“මම තව පොඩ්ඩක් උස ගියා නම්, තව පොඩ්ඩක් වේගවත් වුනා නම් මගේ ජීවිතේ සෑහෙන වෙනස් වෙන්න තිබුණා කියලා මට හිතෙනවා.
මට හැමදාම ඕන කළේ ඕස්ට්‍රේලියානු පාපන්දු කණ්ඩායමක ක්‍රීඩාවේ යෙදෙන්න. මම ඉඳලා හිටලා ක්‍රිකට් සෙල්ලම් කළේ අනිත් යාළුවෝ සෙල්ලම් කරපු නිසා විතරයි.
මුහුදු වෙරළක හැන්දෑවක් ගත කරන එක ක්‍රිකට් පිට්ටනියක හතර වටේට දුවනවට වඩා සෑහෙන විනෝදජනක දෙයක් කියලා මට හැමදාම හිතුණේ.
මට ඕන වුනේ ශාන්ත කිල්ඩාව නියෝජනය කරමින් ඕස්ට්‍රේලියානු පාපන්දු ලීගයට ක්‍රීඩා කරන්න.
මම ඕස්ට්‍රේලියානු පාපන්දුවට ආකර්ෂණය වුනේ කොහොමද කියලා මට හරියටම මතක නෑ. ඒ ක්‍රීඩාවේ තිබුණ ආක්‍රමණශීලී ගතිය එක්ක මම පෙමින් බැඳුණා වෙන්න පුළුවන්. ක්‍රිකට්වලට වඩා පාපන්දු ක්‍රීඩාව ශාරිරිකව අභියෝගාත්මක එකක්. ඒ වගේම වේගවත්. හොඳ පිළිගැනීමක් තියනවා. ‘හොලිවුඩ්’ කියන මගේ සුරතල් නම මට වැටුනෙත් පාපන්දු සෙල්ලම් කරන්න ගිහින්.
වැඩිහිටි කණ්ඩායම් එක්ක ක්‍රීඩා කරද්දි මගේ උස මදි බව මට තේරුණා. ඒ වගේම ක්‍රීඩාංගණය ආවරණය කරන්න තරම් මගේ වේගය මදි බවත් මට තේරුම් ගියා. නමුත් කෙටි දුරක් වේගයෙන් දුවන්න වගේම හොඳ පා පහරක් එල්ල කරන්නත් මට හැකියාව තිබුණා.
දවසක් ඒ හැමදේම වෙනස් වුනා.
දොරට යටින් දාපු ලියුමක්. ඒ තමයි ශාන්ත කිල්ඩාවෙන් මාව ප්‍රතික්ෂේප කළා කියලා ආපු ලියුම.
පාසල් කණ්ඩායමේ සහ කනිෂ්ඨ කණ්ඩායම්වල ක්‍රීඩා කරද්දී මගේ උස මහත, වේගය ඇති වුනාට වැඩිහිටි කණ්ඩායමට එද්දී තමයි මට හිතෙන්න ගත්තේ මේ වැඩේ ටිකක් අමාරුයි කියල. මාව එපා කියපු එක සාධාරණයි කියලා මට හිතෙන්න ගත්තා.
පැය ගණන් මහන්සි වෙලා කරපු පුහුණුවීම්වල ප්‍රතිඵලය මේකද මම කල්පනා කළා.
වයස අවුරුදු දහඅටක දහනමයක ජීවිතය පටන් ගන්න හදන පොඩි කොලුගැටයෙක්ට ඒ වගේ ප්‍රතික්ෂේප වීමක් ජීවිත කාලෙටම නරක විදියට බලපාන්න පුළුවන්.
ඒ ලියුම් කඩදහිය ඇත්තටම මගේ ජීවිතය නැවත අවදි කිරීමක් වුනා කිව්වොත් වැරදි නැහැ.
එවන් තරුණ වයසක දී ඔබ යමකට සුදුසු නැහැ කියා දැනගන්න ලැබීම තරුණයෙක්ට දෙවිදියකට බලපාන්න පුළුවන්. ඔබට සමස්ත සමාජ ක්‍රමයට දොස් දෙවොල් තබමින් වෛරයෙන් වැරදි මාර්ගවලට යොමු වෙන්න පුළුවන්. අනෙක් අතට මා කළා මෙන් දිරිමත්ව සටන් කරමින් ජීවිතයට මුහුණ දෙන්න පුළුවන්.
ශාන්ත කිල්ඩා ක්‍රීඩා සමාජයෙන් ප්‍රතික්ෂේප වීම ඇත්තටම මට දරුණු ආකාරයකින් දැනුණා. එය මගේ සම්පූර්ණ ජීවිතයම වෙනස් කළා. මගේ ජීවිත කාලය පුරා සිහින මවපු දේ මට නැති වුනා.
රස්සාවක් හොයාගන්න ඕන කියලා මට හිතුණා. සිකුරාදා දවස්වලට පීසා බෙදාහැරීමේ ඉඳලා රැකියාවන් කිහිපයක් කළා. නමුත් මට ඒ කිසිම රැකියාවක මගේ ජීවන රටාව සමඟ ගැළපීමක් පෙන්නුම් කළේ නැහැ. අවසානයේ මට උරුම දේ මට මුණගැහුණා.
ඒ තමයි ක්‍රිකට්.
කිල්ඩාවෙන් ප්‍රතික්ෂේප වෙලා හිත් තැවුලෙන් හිටපු කාලේ රික් ගෆ් කියලා මගේ මිත්‍රයෙක් මට කිව්වා ඔහුත් එක්ක එංගලන්තයට ගිහින් ක්‍රිකට් ගහමු කියලා. මට හිතුණා ඒක හොඳම යෝජනාවක් කියලා.
1988 අවුරුද්දේ මම එංගලන්තයේ සහ යුරෝපයේ සංචාරය කළා. ඒක හරි විනෝදජනක මතකයක් වුනා.
ක්‍රිකට් ක්‍රීඩා කරද්දී පුළුවන් තරම් කැපවීමෙන් ක්‍රීඩා කරන්න මම හිතාගත්තා. ශාන්ත කිල්ඩා දෙවැනි පෙළ කණ්ඩායමට ක්‍රීඩා කරද්දිත් මම සෑහෙන උනන්දුවෙන් ක්‍රීඩා කළා.”
අපි කියන්න යන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවේ පමණක් නෙවෙයි, ලෝක ක්‍රීඩා ඉතිහාසයේම සුවිශේෂී සලකුණක් වෙමින් ක්‍රීඩා දිවිය නිමා කළ අති විශිෂ්ටයෙක් ගැන. හැබැයි ඔහුගේ ආරම්භය අපි හිතන තරම් සුමට නැහැ. හැබැයි ඉන් ඔහු ආපස්සට ගියේ නැහැ. මේ තරුණයාගේ නම ෂේන් වෝන්.
- අකලට මියැදි ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ තුන් ඉරියව් සිහිනය! – දෙවැනි කොටස
- අකලට මියැදි ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ තුන් ඉරියව් සිහිනය! – පළමු කොටස
- සුද්දන් දණගැස්වූ ඕවල් වික්‍රමය!
- තරගය දිනා දඩ කෑ ශ්‍රී ලාංකිකයෝ!
- අර්ජුනට වගක් නොවූ ශතකය!
“මම කවදාවත් ඉගෙනීමට දක්ෂ දරුවෙක් වුනේ නැහැ. පාඩම් වැඩවලින් මම හැමදාම සෑහෙන පිටිපස්සෙන් හිටපු කෙනෙක්. නමුත් කොහොම හරි ගුරුවරුන්ගෙන් බේරෙන්න මට පුළුවන් වුනා. හැබැයි මම ක්‍රිකට් සහ පාපන්දු ක්‍රීඩා කරපු නිසා සෑහෙන මිතුරන් පිරිසක් මා වටා හිටියා.
පාසල් වැඩ හරියට කළා නම් හොඳයි කියලා මට හිතුණ වාර අනන්තයි. හැබැයි ක්‍රීඩාව නිසා ඒ දේවල්වලට වැඩි වෙලාවක් කැප කරන්න මට පුළුවන්කමක් තිබුණේ නැහැ.
අපේ පරම්පරාව වැඩුණේ ඩෙනිස් ලිලී ජෙෆ් තොම්සන් දෙන්නා දිහා බලාගෙන. හැමෝටම ඕන වුනේ හයියෙන් බෝල දාන්න. මට කියලත් වෙනසක් නැහැ.
සමහර වෙලාවට ක්‍රිකට් පුහුණුවීම් ඉවරවෙලා වැඩිහිටි ක්‍රීඩකයෝ සෙල්ලම් කරනවා බලන්න මම ක්‍රීඩාංගණයේම නතර වෙනවා. ඒ සමහර ක්‍රීඩකයෝ දඟපන්දු යවන විදිය මම වුවමනාවෙන් බලාගෙන හිටියා.ඉරියව්වේ වෙනසක් නැතුව පන්දුව දෙපැත්තටම දඟ කවන විදිය මට මහත් ආශ්වාදයක් වුනා.
මම දඟපන්දු යැවීමට මාරු වුනේ කවදාද කියලා එහෙම හරියටම මතකයක් නැහැ. ඒත් මට හිතුණා පා දඟපන්දු යැවීම කියන්නේ ස්වභාවයෙන්ම එන්න ඕන දෙයක් කියලා.
මම ක්‍රිකට් ගැන සම්පූර්ණ අවධානය යොමු කරන්න ගත්තේ කාලයක් ගිහින්. වයස මදක් පසුවී පැමිණි නමුත් මම සෑහෙන මහන්සි වුනා. මට උවමනා වුනේ මගේ හොඳම පිටපත වෙන්න. මම හිතනවා පහුකාලෙක මට එහෙම වෙන්න ලැබුණා කියල.
ඇත්තටම මට උපතින්ම දායාදයක් ලැබී තිබුණා. මට ඉතාම හොඳින් පන්දුව දඟ කවන්න පුළුවන්කම තිබුණා. ඒ වගේම මට විශාල දෑතක් මෙන්ම ශක්තිමත් මැණික් කටුවක් පිහිටා තිබෙනවා. ඒ මගේ දෙමාපියන්ගේ ජානවලින් ලැබුණ දේවල්. ස්වභාවයෙන්ම ලැබිලා තියන දේවල් වලට අමතරව කැපවීම එක්ක මට සෑහෙන දුර ගමනක් එන්න පුළුවන් වුනා.”
සියලුම දේවල්වලින් ප්‍රතික්ෂේප වෙලා, සියලුම දොරවල් වැහිලා ජීවිතය කඩා වැටිලා තියන මොහොතක අලුත් මාර්ගයක් හොයාගෙන ගිහින් ජීවිතය ජය ගත්ත කෙනෙක් විදියට ෂේන් වෝන් කියන ඕස්ට්‍රේලියානුවා අපිට හඳුන්වන්න පුළුවන්.
අද වෙද්දී වෝන් අපි අතර නැහැ. මේ ලිපිය ලියවෙන්නේ ඔහුගේ ජීවිත කතාව ඇතුලත් කරලා ලියවුණ පොතකින්. හැබැයි වෝන්ගේ ජීවිත කතාවෙන් ඕනම කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන් පාඩම් ගොඩයි.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<