“Bazball හොඳයි පොඩි කණ්ඩායම්වලට”

The Ashes 2023

4410

2023 අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් කඩුලු 3ක තියුණු ජයග්‍රහණයක් ලබා ගනිමින් තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ඊයේ (09) සමත් වුනා.

තරගාවලියේ පළමු තරග ද්විත්වය ම ඕස්ට්‍රේලියාව විසින් ජයග්‍රහණය කළ අතර, ඊයේ තරගය එංගලන්තය ජයග්‍රහණය කිරීමත් සමඟ තරගාවලිය දැන්  2-1 මට්ටමින් නතර වී තිබෙනවා.

තරගාවලියේ තෙවැනි තරගය ද මුල් තරග දෙක මෙන් ම දෙපිළට ම විවෘත වී තිබූ තරගයක් ලෙස පැවැත්වුනා. ඊයේ දිනය තරගයේ සිව්වැනි දිනය වූ අතර දිනය ආරම්භයේ දී එංගලන්තයට කඩුලු 10ක් අතැතිව ජයග්‍රහණය සඳහා ලකුණු 224ක් අවශ්‍ය ව තිබුණා.

නමුත් ඕස්ට්‍රේලියාව විසින් එංගලන්තයට පහසුවෙන් එම ඉලක්කය හඹා යාමට ඉඩ ලබා නොදුන් අතර එංගලන්තය නියමිත ඉලක්කය සපුරා ගනිද්දී ඔවුන්ගේ කඩුලු 7ක් බිඳ වැටී තිබුණා.

මෙම ජයග්‍රහණය නිසා එංගලන්ත කණ්ඩායමේ වත්මන් නායක සහ පුහුණුකරු යුගලය වන Ben Stokes සහ Brendon McCullum දෙදෙනා විසින් ලෝක ටෙස්ට් ක්‍රීඩාවට හඳුන්වා දුන් Bazball නම් ආක්‍රමණශීලී ක්‍රීඩා රටාව තවදුරටත් නිරුපද්‍රිත ව රැඳී තිබෙන බව විශ්වාස කළ හැකි.

මීට පෙර තරග ද්විත්වයේ පරාජයන් සමඟ මෙම ක්‍රීඩා රටාවට බොහෝ විවේචන එල්ල වූ අතර තෙවැනි තරගයේ තෙවැනි දිනය අවසන් වන විට හිටපු ඉන්දීය ක්‍රීඩකයෙකු වන Sunil Gavaskar විසින් සඳහන් කළේ මෙම ක්‍රීඩා රටාව ඕස්ට්‍රේලියාව වැනි ප්‍රබල රටවල් සමඟ නොකළ යුතු අන්දමේ දෙයක් බවයි.

“Bazball සම්බන්ධයෙන් කියනවා නම් එය අමතක කරන්න. ඒක සිදු වෙන්නේ දුර්වල මට්ටමේ පන්දු යැවීමේ බළඇණියකට විතරයි. නමුත් ඕස්ට්‍රේලියාව වැනි ඉහළ පෙළේ පන්දු යැවීමක් ඉදිරියේ නැවත පැරණි පිතිකරණ රටාවට යා යුතුයි. විස්සයි විස්ස පහරවල් නෙවෙයි අවශ්‍ය. හැම දේකට ම පසු ටෙස්ට් ක්‍රිකට් කියන්නේ ටෙස්ට් ක්‍රිකට් වලට!”

Sunil Gavaskar විසින් පුවත්පතකට සපයන තීරු ලිපියක මේ බව සඳහන් කර තිබුණා.

මීට අමතරව ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වුණු දෙවැනි ටෙස්ට් තරගයට පෙර හිටපු එංගලන්ත පිතිකරු Geoffrey Boycott විසින් ද එංගලන්තයේ Bazball ක්‍රිකට් රටාව විවේචන කර තිබුණා.

“ඔවුන්ට (එංගලන්තයට) සිය ඉලක්කය ජයග්‍රහණය කිරීම කියන දැක්ම අහිමි වෙලා. ඔබ විනෝදාස්වාදය ලබා දීමට පමණක් උත්සාහ කරනවා නම්, ඔවුන් සර්කස් එකක් විය යුතුයි.  යන්න, ගිහින් ලොව පුරා වෘත්තීය සර්කස් එකක් ලෙස වැඩ කරන්න.”

එංගලන්තය මීට පෙර මෙම ආක්‍රමණශීලී ක්‍රීඩා රටාව සමඟින් නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ පාකිස්තාන කණ්ඩායම්වලට එරෙහිව විශිෂ්ට ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වුනා.

නමුත් Bazball තරග රටාව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලබන විශාලතම අභියෝගය ඕස්ට්‍රේලියාව හමුවේ ලබනු ඇති බවට මීට පෙර සිට ම බොහෝ අනාවැකි පළ වුනා.

ඒ අනාවැකි සපථ කරමින් පළමු ටෙස්ට් තරග ද්විත්වය ම ඉතා ආසන්න අවස්ථා දෙකකින් ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියාව විසින් සමත් වුනා. කෙසේ වෙතත් තවමත් අළුබඳුන තරගාවලිය නිමා වී නැහැ. එමෙන්ම තරගාවලියේ තීරණයක් තවමත් නිශ්චිතව ලැබී නැහැ.

ඒ අනුව මෙවන් වටපිටාවක් තුළ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙක තුල දී මෙම Bazball තරග රටාව කෙතරම් දුරට ඕස්ට්‍රේලියාව වැනි කණ්ඩායමක් ඉදිරියේ දී සාර්ථක වනු ඇති දැයි තීරණය කළ හැකි වේවි.

2023 අළුබඳුන තරගාවලිය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<