සුජාන් පෙරේරා මාලදිවයිනේ සිර වෙයි

293
Sujan Perera

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩක සුජාන් පෙරේරා මේ දිනවල පැතිර යන නව කොරෝනා වෛරස තත්වය හේතුවෙන් මාලදිවයිනෙන් පිටතට පැමිණීමට නොහැකිව සිරවී සිටින බව වාර්තා වේ. 

ඒ අනුව ශ්‍රී ලංකාවේ හිටපු පාපන්දු නායකයෙකු වන සුජාන්, එරට Eagles පාපන්දු සමාජය සමඟ එළඹි ගිවිසුමකට අනුව 2019-20 Dhivehi Premier League තරගාවලියට ක්‍රීඩා කරමින් සිටිය දී මෙලෙස එරටින් පිටවීමට නොහැකි තත්වයකට මුහුණ පා ඇත. ඔහුට අමතරව ගෝල රකින පුහුණුකරුවෙකු වශයෙන් කටයුතු කරන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේම හිටපු ගෝල රකින ක්‍රීඩකයෙකු වන මොහොමඩ් අස්වාර් ද මෙසේ මාලදිවයිනෙන් පිටත් වීමට නොහැකිව සිරවී සිටින ක්‍රීඩකයින් අතරට අයත් වේ. 

සුජාන් ක්‍රීඩා කරනු ලබන Eagles කණ්ඩායම Premier League තරගාවලියේ ශූරතාවය දිනාගත් Maziya Sports & Recreations Club කණ්ඩායමට පමණක් දෙවැනි වෙමින් ඔවුන්ට වඩා ප්‍රසාද ලකුණු 6ක් පසුපසින් සිටිමින් එහි දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර ඒ හරහා ඔවුන් 2021 AFC කුසලාන පාපන්දු තරගාවලියේ ‘play-off’ වටයේ ද සිය ස්ථානය තහවුරු කරගන්නට සමත් විය. අනතුරුව ඔවුන් එරට FA කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී TC Sports කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීමට නියමිතව තිබුනත් පසුගිය මාර්තු මස අවසන් සතියේ දී එරට බලධාරීන් විසින් හදිසි වෛද්‍ය තත්වයක් ප්‍රකාශයට පත්කිරීමත් සමඟ එම තරගාවලිය අත්හැර දමන්නට එහි සංවිධායකයින්ට සිදුවිය. 

කෙසේ නමුත් ඒ වන විටත් ශ්‍රී ලංකාව සිය ගුවන් තොටුපළ වසා දැමීමට කටයුතු කර තිබීමත් සමඟ සුජාන් හට නැවතත් ශ්‍රී ලංකාව බලා පැමිණීමට හැකියාවක් ලැබුනේ නැත. 

“මෙහේ ප්‍රකාශයට පත්කරලා තිබුනේ හදිසි වෛද්‍ය තත්වයක් විතරයි. නමුත් මීට දින පහකට වගේ කලින් Male වලින් COVID-19 ආසාදිතයෙක් සොයාගැනීමත් එක්ක ඔවුන් (බලධාරීන්) වහාම නගරය වසා දමන්න කටයුතු කළා. ඒ අනුව මේ වන විට මෙහෙන් ආසාදිතයෝ 86ක් සොයාගෙන තියෙනවා. අදාළ බලධාරීන් මේ වෙනකොට තත්වය පාලනය කරන්න ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නේ.”  ThePapare.com අප සමඟ අදහස් දක්වමින් සුජාන් පැවසීය. 

පසුගිය ජනවාරි මාසයේ දී කුඩා දියණියකගේ පියෙකු බවට පත්වූ සුජාන් මේ වන විට හැකි ඉක්මණින් සිය බිරිඳ හා දියණිය සමඟ එක්වීමට බලාපොරොත්තුවෙන් සිටියත් ඔහු විශ්වාස කරන්නේ ඒ සඳහා ඔහු බලාපොරොත්තු වනවාට වඩා වැඩි කාලයක් ගතවනු ඇති බවයි. එමෙන්ම ඔහු දැඩි අපහසුතාවන් යටතේ මේ වන විට මාලදිවයිනේ සිරවී සිටින සෙසු ශ්‍රී ලාංකිකයින් පිළිබඳව ද ඉතා කණස්සල්ලෙන් අප සමඟ සිය අදහස් එක්කළේය.  

“මෙහෙම ඉන්න එක අමාරුයි තමයි. ඒත් මට මෙහේ කිසිම අපහසුතාවයක් නැහැ. මගේ Eagles පාපන්දු සමාජය මං ගැන හොඳින් හොයලා බලනවා. ඔවුන් මට හැමදේකටම උදව් කරනවා. නමුත් මෙහේ ඉන්නවා ගොඩක් අපහසුතාවයන් මැද හිරවෙලා ඉන්න ශ්‍රී ලාංකිකයිනුත්.” 

“මේ තත්වය මේ විදිහටම ඉස්සරහටත් ක්‍රියාත්මක වුනොත් ඔවුන්ට මෙහෙම ඉන්න එක තවත් අපහසු වෙයි. ගොඩක් අය ඉන්නවා නගරයෙන් පිට සේවය කරන. දැන් මුළු නගරයම වහලා දාලා තියෙන නිසා ඔවුන්ට දැන් නගරයට ඇවිත් ආහාරපාන හොයාගන්න වගේම ඔවුන්ගේ වෙනත් අවශ්‍යතාවයන් සපුරගන්නවත් විදිහක් නැහැ.” 

“මාලදිවයිනේ ජීවිතය ගොඩක් වෙනස්. අනෙක් රටවල්වල වගේ නෙමෙයි. ලස්සන මුහුදකින් දූපත් විශාල ප්‍රමාණයක් වටවෙලා තියෙන්නේ. ඒ පිහිටීම නිසා හැමදෙයක්ම නගරයෙන් යවන්න ඕනේ දූපත් වලට. බලධාරීන් මේවා නිසි පරිදි කරන්න ලොකු උත්සාහයක් ගන්නවා. කොහොම වුනත් මම නම් හිතන්නේ මේ වගේ වෙලාවක කරන්න හොඳම දේ නැවතත් ශ්‍රී ලංකාවට යන එක. ඒත් මෙහේ ඉන්න සමහර ශ්‍රී ලාංකිකයෝ එහෙම යන්න කැමති නැහැ. එහෙම ගියොත් ඔවුන්ට ඔවුන්ගේ රැකියා අහිමි වෙන නිසා. ඉතින් මම හිතනවා අපේ තානාපති කාර්යාලය ඔවුන්ව හොයාගෙන ඔවුන්ට අවශ්‍ය හැමදෙයක්ම ලබාදෙන්න කටයුතු කරයි කියලා.”  

තවත් කියවන්න;

“අපිට යන්න ලොකු අවශ්‍යතාවයක් තියෙනවා වුනාට ඒකට අනුගමනය කරන්න ඕනේ නිසි ක්‍රමවේදයක් තියෙනවා. ශ්‍රී ලංකා රජය, සෞඛ්‍ය නිලධාරීන් වගේම ත්‍රිවිධ හමුදාවත් මෙම තත්වය පාලනය කරන්න ඔවුන්ගේ උපරිම දායකත්වය ලබා දෙනවා. නිරෝධායන මධ්‍යස්ථාන වල මිනිස්සු දහස් ගණන් ඉන්නවා. ඒ නිසා අපි ඉන්නේ අපහසුවෙන් වුනත් අපි රජයට ඒ නිශ්චිත ක්‍රමවේදයන්ට අනුව කටයුතු කරගෙන යන්න දීලා බලාගෙන සිටිය යුතුයි. ඒක නිසා අපි හැමෝම එකාවගේ වැඩ කරලා රජයට මේ තත්වය නිසි ලෙස පාලනය කරන්න අවශ්‍ය සහයෝගය ලබාදෙමු.” 

“මම දැන් සති තුනකට වැඩි කාලයක ඉඳන් මෙහෙම ඉන්නේ. මම ප්‍රාර්ථනා කරනවා මගේ දුවවත් බිරිඳවත් මට ගොඩක් ඉක්මණින්ම නැවතත් බලන්න පුළුවන් වෙයි කියලා. මගේ එකම බලාපොරොත්තුව නැවතත් ගෙදර යන එක. ඒත් මේ වෙලාවේ ගොඩක්ම වැදගත් රජයට මේක හරියට පාලනය කරගන්න ඕනේ සහයෝගය ලබාදෙන එක. මොකද ඊට පස්සේ ඔවුන්ට පුළුවන් අපිට සහයෝගය දෙන එකට අවධානය යොමු කරන්න. ඒ නිසා රජය අපිට උදව් කරනකන් අපි ඉවසීමෙන් කලබල නොකර බලාගෙන ඉමු. අපි හැමෝම එකතුවෙලා එකට වැඩකරලා ‘COVID-19’ වලට එරෙහිව සටන් කරමු.” සුජාන් පැවසීය. 

විශේෂාංග ලිපි; 

මේ පිළිබඳව විමසීමට ThePapare.com විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) ජස්වාර් උමාර් සම්බන්ධ කරගත් විට ඔහු පවසා සිටියේ; 

“සුජාන්, අස්වාර් ඇතුළු මාලදිවයිනේ ඉන්න තවත් ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ටම අපි කතා කළා. රජය එක්ක වගේම අවශ්‍ය බලධාරීන් එක්කත් කතා කරලා ඔවුන්ව නැවතත් ශ්‍රී ලංකාවට රැගෙන එන්න අපිට කරන්න පුළුවන් හැමදෙයක්ම අපි සිදු කරනවා. එතකන් දැනට අපි මාලදිවයිනේ පාපන්දු සංගමය සම්බන්ධ කරගෙන අපේ ක්‍රීඩකයින්ට උදව් කරලා ඔවුන්ව හොඳින් බලාගන්න ඔවුන්ව දැනුවත් කළා.” 

ඒ අනුව සුජාන් පැවසූ පරිදි ශ්‍රී ලංකා රජය මෙන්ම මාලදිවයිනේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද මේ වන විට එරට සිටින ශ්‍රී ලාංකිකයින් වෙත අවශ්‍ය උදව් කිරීමට කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<