Flying Fish (ඉගිළෙන මාළුවා)
The Baltimore Bullet (බැල්ටිමෝර් වෙඩි උණ්ඩය)
මින් එක් නමක් හෝ ඔබට හුරුපුරුදු ද?
එසේ නම් ඔබ පිහිනුම් ක්‍රීඩාව සම්බන්ධයෙන් පුළුල් දැනුමක් ඇති අයෙකු විය යුතුය. ඉහත නම් අසා නොමැති වුවද මා මීළඟට සඳහන් කරන නම නම් ඔබට හොඳින් අසා හුරු පුරුදු නමක් බවට සැකයක් නැත.
මයිකල් ෆෙල්ප්ස්..
එදා මෙදා තුර ඔලිම්පික් ක්‍රීඩා ඉසව්වල ක්‍රීඩකයෙක් විසින් දිනූ වැඩිම පදක්කම් ප්‍රමාණය වන, පදක්කම් 28ක වාර්තාව උසුලන, මා මුලින් සඳහන් කළ Flying Fish (ඉගිළෙන මාළුවා) හා The Baltimore Bullet (බැල්ටිමෝර් වෙඩි උණ්ඩය) යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වන ලෝක ශූර පිහිනුම් ක්‍රීඩකයා මයිකල් ෆෙල්ප්ස් ය.
මයිකල් ෆෙල්ප්ස් කවරෙක්ද?
1985 ජුනි 30 වෙනි දින උපත ලද මයිකල් ෆ්‍රෙඩ් ෆෙල්ප්ස් අවුරුදු 15 දී ඇමරිකානු ජාතික පිරිමි පිහිනුම් කණ්ඩායමෙහි සාමාජිකයෙක් ලෙස තම ප්‍රථම ඔලිම්පික් තරගයට සහභාගී වන අතර, ඔලිම්පික් කණ්ඩායම් පහක ම සාමාජිකත්වය ලද ප්‍රථම ඇමරිකානු ජාතික පිරිමියා සහ වයස අවුරුදු 28 දී ඔලිම්පික් ඒකල පිහිනුම් ඉසව්වේ පදක්කමක් ලබාගත් වයස්ගතම පුද්ගලයා ලෙස ද ඉතිහාස ගත වේ.
මයිකල් ෆෙල්ප්ස්ගේ පදක්කම් සහ වාර්තා
ඔහු ඇතන්ස්, බීජිං, ලන්ඩන් සහ රියෝ හිදි පැවැත්වුන ඔලිම්පික් ක්‍රීඩා ඉසව්වල දී පදක්කම් 28ක් ජයග්‍රහණය කරමින්, ඔලිම්පික් ඉසව්වල දී එක් ක්‍රීඩකයෙක් විසින් ජයග්‍රහණය කරන ලද වැඩිම පදක්කම් ගණනට හිමි වාර්තාව උසුලයි. මින් 23ක් රන් පදක්කම් වන අතර, රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 2ක් ද වේ. 2016 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ඔහු රන් පදක්කම් 5ක් සහ එක රිදී පදක්කමක් ජයග්‍රහණය කරමින් ලොව වයස්ගතම පදක්කම්ලාභී පිහිනුම් ක්‍රීඩකයාට හිමි වාර්තාව ද, වසර හතරක් පිට පිටම එකම තරග ඉසව්ව සඳහා රන් පදක්කම ලබා ගත් එකම ක්‍රීඩකයාට හිමි වාර්තාව ද තමා සතු කරගන්නේ 21 වැනි සියවසේ මිහිමත පහළ වූ විශිෂ්ටතම ක්‍රීඩකයා (GOAT – Greatest of All Time) යන විරුදාවලිය ද තමා සතු කර ගනිමිනි. ඔහු මෙලෙස පිට පිටම රන් පදක්කම හතර වතාවක් ලබාගත්තේ මීටර් 200 – ඒකල මිශ්‍ර ආර ඉසව්ව සඳහාය. ලෝක වාර්තාවක් තැබීම ඉතා අපහසු කටයුත්තක් වුවත්, පිහිනුම් ක්‍රීඩාවේ නියැලෙමින් එම කටයුත්ත 39 වතාවක් සිදු කිරීම මයිකල් ෆෙල්ප්ස්ගේ විශිෂ්ටත්වය මොනවට කියා පෑමකි.
මයිකල් ෆෙල්ප්ස් ගේ වාර්තාගත වේගය
2009 දී ෆෙල්ප්ස් විසින් මීටර් 100 සමනළ ආර ලෝක ශූරතාවය සඳහා Milorad Čavić විසින් පෙර පිහිටුවා තිබූ වාර්තාව බිඳ හෙලන විට, ඔහුගේ වේගය විශ්මයජනක ලෙස පැයට සැතපුම් 5.5ක්ව තිබුණි. ESPN චැනලය වාර්තා කරන අන්දමට ඔහුගේ වැඩිම වේගය වනුයේ පැයට සැතපුම් 6ක් ය.
ෆෙල්ප්ස් සහ මෝරා
2017 ජූලි මාසයේ දී ඩිස්කවරි චැනලය විසින් නිෂ්පාදිත වැඩසටහනක් වෙනුවෙන් ෆෙල්ප්ස්, මොරුන් වර්ග කීපයක් සමඟම තරග කරන ලදි. ඩිස්කවරි කණ්ඩායම විසින් සම්පාදිත විශේෂ උපකරණයක් මඟින් ප්‍රථමයෙන් ඇමක් යොදා මෝරෙක්ගේ වේගය මනින ලද අතර ෆෙල්ප්ස් විසින් කෘතීම වරල්පතක් උපයෝගී කරගනිමින් ඉදිරියට තල්ලු වීමට ආධාරය ලබා ගන්නා ලදි. ඔවුන්, එකම තටාකයක එක්ව පිහිනුවේ නැති වුව ද, එකම සාධක යටතේ පිහිනන ලදී. පරිඝණක තාක්ෂණය ආධාරයෙන් ෆෙල්ප්ස් අසලින් පිහිනන මෝරා රූප රාමුවට ඇතුලත් කරන ලද අතර, ඔවුනොවුන්ගේ පිහිනුම් වේග පසුව සංසන්දනය කරන ලදි.
“ඇත්තෙන්ම මෝරෙක් දුටුවාට පසු, එවැනි සතෙක් පරාජය කිරිමට මට හැකි වෙතැයි මා කිසිවිටෙකත් සිතුවේ නෑ”,
යනුවෙන් ෆෙල්ප්ස් පසුව ප්‍රකාශය කරන ලදී.
මිටිහිසැති මෝරා පැයට සැතපුම් 15ක වේගයෙන් ද, විශාල සුදු මෝරා පැයට සැතපුම් 26ක වේගයෙන් ද පීනන ලදි. මෙහි දී ෆෙල්ප්ස් හට කොරල් පර මෝරා පමණක් පරාජය කිරීමට හැකි විය. ඒ සැතපුම් 6ක වේගයකින් පිහිනා තත්පර දශම 2 ක් ඉක්මන් වෙමිනි.
බිරිඳ නිකෝල් ජොන්සන්
2016 ජූනි 13 මයිකල් ෆෙල්ප්ස්, නිකෝල් ජොන්සන් හා විවාහ වෙන ලදී. 2011 සිට වරින් වර හාද වෙමින්, අමනාප වෙමින් ඇය හා පෙමින් වෙලි සිටි ෆෙල්ප්ස්, නිකෝල් හට විවාහ යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ 2015 දී ය. ඇරිසෝනා හි, පැරඩයිස් නිම්න භූමියේ පැවැත්වූ පෞද්ගලික සාදයක දී ඔවුන් විවාහ වුවද, එය TMZ සඟරාව මඟින් ලොවට හෙලි කරන තුරු රහසක්ව තබන ලදි.
පුතු බූමර් ෆෙල්ප්ස්
2016, මැයි මස 5 වෙනි දින, ෆෙල්ප්ස් යුවලට තම ප්‍රථම දරුවා ලැබුණු අතර, ඔහුව බූමර් රොබට් ෆෙල්ප්ස් යනුවෙන් නම් තබන ලදී. 2017 අගෝස්තුවේ දී ෆෙල්ප්ස් යුවල තමන් නැවත දරු සුරතල් බැලීමට අපේක්ෂිත බව ප්‍රකාශ කරන ලදි.
මයිකල් ෆෙල්ප්ස්ගේ දල වටිනාකම
2018 ජනවාරි මස වන විට මයිකල් ෆෙල්ප්ස්ගේ දල වටිනාකම ඇ.ඩො. මිලියන 55ත් 60ත් පැවතුන අතර, ” Under Armour”, “Omega”, “Master Spas” සහ “Visa” ආදී ආයතන සමඟ ඇති කර ගත් වාසිදායක ගිවිසුම් මෙයට දායක විය.
මයිකල් ෆෙල්ප්ස්ගේ ආහාර රටාව සහ දෛනිකව ලබා ගන්නා කැලරි ප්‍රමාණය
2008 බීජිං ඔලිම්පික් උළෙල අතරතුර NBC චැනලට දුන් සම්මුඛ සාකච්ඡාවක දී තමන් කැලරි 12,000ක් දිනකට ලබා ගන්න බව පැවසීය. ඔහුගේ පැය 5 බැගින්, සතියකට දින 6ක් කරන ක්‍රීඩා පුහුණුවීම් වලට එය අත්‍යාවශ්‍ය බව ද පැවසීය. NBC වාර්තා කරන අන්දම මෙම ආහාර රටාවට පැස්ටා රාත්තල් දෙකක්, සම්පුර්ණ පීසා එකක් වැනි බරසාර ආහාර ෆෙල්ප්ස් ඇතුලත් කරගනි.
“කනවා, නිදාගන්නවා, පීනනවා. එච්චරයි මට කරන්න පුළුවන්. කැලරි ටිකක් ඇඟට දාගෙන, පුළුවන් පමණ ශක්තිය ලබා ගන්නවා” මේ සාකච්ඡාව අතරතුර ෆෙල්ප්ස් පැවසීය.
කෙසේ හෝ 2017 ජූනි වෙනකොට ඔහු ඔහුගේ ආහාර පුරුදු පාලනය කරගත් අතරම, “ඔබ කියවන හැමදේම විස්වාස කරන්න එපා. ඒ කතාව හරි හාස්‍යජනකයි. මං බොහෝ දුරට කැලරි 8,000 ත් 10,000ත් අතර ප්‍රමාණයක් ඒ කාලේ දී ගන්න ඇති. ඒ මං ඉහළම තලයේ හිටි කාලය, මං වර්ධනය විය යුතුව තිබුණා. ඒ මගේ රැකියාව.” යැයි නිව්යෝක් හිදි පැවති උත්සවයකදි ඔහු පැවසීය.
මයිකල් ෆෙල්ප්ස්ගේ උස
මයිකල් ෆෙල්ප්ස් අඩි 6ක් සහ අඟල් 4ට මඳක් උසින් අඩු වන අතර, අත් දිග හැරිය විට පයෙහි ඇඟිලි තුඩු වල සිට අතැඟිලි තුඩු දක්වා අඩි 6ක් සහ අඟල් 7ක් පමණ ඇත.
සිඩ්නි ඔලිම්පික් (2000)
අවුරුදු 15 දී සිඩ්නි ඔලිම්පික් හී තරග වැදුණු ෆෙල්ප්ස්, අවුරුදු 68කට පසු ඔලිම්පික් තරග බිමට ගිය ළාබාලම ඇමරිකානු පිරිමි පිහිනුම්කරුවා විය. මෙහෙදි කිසිදු පදක්කමක් දිනා ගැනීමට නොහැකි වුවද, ඉතා ඉක්මනින්ම ඔහු අති දක්ෂ තරගකරුවෙක් වීමට නියමිතව තිබුණි.
ප්‍රථම ලෝක වාර්තාව
2001 වසන්ත සමයේ දී ඔහු ඔහුගේ ප්‍රථම ලෝක වාර්තාව පිහිටුවීය. මීටර් 200 සමනළ ආර ඉසව්වේ පිහිටවූ මෙම වාර්තාව පිහිටවූ, ලෝකයේ ළාබලම පිරිමි පිහිනුම් ක්‍රීඩකයා ද ෆෙල්ප්ස් විය. එවකට ඔහුගේ වයස අවුරුදු 15යි මාස 9කි.
ෆෙල්ප්ස් තමන්ගේ ප්‍රථම ජාත්‍යන්තර පදක්කම දිනා ගනිමින්, තමන් පිහිටවූ ලෝක වාර්තාව 2001 ජපානයේ දී පැවැත්වුන ලෝක ශූරතා තරගාවලියේ දී බිඳ දැමූ අතර එහි දී ඔහුගේ කාලය වූයේ පැය 1 විනාඩි 54 තත්පර 58කි.
2004 ඇතෑන්ස් ඔලිම්පික් උළෙල
ග්‍රීසියේ ඇතෑන්ස් නුවර පැවැත්වුනු ඔලිම්පික් උළෙලේ දි ෆෙල්ප්ස් කැපී පෙනෙන දස්කම් දැක්වූ අතර එහි දී ඔහු තනි ඔලිම්පික් උළෙලක දි වැඩිම පදක්කම් ප්‍රමාණයක් දිනාගත් පුද්ගලයා යන වාර්තාවට සෝවියට් ජිම්නාස්ටික් ක්‍රීඩක ඇලෙක්සන්ඩාර් ඩයටියාටින් (1980) සමඟ සම හිමිකම් කීය.
එහි දී ෆෙල්ප්ස් ඔහුගේම මීටර් 400 ඒකල මිශ්‍ර ආර වාර්තාව තත්පර 15 පෙර නිමා කරමින් බිඳ හෙලීය. ඒ අගෝස්තු 14 වන දින ඔහු ලද ප්‍රථම රන් පදක්කමයි. එලෙසම ඔහු මීටර් 100 සමනළ ආර, මීටර් 200 සමනළ ආර, මීටර් 200 ඒකල මිශ්‍ර ආර, 4×200 මීටර් නිදහස් ආර සහ 4 x 100 මීටර් මිශ්‍ර ආර ඉසව් සඳහා රන් පදක්කම් දිනා ගත් අතර මීටර් 200 නිදහස් ආර සහ 4×100 මීටර් නිදහස් ආර තරග සඳහා ලෝකඩ පදක්කම් දිනාගත්තේය.
2008 බීජිං ඔලිම්පික් උළෙල
2008 බීජිං ඔලිම්පික් උලෙළේ දී ෆෙල්ප්ස් ඔහුගේ 14 වෙනි වෘත්තීයමය රන් පදක්කම දිනා ගත්තේය. මෙහි දී 1972 මාර්ක් ස්පිට්ස් විසින් රන් පදක්කම් 7ක් දිනා තැබූ එක තරගයක් තුල පුද්ගලයෙක් දිනූ වැඩිම ඔලිම්පික් රන් පදක්කම් වාර්තාව රන් පදක්කම් 8ක් දිනමින් ෆෙල්ප්ස් බිඳ දැමීය. ඒ 4×100 මීටර් මිශ්‍ර ආර, 4×100 මීටර් නිදහස් ආර, මීටර් 200 නිදහස් ආර, මීටර් 200 සමනළ ආර, 4×200 මීටර් නිදහස් ආර, මීටර් 200 ඒකල මිශ්‍ර ආර, මීටර් 100 සමනළ ආර ඉසව් සඳහාය. මීටර් 100 සමනළ ආර ඉසව්ව හැර අන් සියලු ඉසව් හි ලෝක වාර්තා තැබූ ෆෙල්ප්ස්, මීටර් 100 සමනළ ආර ඉසව්වෙහි ඔලිම්පික් වාර්තාව තැබීය.
2012 ලන්ඩන් ඔලිම්පික් උළෙල
2012 ලන්ඩන් හි පැවති ඔලිම්පික් උළෙලේ දී ෆෙල්ප්ස්ගේ සම්පූර්ණ පදක්කම් එකතුව 22 දක්වා ඉහළ ගිය අතර එහි දී ජිම්නාස්ටික් ශූරි ලැරිසා ලැටිනිනා තබා තිබූ පදක්කම් 18ක වාර්තාව බිඳ දැමීය. ඔහු 4×200 මීටර් නිදහස් ආර, මීටර් 200 ඒකල මිශ්‍ර ආර, මීටර් 100 සමනළ ආර, 4×100 මිශ්‍ර ආර ඉසව් සඳහා රන් පදක්කම් ද, 4 x 100 මීටර් නිදහස් ආර, මීටර් 200 සමනළ ආර ඉසව් සඳහා රිදී පදක්කම් ද දිනා ගත්තේය.
2012 තාවකාලිකව ක්‍රීඩා දිවියෙන් සමුගැනීම
2012 ඔලිම්පික් තරගාවලියෙන් පසු ෆෙල්ප්ස් තම ක්‍රීඩා දිවියෙන් සමුගන්නා වග පවසන ලදි. නමුත් 2013 ජූලි නැවත තරග බිමට අවතීර්ණ විය හැකි බවට සහ 2016 දී ඔලිම්පික් තරගවලට සහභාගී විය හැකි බවට ඉඟි දුන් ෆෙල්ප්ස් 2014 දී ක්‍රීඩා දිවියෙන් විශ්‍රාම ගන්නා බවට පැතිර ගොස් තිබූ සියලු කටකතා පුස්සක් බවට පත් කරමින් ඇරිසෝනා හි මීසා තරගාවලියට සහභාගී විය.
ක්‍රීඩා ලොවම ෆෙල්ප්ස් 2016 රියෝ හි පැවතෙන්නට නියමිත ඔලිම්පික් උළෙලේ දී තරඟ වදිනවා ද නැද්ද යන්න ගැන විමසිල්ලෙන් පසුවූ අතර, ෆෙල්ප්ස්ගේ දීර්ඝකාලීන පුහුණුකරු වූ බොබ් බෝමන් වොශින්ටන් පෝස්ට් පුවත්පතට මෙසේ පවසන ලදි. “මං තාම දන්නේ නෑ. ඇත්තටම අපි එන විදිහකට මුහුණ දෙනවා මිසක්, ඉස්සර වගේ දීර්ඝකාලීන සැලැසුම් හදලා නෑ. අපි දෙන්නටම දැන් ඕන ක්‍රීඩාව විඳින්නයි, වෙන්නේ මොනවද බලන්නයි”.
ෆෙල්ප්ස් මීසා තරගයට සහභාගී වුන ද, ඔහුගේ සුපුරුදු දක්ෂකම් දැක්වූයේ, ඕස්ට්‍රේලියාවේ පැවැත්වු පෑන් පැසිෆික් ශූරතාවලියේ දී ය. එහි දී ඔහු රන් පදක්කම් 3ක් සහ රිදී පදක්කම් 2ක් දිනා ගත්තේය.
2016 ඔලිම්පික් රියෝ හි
2016 ජුනි 29 දින මයිකල් ෆෙල්ප්ස් අතිශයින්ම උත්කර්ෂවත් ලෙස නැවතත් සිය ඔලිම්පික් ආගමනය සටහන් කරන ලදි. එහි දී ඔහු ඔලිම්පික් ක්‍රීඩා ඉසව් සඳහා ගිය කණ්ඩායම් පහක් නියෝජනය කළ ප්‍රථම ඇමරිකානු පිරිමි පිහිනුම් ක්‍රීඩකයා බවට පත් වන්නට සමත් විය. ඔහුගේ පෙම්වතිය නිකොල්, බූමර් පුතු සහ ඔහුගේ මව ඩෙබී මෙම තරගාවලිය නැරඹීමට පැමිණියේය.
2016 අගෝස්තු 7 වෙනි දින මීටර් 400 නිදහස් ආර රිලේ තරගයේ දෙවන බාගයේ දී ඔහු ඔහුගේ 19 වන ඔලිම්පික් රන් පදක්කම දිනාගත් අතර මීටර් 200 සමනළ ආර සහ රයන් ලොක්ටේ, කෝනර් ඩ’වයර් සහ ටවුන්ලි හැස් සමඟ 4×200 නිදහස් ආර තරග සඳහා ද රන් පදක්කම් දිනා ගත්තේය.
“සහතික වශයෙන්ම එවැනි තරග දෙකක් පිට පිට ජයග්‍රහණය කිරීම පෙරට වඩා අමාරුයි” එවකට අවුරුදු 31ක් වූ ෆෙල්ප්ස් පැවසීය.
ෆෙල්ප්ස් තම ක්‍රීඩා සඟයා වූ රයන් ලොක්ටේ සමඟ මීටර් 200 නිදහස් ආර පදක්කම සඳහා තරග වැදුණ අතර විචාරකයන් විසින් මෙය තටාකයේ ද්වන්ද සටන යනුවෙන් හඳුන්වන ලදි. ඒ වන විට රයන් ලොක්ටේ මෙම ඉසව්ව සඳහා ඒ වන විට ලෝක වාර්තා ලාභියා වුවද ඉතා තියුණු තරගයකින් අනතුරුව පිහිනුම් තටාකය තුළ තම ආධිපත්‍ය නැවතත් පතුරවන්නට ෆෙල්ප්ස් සමත් වූයේ එකම ඉසව්ව සඳහා අවුරුදු 4ක් පිට පිට රන් පදක්කම දිනු එකම ක්‍රීඩකයා බවට පත් වෙමිනි.
“මා මෙය නිතරම කියනවා. හැම දිනක්ම සිහිනයක් සැබෑ වූ දිනයක්” NBCට ෆෙල්ප්ස් කීය. “ළමා කාලයේ දී මට වෙන කවුරුත්ම නොකළ දෙයක් කරන්න ඕන වුනා. මා එය දැන් විඳිනවා. තරගය නිමා කර, ජයග්‍රහණය ලැබීම මට හරිම විශේෂයි. ඒකයි ඔබ මා පදක්කම පලන්දවන වේදිකාව මත වැඩි වැඩියෙන් හැඟුම්බර වනු දකින්නේ”.
තවත් හැඟුම් බර ජයග්‍රහණයක් සනිටුහන් කරමින් ෆෙල්ප්ස් තම අවසන් රන් පදක්කම ඇමරිකානූ රිලේ කණ්ඩායම සමඟ 4×100 නිදහස් ආර ඉසව්ව සඳහා දිනා ගත් අතර රැස්ව සිටි ජනතාවගේ උණුසුම් අත්පොලොසන් නාදය මැද ඔහු මෙම තරගය නිමා කරන ලදී.
කණ්ඩායම තරගය අවසන් කර අවසාන බදා වැලඳ ගැනීමේ දී, ෆෙල්ප්ස් අතිශයින්ම හැඟීම් බර විය. පසුව ඔහු නිව්යෝක් ටයිම්ස් හට පැවසුයේ, “එවෙලෙහියි මට සියල්ල තදින්ම දැනුනේ. නැවතත් මට කිසිදා තරගයකින් දිනූ තරු සහ ඉරි ගෙලෙහි පලඳවගන්න බෑ. මේ මගේ අවසානය තරගයයි”.
මයිකල් ෆෙල්ප්ස් ක්‍රීඩා දිවියෙන් විශ්‍රාම ගනි.
ඔහුගේ ක්‍රීඩා සගයෙක් වු රයන් ලොක්ටේ, ෆෙල්ප්ස් නැවත 2020 දී ඔලිම්පික් තරග බිම එන වග කියුවත්, ෆෙල්ප්ස් ස්ථිරසාරව පැවසුවේ 2016න් පසු ඔහු ක්‍රීඩා දිවියෙන් සමුගන්නා වගයි.
“මාගේ මනස යෙදවු සියලු ඉසව් මා ජයග්‍රහණය කළා. අවුරුදු 24කට පසු, මා මේ දිවිය අවසන් කළ අයුර ගැන සතුටින්”. ඔහු පැවසුවා. “මං දැන් විශ්‍රාම ගන්න කැමතියි. මා ඒ ගැන සතුටු වෙනවා. අවුරුදු හතරකට පෙර මා ඒ ගැන සිතූ අයුරට වඩා දැන් තත්වය වෙනස්. මා දැන් මගේ පුතු සහ පෙම්වතිය සමඟ වැඩි කාලයක් ගත කිරීමට කැමතියි.”
මයිකල් ෆෙල්ප්ස්ගේ පොත්
ඉතාමත් සාර්ථක පිහිනුම් දිවියට අමතරව, මයිකල් ෆෙල්ප්ස් 2008 දී දිය යට – මගේ කතාව සහ 2009 දී සීමාවන් නොමැති ජයග්‍රහණයේ අධිෂ්ඨානය නැමැති පොත් දෙක ලියා ඇත.
21 වෙනි සියවසේ විශිෂ්ටතමයා ලෙස ක්‍රීඩා විචාරකයින් විසින් වරෙක හඳුන්වන ලද එදා මෙදාතුර ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම පදක්කම්ලාභියා වීමේ ගෞරවය දිනා ගත් ෆෙල්ප්ස් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත පැවසූ කරුණක් ක්‍රීඩාවේ යෙදෙන තරුණ ඔබගේ අවධානය පිණිස මෙසේ ලියා තබන්නෙමි.
“අපි ක්‍රීඩා කරන්නේ අපගේ රට වෙනුවෙන්. ජාත්‍යන්තර බිමක පදක්කමක්, තරුවක් හෝ පටියක් උදෙසා තරග වදින්නේ අපේ රටට ආඩම්බරයක් අත්කර දෙන්න. අප එයින් විශ්‍රාම ගෙන නැවත මව් රටට එන විට ඔවුන් හොයන්නේ, තරගයට යැවිය හැකි අලුත් ක්‍රීඩකයෙක් මිසක්, අපි ගැන නෙවි. එය කනගාටුවට කරුණක්”.
පිටිය තුළ දී ඔවුන් ඔබට ගරු කරන්නේ ඔබේ දක්ෂතාවය ඇතිතාක් පමණි. නමුත් ඔබ විශිෂ්ටයෙකු නම් ඔබේ නම ප්‍රේක්ෂකයන්ගේ හදවතින් මකා දැමීමට කිසිවෙකුට නොහැක. ඒ ෆෙල්ප්ස් ඔබට ලබා දෙන ආදර්ශයයි.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<