හිටපු පාකිස්තාන අගමැති සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන Imran Khan වහාම නිදහස් කරන ලෙස පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.
පසුගිය දා අත්අඩංගුවට ගත් ඔහුගේ එම අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බව අගවිනිසුරුවරයා විසින් ප්‍රකාශ කර ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා භාවිතා කළ වරෙන්තුව බලරහිත බව ද ඔහු එහි දී නිවේදනය කළා.
Imran Khan මේ වන විට ඉස්ලාමාබාද් නුවර පිහිටි පොලිස් ආරක්ෂිත නිවසකට මාරු කර ඇති අතර ඔහුගේ අත්අඩංගුවට ගැනීම නීත්‍යනුකූල බව ප්‍රකාශ කළ ඉස්ලාමාබාද් අධිකරණය ඔහුට සිකුරාදා (12) දින මහාධිකරණයේ පෙනී සිටින ලෙස ද නියෝග කර තිබෙනවා.
2019 වසරේ පාකිස්තානයේ අගමැති ලෙස පත් වූ Imran Khan ඔහු සභාපති ලෙස කටයුතු කළ අල් කදීර් විශ්වවිද්‍යාලයේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගත් ආකාරය පාකිස්තානයේ බොහෝ දෙනා දැඩි ලෙස විවේචනය කර තිබුණා.
එම අත්අඩංගුවට ගැනීම ප්‍රචණ්ඩකාරී වූ බව සහ එහි දී ඔහුට පොලුවලින් පහර දුන් බවත් Imran Khan ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියා.
- ICC ආදායමින් 38.5%ක් ඉන්දියාවට!
- “පාකිස්තානයට කිසිම සහතිකයක් දෙන්න බැහැ” – ICC
- ආබාධ නිසා ඉන්දියාව විශාල ගැටලුවක්
- වසර තුනකට පසු ඕස්ට්‍රේලියාව දකුණු අප්‍රිකාවට
- අරාබියේ රස්නය තමයි ප්රශ්නය
ඔහුට දින අටක් ජාතික වගවීමේ කාර්යාංශය (National Accountability Bureau) යටතේ රඳවා තබන ලෙස ඉස්ලාමාබාද් අධිකරණය නියෝග කළ නමුත් එයට විරුද්ධව වහාම ඔහු අභියාචනාවක් ඉදිරිපත් කර තිබුණා.
ඔහුගේ නිදහස් කිරීමේ නියෝගය පැමිණීමත් සමඟ ඔහුගේ ආධාරකරුවන් අධිකරණයෙන් පිටත ජය සමරමින් සිටිනු දක්නට ලැබූ අතර ඔහුව අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඇති වූ ගැටුම් වලින් පුද්ගලයින් 12ක් පමණ මිය ගිය බව ද පාකිස්තාන මාධ්‍ය වාර්තා කළා.
2022 වසරේ පැවති විශ්වාසභංග යෝජනාවකින් Imran Khan පරාජයට පත් වීමෙන් පසු නව රජය පාකිස්තානයේ පාලනයට පැමිණි අතර ඔවුන් උසාවි කිහිපයකින් Imran Khan අත්අඩංගුවට ගැනීමේ නියෝග ගැනීමට ද කටයුතු කර තිබූ බව සඳහන්.
ඔහුව අත්අඩංගුවට ගැනීම වළක්වාලීමට විශාල පිරිසක් ඔහුගේ නිවස ඉදිරිපිට රැඳී සිට ඇති අතර පාකිස්තානයේ දැනට සිටින ජනප්‍රිය ම දේශපාලකයා Imran Khan බව අවස්ථා ගණනක දී තහවුරුව තිබෙනවා.
එමෙන්ම වත්මන් රජය විසින් මැතිවරණය පැවැත්වීම ප්‍රතික්ෂේප කිරීම මගින් පාකිස්තාන පුද්ගල අයිතිවාසිකම් කඩ වන බව ද පාකිස්තාන ජනතාවගේ මතය වෙනවා.
“ඔවුන්ට ඕන මාව අත්අඩංගුවට ගන්න හරි නුසුදුස්සෙක් හරි කරන්නයි. මොකද ඔවුන් බයයි මගේ පක්ෂය පාකිස්තානයේ ජනප්‍රියම පක්ෂය නිසා,” යැයි Imran ප්‍රකාශ කර තිබෙනවා.
දිනෙන් දින උණුසුම් වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.
ESPN Cricinfo ඇසුරිනි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<