රසවිඳීම, ලොව ඕනෑම කෙනෙකුගේ අයිතියකි. එයට ස්ත්‍රී පුරුෂභාවයක් නැත. ස්ත්‍රීන් සහ පුරුෂයන් අතර වෙනස්කම් ඇති බව සැබෑවක් වුවත් ආහාර පාන, කලාව හෝ සෞන්දර්යය රසවිඳීමට සීමා පැනවිය නොහැකිය. ක්‍රීඩාවටත් එසේ නොවිය යුතු ද?
ඉරානය තුළ පුරුෂයන් ක්‍රීඩා කරන තරග බිම්වලට පැමිණීම ඉරාන කාන්තාවන්ට තහනම් වී මේ වන විට වසර 39ක් පමණ ගතව ඇත. 1978 වසරේ දී බරපතලව ඉස්මතු වූ ‘ඉස්ලාමික විප්ලවය‘ තුළින් වෙනස් වූ රටක් වන ඉරානය, එතැන් සිට තමන්ගේම රටවැසියන් වූ ස්ත්‍රී පක්ෂයට යම් යම් වාරණයන් පනවන්නට විය. පුරුෂයන් ක්‍රීඩා කරන තරග පිටිවලට පැමිණීම තහනම් කිරීම ද ඉන් එකකි. මෙම වාරණය නිල වශයෙන් පැමිණි එකක් නොවුනත් ඉරාන රටවැසියන් දිගින් දිගටම මොළ ශෝධනයට ලක්වීමත් සමඟ එරට කාන්තාවන් පුරුෂයන්ගේ තරග නැරඹීම සම්පූර්ණයෙන්ම අත්හැර දැමීය. 1981 සිට ප්‍රමුඛ ක්‍රීඩා සමාජ සහභාගී වන පාපන්දු තරග නැරඹීම ද ඔවුනට තහනම් විය.
ඉරිසියාවට වඩා විශාල රුසියාව
‘ඔවුන් සිරියාවන්ත නැත. මූණිච්චාවට සිනාසෙන්නේ …..
ඉස්ලාම් යන වචනයෙහි අර්ථයම නම් “සාමය”යි. සිදුව ඇත්තේ එය පාලකයන් විසින් තමතමන්ගේ දුෂ්ට වුවමනාවන් මත හසුරුවන්නට යාම නිසා එහි අර්ථය විකෘති වීමයි. ඇතැම් බෞද්ධයන් ද, හින්දු බැතිමතුන් ද, ක්‍රිස්තියානි බැතිමතුන් ද ඒ විකෘති ගැටයට හසුවී සිටින අයුරු ඔබ විවෘත දෑසින් දකින්න. ඉරානයේ කාන්තාවන්ට සිදුව ඇත්තේ ද ඒ පාලකයන්ගේ ආගමික ගැටයට හසුවූවන්ගේ වින්දිතයන් වන්නටය. වාසනාවකට අප රටේ කාන්තාවන්ට එතරම් තහංචි නැත.
2014 වසරේ දී බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලද ඉරාන කාන්තා ක්‍රියාකාරිනියක වන ගොන්චේ ඝවාමි ඉරානයේ පැවති පිරිමි පාපන්දු තරගයක් නැරඹීමට තැත්කිරීම නිසා ඉරානය තුළ රඳවා ගනු ලැබීය. ඒ වසරේ දී ම තවත් කාන්තාවන් 35 දෙනෙකුට රඳවා ගැනීමේ නියෝග ලැබුණේ එවැනිම පාපන්දු තරගයක් නැරඹීමට තැත්කිරීම නිසයි.
වසර 39ක “දීර්ඝ රසවින්දන වාරණයකින්” පසුව 2018 වසරේ පෙබරවාරියේ දී පැසිපන්දු තරගාවලියක් ඉරානයේ ටෙහ්රාන් නුවර දී පැවැත්විය. ඒ පැසිපන්දු ලෝක කුසලානයට සහභාගී වන ආසියානු රටවල් තෝරාගැනීමේ තරගයි. එහි දී ඉරාකයත්, ඉරානයත් තරග වැදුණු අතර ඉරානය ලකුණු 83ට 53ක් වශයෙන් ජය ගත්ත ද ඔවුන් ලද සැබෑ ජයග්‍රහණය එය නොවේ. එදින ඉරාන කතුන් කිහිප දෙනෙකුට තරගය නැරඹීමේ අවස්ථාව ලැබුණි. කාන්තාවන් සහ පුරුෂයන් වෙන් වෙන්ව තරගය නැරඹිය යුතු විය. එහි දී ඔවුන් ජයග්‍රාහීව සහ බලාපොරොත්තු සහගත දෑසින් ලොව හමුවේ නිහඬ ඉල්ලීමක් කරනු දැකීම, හද තෙත් කරවන දසුනක් විය. ක්‍රීඩාව රසවිඳීමේ සතුට ද පාලකයන්ගෙන් ඉල්ලා සිටින තත්වයට ඔබේ මව, සහෝදරිය හෝ දියණිය පත්වන්නේ නම්?
මේ අතරින් ලොව ජනප්‍රියම ක්‍රීඩාව වන පාපන්දු ක්‍රීඩා තරග නැරඹීමට ඉරාන කතුන්ට අවස්ථාව නොලැබීම ගැන ලෝක පාපන්දු සම්මේලනයේ මානව හිමිකම් පිළිබඳ උපදේශක කමිටුව විසින් ලෝක පාපන්දු සම්මේලනයේ අවධානය යොමුකොට ඇත.
පුරුෂයන් මෙන්ම ස්ත්‍රීන් ද ක්‍රීඩාව විඳිය හැක්කන් ය. ඔවුන්ගේ රසවින්දනය වාරණයකින් හරස් කිරීම මානවවාදීන් විසින් අනුමත කරන්නක් නොවේ. ලොව ඕනෑම කෙනෙකුට රසවින්දනයේ සම ඉඩකඩ හිමි විය යුතු බැව් පැහැදිලි ය. ඊට ස්ත්‍රීපුරුෂභාවය අදාළ වන්නේ කුමන පදනමක් මත දැයි නූතන ලොව ප්‍රශ්න කරමින් සිටියි. ඊට හොඳම උදාහරණය මීළඟ ඡායාරුවයි.
2018 මැයි මස දී පිරිමින් ලෙස වෙස්වලාගත් ඉරාන කාන්තාවන් කිහිප දෙනෙකු පාපන්දු තරගයක් නරඹන්නට ගියේය. ඒ අතරතුර දී ලබාගත් මෙම ඡායාරුව සමාජ ජාලා ඔස්සේ ඉක්මණින් ව්‍යාප්ත විය. ඉන් කියැවුණේ ‘සම අයිතිවාසිකම්‘ යන මානව ධර්මය ඉරානය විසින් පිළිගත යුතු බවට ලොව පුරා අප පමණක් නොව, ඉරානය තුළ වෙසෙන නූතන කාන්තාවන් ද බලකරමින් සිටින බවයි.
“මේ මම මේ වගේ දෙයක් කරපු තුන්වෙනි අවස්ථාව. මම ගූගල් ගිහින් බලනවා මට ක්‍රීඩාංගණවලට යන්න පුළුවන් අලුත් විදි ගැන.” ඉන් එක් කාන්තාවක් ඉරාන පුවත්පතකට සඳහන් කොට තිබුණි. මෙය මානවවාදීව කියවිය යුත්තකි. මේ පෙනෙන්නේ ක්‍රීඩාව හා සම්බන්ධ වීමට කාන්තාවට පවා ඇති ආශාව සහ අයිතියයි. එහෙත් එම අයිතිය ඔවුන්ගෙන් උදුරාගත් පසුව පවා ඔවුන් ක්‍රීඩාව හා කෙතරම් බැඳී ඇත්ද?
එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරන ස්වාධීන උපදේශකවරුන් අටදෙනෙකුගෙන් සමන්විත කමිටුව මඟින් තවදුරටත් සඳහන් කරන පරිදි පසුගිය පාපන්දු ලෝක කුසලානයේ දී ඉරානය සහභාගී වූ තරග දෙකක් නැරඹීමට ද ඉරාන කාන්තාවන් කිහිප දෙනෙකු වාසනාව ලබා ඇත. එය ධනාත්මක පියවරක් සේ සලකන ඔවුන් පවසන්නේ මෙසේ වරින් වර කාන්තාවන් නිදහස් කරනවාට වඩා, සම්පූර්ණයෙන්ම වාරණය ඉවත් කොට ඔවුන්ට තරග නැරඹීමේ අවස්ථාව ලබා දිය යුතු බවයි.
කෙසේ වෙතත් මේ මාසය තුළ දී ඉරානයේ පර්සේපොලිස් සහ ජපානයේ කෂිමා ඈන්ට්ලර්ස් අතර පැවති ආසියානු ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගය නැරඹීමට ද ඉරාන කාන්තාවන් පිරිසකට අවස්ථාව ලැබී ඇති බව ඔවුන් පවසයි. ඉරාන බලධාරීන් කුමන කාල පරාසයක් මත අදාළ වාරණය ඉවත් කර ගත යුතු දැයි ලෝක පාපන්දු සම්මේලනය නිශ්චිතව පැවසිය යුතුව ඇතැයි ද මානව හිමිකම් උපදේශක කමිටුව පවසා ඇත. එමෙන්ම එසේ නොකරන්නේ නම් ඉරානය වෙත ලබා දිය හැකි දඬුවම් සහ අනෙකුත් කාරණා ගැන ඉරානය දැනුවත් කළ යුතු බව ද ඔවුන් පවසයි.
මානවවාදය අගය කරන අප නැවතත් පැවසිය යුත්තේ එක් කරුණකි. මහජනයාගේ රසවින්දනයට බාධා කිරීම තරම් පාලකයන්ට කළ හැකි තවත් වරදක් නැත. එසේ කරන්නට ගොස් කඩාවැටුණු රාජ්‍ය පාලනයන් ගැන ඕනෑ තරම් උදාහරණ ඉතිහාසය සතුව ඇත. මෙය කියවන ශ්‍රී ලාංකික අප සැම සතුටු විය යුතු කාරණය නම්, අප රට කෙතරම් අසංවිධානාත්මක වුවද, රසවින්දනයට ස්ත්‍රී-පුරුෂ භේදය බාධාවක් වන බව සිතන්නට තරම් පහත් මට්ටමට අප රටේ බහුතරයක් තවමත් පත්වී නොසිටීමයි.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<