Tibhar එපා යැයි පැමිණිල්ලක්

19th Tibhar Table Tennis Tournament

122

Tibhar මේස පන්දු සංගමය මගින් පැවැත්වීමට යෝජිත සමස්ත ලංකා ශ්‍රේණිගත මේස පන්දු තරගාවලිය කල් දමන ලෙස හෝ නොමැති නම් තරගාවලියේ ප්‍රමිතිය වෙනස් කරමින් පවත්වන ලෙස ශ්‍රී ලංකා පාසල් මේස පන්දු සංගමය සහ ජාතික කනිෂ්ට සංචිතයේ ක්‍රීඩකයන් 18 දෙනෙක් විසින් ශ්‍රී ලංකා මේස පන්දු සංගමයෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

මෙම තරගාවලිය මේ මස 7, 8 සහ 9 වැනි දිනවල දී අම්බලන්ගොඩ SRS ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පැවැත්වීමට නියමිතය.

“ලිඛිතව සහ වාචික ව ලැබුණ පැමිණිලි විධිමත් ව පරිශීලනය කිරීමෙන් අනතුරු ව අපි මේ තරග සංවිධායකයන්ගෙන් ඉල්ලීමක් කළා තරගාවලිය නොවපවත්වන ලෙස. එසේ නොමැති නම් ශ්‍රේණිගත ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් තොරව පවත්වන්න කියලා. ඒක තමයි අපිට ක්‍රීඩකයන්ගේ ඉල්ලීමට දෙන්න තියෙන සාධාරණ විසඳුම. නමුත් තවමත් තරග සංවිධායකයන්ගෙන් අපිට යහපත් ප්‍රතිචාරයක් ලැබුණෙ නැහැ.“ ThePapare.com මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මේස පන්දු සංගමයේ තරගාවලි කමිටු සභාපති චතුර වනසිංහ මහතාගෙන් කළ විමසීමේ දී පැවැසුවේ ය .

මේස පන්දු ජාතික කනිෂ්ට සංචිතයේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18 දෙනාගේ ඉල්ලීම වී ඇත්තේ ඔවුන් එක දිගට පුහුණු සංචිත, සුදුසුකම් ලබා ගැනීමේ තරග සහ දකුණු ආසියානු යොවුන් මේස පන්දු තරගාවලියට ද සහභාගී වීම හේතුවෙන් වෙහෙසකර කාලයක් ගත කළ බවත් එසේ ම ඉදිරියේ දී පැවැත්වෙන ආසියානු යොවුන් මේස පන්දු තරගාවලියට ද සහභාගී වීමට සූදානම් වන බැවින් තව දුරටත් වෙහෙසකර කාලයක නිරත වීමට සිදුව ඇති බැවිනුත් මෙම තරගාවලියේ දී තමන් ට අමතර වෙහෙසක් දැරීමට ද සිදු වන බවත් ය.

එමෙන් ම ඔවුන් තව දුරටත් පවසන්නේ ඉතා වෙහෙසකර කාලයක් ගත කළ බැවින් එක් එක් අයගේ ශාරීරික සහ මානසික යෝග්‍යතාවන් මත මෙම තරගාවලියට එක් වීම නුසුදුසු බැව් ක්‍රීඩා වෛද්‍ය ඒකකය මඟින් ද දැනුම් දී ඇති පසුබිම ද තමන් මෙම ඉල්ලීම යොමු කළ බවයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මේස පන්දු සංගමය වෙත යොමුකරන ලද ලිපියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18 දෙනාට අමතර ව ජාතික කනිෂ්ට සංචිතයේ පුහුණුකරුවන් ලෙසින් කටයුතු කරන හසිත සමරවීර, ගයාන් ලියනගේ, චතුර දුශාන්, බුද්ධික දික්කුඹුර, ලක්ෂාන් හර්ෂණ සහ ආර්. ඒ. ඩී. රවින්ද්‍ර යන මහත්වරුන් ද පිළිවෙළින් අත්සත් තබා තිබේ. මේ දිනවල ඔවුන්ගේ ප්‍රමුඛ කාර්යය වී ඇත්තේ මේ මස 30 වැනිදා සිට ජුලි මස 06 වැනිදා දක්වා චීනයේ පැවැත්වෙන ආසියානු යොවුන් මේස පන්දු තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සූදානම් කිරීමයි.

“ඇත්තට ම අපි ට මේ ඉල්ලීම අහක දාන්න බැහැ. මේ ළමුන් එක දිගට මාසය 6ක පමණ කාලයක් සිට පුහුණුවීම්වල සහ තරගවල නිරත වෙනවා. ඒ වගේ ම එළැඹෙන ආසියානු යොවුන් තරගාවලියට සහභාගී වෙන්න ඕන. ඒ වෙනුවෙනුත් ඔවුන් මහන්සි වෙනවා. ඒ අතර මේ තරගාවලියේ දී ඔවුන් යම් පසුබෑමකට පත් වුණොත් ඒක ඒ ළමයින්ට මානසිකව වද දෙන ප්‍රශ්නයක් වේවි. ඊට පස්සෙ ඒක ආසියානු යොවුන් තරගාවලියටත් බලපානවා. අපි මේ හැම දෙයක් ගැන ම බලන්න ඕන.” ශ්‍රී ලංකා මේස පන්දු සංගමයේ තරගාවලි කමිටු සභාපති චතුර වනසිංහ මහතා නැවත පැවැසුවේ ය.

මේ අතර ශ්‍රී ලංකා පාසල් මේස පන්දු සංගමය පවසන්නේ ප්‍රධාන තරගාවලියක් අවසානයේ දී ඊට සහභාගී වූ අය සඳහා විධිමත් විවේකයක් ලබා දීමට අවශ්‍ය මොහොතක, තවත් එවැනි ම තරගාවලියකට සහභාගී වීමෙන් ඔවුන්ට සැබෑ ක්‍රීඩා දක්ෂතාවන් අතරට නොපැමිණිය හැකි බවයි.

එමෙන් ම මේ දිනවල දිවයින පුරා පවතින් අයහපත් කාලගුණික තත්ත්වය මත අධ්‍යාපන අමාත්‍යාංශ මගින් පාසල් වසා දැමීම හේතුවෙන් නිසි පරිදි පුහුණු කටයුතු පවා සිදුකර ගැනීමට නොහැකි අවස්ථාවක මෙවන් තරගාවලියක් නියමිත පරිදි ම පැවැත්වීමෙන් ඊට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අගතියක් සහ අසාධාරණයක් සිදු වන බවත් ය.

 “අපිට ක්‍රීඩා සමාජයකට වඩා ළමුන්ගේ පැත්තයි බලන්න වෙන්නේ. මෙම තරගාවලිය යොදාගත් දිනවල නොවපත්වන ලෙසයි ඔවුන්ගේ ඉල්ලීම. අපි ඒ සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් දැනුවත් කළා. අපි බලාපොරොත්තු වෙනවා ඔවුන් ඊට අනුගත වෙමින් සුදුසු තීරණයකට යයි කියලා. කෙසේ වෙතත් මේ තරගාවලියේ තරග ශ්‍රේණිගත කිරීම්වල යම් විකෘති තත්ත්වයක් ද තියෙනවා. ඒවත් නිවැරදි කරගෙන අපිට වෙනත් කාලයක දී මේ තරගාවලියට යන්න පුළුවන්. යම් විදිහකින් ඔවුන් සංගමයේ තීරණය නොසලකා හරින්නේ නම් අපිට සිදු වෙනවා මෙම තරගාවලිය ශ්‍රේණිගත තරගාවලියක් නොවන බවට දැනුම් දෙන්න සහ ඒ අනුව කටයුතු කරන්න.” ශ්‍රී ලංකා මේස පන්දු සංගමයේ තරගාවලි කමිටු සභාපති චතුර වනසිංහ මහතා නැවත ThePapare.com සමග ප්‍රකාශ කළේ ය.

මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් අපි Tibhar ක්‍රීඩා සමාජයේ සභාපති ඩබ්ලිව්. ඒ. බුද්ධසිරි මහතාගෙන් විමසූවෙමු.

“19 වැනි වරටත් පවත් වන මේ තරගාවලියට අපි විශාල ලෙසින් සූදානම් වෙලා ඉන්නේ. ඒ වෙනුවෙන් සංගමයට වන ගෙවීම් පවා නීත්‍යානූකුලව සිදු කරල තියෙන්නේ. තරගාවලියට අයැදුම්පත් 515ක් ලැබිලා තියෙනවා. බදුල්ල, බණ්ඩාරවෙළ වගේ දුර පළාත්වල ළමයි පවා මේ වන විට ද ඔවුන්ගේ සහභාගීත්වය සනාථ කරල තියෙනවා. අපිට හිටි හැටියේ මේ වගේ තරගාවලියක් නතර කරන්න බැහැ.” ඩබ්ලිව්. ඒ. බුද්ධසිරි මහතා පැවැසුවේ ය.

ඔහු තව දුරටත් පවසන්නේ මේ තරගාවලිය මීට පෙර සංවිධානය කර තිබුණේ පසුගිය සතියේ වූව ද දකුණු ආසියානු යොවුන් මේස පන්දු තරගාවලිය හේතුවෙන් එය මේ සතිය දක්වා කල් දැමූ බවයි.

“ඇත්තට ම අපි මේ තරගාවලිය කල් දාන මට්ටමේ නැහැ. ඔය බැහැයි කියන සංචිතයේ ළමුන් පවා මේ තරගාවලියට එක් වෙන්න කැමැත්තෙන් ඉන්නේ කියල අපි දන්නවා. ඕන ම කෙනෙක්ට මහන්සියි නම් නොගහා ඉන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි මේ තරගාවලියට පෙර, ආසියානු යොවුන් සංචිතයේ සිටින ළමුන් ගැන ම හිතලා වෛද්‍ය උපදෙස් පවා ගත්තා. ඔවුන් පවසන්නේ මේස පන්දු වගේ ක්‍රීඩාවක දී තරගාවලියෙන් අනතුරු ව දින 2ක විවේකයක් හොඳට ම ප්‍රමාණවත් කියලා. තරගාවලියට සහභාගී වෙන ළමුන්ගේ සිටින ප්‍රදේශවල දේශගුණයේ පවා ලොකු වෙනසක් වෙලා නැහැ. ඒකෙන් තරගාවලියට වගේ ම සහභාගී වෙන ළමුන්ටත් බලපෑමක් වෙලා නැහැ. ඉතිං අපි තරගාවලිය වෙනදාටත් වඩා හොඳට මෙවර පවත්වනවා.” Tibhar ක්‍රීඩා සමාජයේ සභාපති ඩබ්ලිව්. ඒ. බුද්ධසිරි මහතා තව දුරටත් ThePapare.com හා පැවැසුවේ ය.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<