මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 17 වැනිදා සිට නොවැම්බර් 14 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) දී පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව Cricinfo වෙබ් අඩවිය වාර්තා කරනවා.
කෙසේ නමුත් තරගාවලිය කුමන රටක පැවැත්වුවද එහි සංවිධාන කටයුතු සහ එහි සත්කාරක අයිතිය ඉන්දීය ක්‍රිකට් ආයතනය සතු වෙනවා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ද එක්සත් අරාබියේ දී පැවැත්වීමට නියමිත අතර, එය අවසන් වී දින කිහිපයකින් ලෝක කුසලානය ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. කොරෝනා නිසාවෙන් අතර මඟ නවතා දැමුණු IPL තරගාවලිය සැප්තැම්බර් 19 වැනිදා සිට ඔක්තෝබර් 15 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
තවත් ක්‍රිකට් පුවත්:
- Multan Sultans පළමු PSL ශූරතාවය දිනා ගනියි
- ශ්‍රී ලංකාව නොකඩවා පස්වැනි T20 තරගාවලියත් පරාජය වෙයි
- ටෙස්ට් ශූරතාවයේ අවසන් තරගය ගැන ඉන්දීය නායකයා අසතුටෙන්
- ශානකගේ අර්ධ ශතකය අභිබවා Buttlerගේ ප්‍රහාරය සැර වෙයි
- ඉන්දියාව පරදා නවසීලන්තය ලෝක ටෙස්ට් ශූරයින් ලෙස අභිෂේක ලබයි
ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබියේ දී පැවැත්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනය මෙතෙක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) වෙත නිල වශයෙන් දන්වා නැහැ.
මේ වන විට පවතින සැලසුම්වලට අනුව ලෝක කුසලානයේ පළමු වටයේ තරග කාණ්ඩ දෙකක් යටතේ (A කාණ්ඩය සහ B කාණ්ඩය) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සහ ඕමානයේ දී පැවැත්වෙනු ඇති අතර එහි දී ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු වටයට තරග 12ක් ඇතුළත් වෙනවා.
පළමු වටයේ තරග කාණ්ඩ දෙක
- A කාණ්ඩය – ශ්‍රී ලංකාව, අයර්ලන්තය, ඕමානය, පැපුවා නිව් ගිනියාව
- B කාණ්ඩය – බංග්ලාදේශය, නෙදර්ලන්තය, ස්කොට්ලන්තය, නැමීබියාව
කණ්ඩායම් 8ක් පළමු වටයේ දී තරග කරන අතර, ඉන් කණ්ඩායම් 4ක් (කාණ්ඩ දෙකේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක) සුපිරි 12 වටය වෙත සුදුසුකම් ලබා ගන්නා අතර, සුපිරි 12 වටය සඳහා මේ වන විටත් කණ්ඩායම් 8ක් සුදුසුකම් ලබා අවසන්. ඔක්තෝබර් 24 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන සුපිරි 12 වටය සඳහා තරග 30ක් ඇතුළත් වෙනවා.
එහි දී කාණ්ඩ දෙකකට කණ්ඩායම් 6ක් ඇතුළත් වන පරිදි තරග පැවැත්වෙන අතර සියලු තරග ඩුබායි, අබුඩාබි සහ සාජාහී දී පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබෙනවා.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<