තවත් පොඩි පොඩි දේවලුත් තිබෙනවා. අතෙහි ඇඟිලිවල බිඳුණු අස්ථි හා ඇඹරි ගිය ඇඟිලි.

මේ දේවල් කියවද්දී හරිම භයානක වෙන්න පුළුවන්, නමුත් මම කියනවා රග්බි ක්‍රීඩාව, එම ක්‍රීඩාව ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ගේ අභ්‍යන්තරයේ සිටින මහත්මයාව එලියට ගෙනෙනවා.

ඔව් එය මිනිත්තු 80ක යුද්ධයක්. ඉහළම මට්ටමේ තරගකාරී බවකින් තරගයක් ක්‍රීඩා කරන විට එය හරිම වේගවත්. බොහොම දරුණු හැල හැප්පීම් සිදු වෙනවා. නමුත් ඔබට මේ ක්‍රීඩාවේ හරිම ස්වභාවය තේරුම් ගන්න පුළුවන් තරග නිමා වුණු විට දී පමණයි. පැයකටත් වැඩි කාලයක් ක්‍රීඩා පිටියේ යුද්ධයක නිරත වීමෙන් අනතුරුව ක්‍රීඩකයින් ඔවුන්ගේ ප්‍රතිවාදීන්ගේ ක්‍රීඩාගාරයට යන්නේ සිනහවක් සහ බීර වීදුරුවක් බෙදා ගන්න. ප්‍රේක්ෂකයා පිටියේ දී දකින දරුණු බව හා මාරාන්තික බව පිටියෙන් එපිට නැහැ.

ඔබ ඔබගේ ප්‍රතිවාදීන් සමඟ ගොඩනගා ගන්නා මිතුරුකම් වසර ගණනක් පුරා නොනැසී පවතිනවා. මගේ ගොඩක් හොඳ යහළුවන්ට හොඳ බාධා කිරීමක් කරමින් බිම හෙළන්නට මම තවමත් කැමතියි. විනිසුරුගේ නලාව නාද වීමෙන් පසුව ඔවුන් මගේ හොඳම යහළුවන්. හරිම ගැඹුරු ලෙස ඔබට ඔවුන් සමඟ එකතු වන්න පුළුවන්. අපි දන්නවා අපිට ක්‍රීඩා කරන්න තිබෙන කාලය හරිම කෙටියි. නමුත් මේ බැඳීම් ජීවිත කාලය පුරා පවතිනවා. තරගය නිමා වුනාට පස්සේ අපිට තිබෙන්නේ අප බෙදා හදා ගන්නා මතකයින් පමණයි.
මම මගේ ක්‍රීඩා දිවියේ අවසානයට ළඟා වෙද්දී මම හරිම හැඟිම්බර වුනා. රග්බි ක්‍රීඩාව මට ගොඩක් දේවල් ලබා දුන්නා. ගෙවුණු වසර කිහිපය හරිම අපූරු ගමනක්. ඔබ ඕල් බ්ලැක්ස් කණ්ඩායමේ සාමාජිකයෙක් කියන්නේ ඔබ කුඩා දරුවන්ට ඉතා වැදගත් චරිතයක්. ඔවුන් ඔබ දිහා බලා තමයි ඔවුන්ගේ ජීවිත ගොඩනගා ගන්නේ. මමත් එහෙමයි. ඔබට ලැජ්ජා වෙලා ඉන් ඈත් වෙන්නට බැහැ. ඔබ හැම තිස්සෙම ඒ දෙය මතක තියා ගන්න ඕන. ඔබට මතක අත්සන්/ මතක සටහන් ඉල්ලා  ඉල්ලීම් රාශියක් ලැබෙනවා. එය කවදාවත් කරදරයක් වන්නේ නැහැ. මට මතකයි මමත් පුංචි දරුවෙක් වෙලා මගේ ආසම ක්‍රීඩකයාගේ අත්සන ලබා ගන්නට ඉතා ආශාවෙන් හිටිය හැටි.

Video – සියවසේ පළමු ත්‍රිත්වය කොළඹ හතෙන්!

රාජකීයයන් ශූරතාවයට, පීතරයන් අනු ශූරතාවයට… #RugbyPitiya…

මගේ මීළඟ ඉලක්කය තමයි නවසීලන්තයේ මීළඟ පරම්පරාව ඔවුන්ගේ ආශාවන් කරා ඉලක්කගත වීම සාර්ථක කර දීම. මට ඕන ඔවුන් ආශා කරන දෙය මොන බලපෑම් ආවත් දිගටම කරගෙන යනවා බලන්න. මට ඕනේ හැමෝම මම රග්බි ක්‍රීඩාව හින්දා ලබා ගත්ත සතුට හා මට ලැබුණු අවස්ථා ලබා ගන්නවා බලන්න.
ලෝකේ සමහර තැන්වල රග්බි එතරම් ප්‍රධාන ක්‍රීඩාවක් නොවෙයි. නමුත් රග්බි ක්‍රීඩාව හැම සංස්කෘතියකටම ගැළපෙනවා. රග්බි ක්‍රීඩාවට පුළුවන් කුරිරු බව හා ගෞරවය, ක්‍රීඩාවේ ජීව ගුණය හා තරගකාරී බව හා එකට එකතු කරන්න. එය ඉතාම වැදගත්. මගේ එකම සහ උතුම්ම බලාපොරොත්තුව තමයි මේ ලස්සන ක්‍රීඩාව මිනිසත්කමේ උතුම්ම ගති ලක්ෂණ එලියට ගන්නා ක්‍රීඩාවක් විදියට මිනිසුන් හඳුනා ගනිවී කියලයි.

*www.theplayerstribune.com  වෙබ් අඩවියට සුපිරි නවසීලන්ත ක්‍රීඩක ඩෑන් කාටර් විසින්ම සැකසු The Gentleman’s Game ලිපියේ පරිවර්තනයකි.

ඡායාරූප – www.theplayerstribune.com /Getty

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<