එක්දින ක්‍රිකට් තරගයකට ඕනෑම පන්දු යවන්නෙකුට කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීම ඔහුගේ එක්දින ක්‍රිකට් දිවියේ ඉතාමත් සුවිශේෂී සිහිවටනයකි.
එමනිසා සෑම පන්දු යවන්නෙකුම තම එක්දින ක්‍රිකට් දිවිය තුල එම සිහිනය සැබෑ කරගැනීමට උත්සහ කරයි. නමුත් කොතරම් ප්‍රබල පන්දු යවන්නෙකු වුවද එම සිහිනය සැබෑ කරගැනීමට නොහැකිවූ අවස්ථා අපට ඉතිහාසය තුලින් හමුවේ.
මුත්තයියා මුරලිදරන්, ග්ලේන් මැග්‍රාත්, ෂයිඩ් අෆ්රිඩි, ෂෝන් පොලොක් වැනි පන්දු යවන්නන් එක්දින කඩුලු 380කට වඩා ලබාගනිමින් එක්දින පිටියේ වැජඹුණු පන්දු යවන්නන් විය. නමුත් ඔවුන්ගේ එක්දින ක්‍රිකට් දිවියේ කිසිදු දිනක එක්දින කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට නොහැකි වීමෙන්ම එක්දින කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට පන්දු යවන්නෙකුට ඇති දුෂ්කරතාවය ඔබට වැටහෙනවා ඇති.
එසේ නම් එක්දින පිටියේ වාර්තා වී ඇති කඩුලු ත්‍රිත්ව පිළිබඳව ඔබ දන්නා හා නොදන්නා තොරතුරු පිළිබඳව අපි කතා කරමු.
වැඩිම එක්දින කඩුලු ත්‍රිත්ව ප්‍රමාණය ශ්‍රී ලංකාවෙන්
1971 වසරේ සිට ආරම්භ වූ එක්දින ක්‍රිකට් තරගවල දී මේ දක්වා කඩුලු ත්‍රිත්ව 45ක් වාර්තා වී ඇත. එම කඩුලු ත්‍රිත්ව 45න් 9ක් ශ්‍රී ලංකාව ඉදිරියේ ලියවී ඇති අතර ශ්‍රී ලංකාවට පසුව වැඩිම කඩුලු ත්‍රිත්ව ප්‍රමාණයක් ලබාගෙන ඇති රට ලෙස කඩුලු ත්‍රිත්ව 8ක් ලබා ඇති පාකිස්තානය මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානයේ රැඳී සිටී.
වැඩිම කඩුලු ත්‍රිත්ව ප්‍රමාණය සිම්බාබ්වේට එරෙහිව
මේ දක්වා වාර්තා වී ඇති එක්දින කඩුලු ත්‍රිත්ව 45න් කඩුලු ත්‍රිත්ව 8ක්ම සිම්බාබ්වේ පිලට එරෙහිව වාර්තා වී ඇත. මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානයේ රැඳී සිටින ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව වාර්තා වී ඇති කඩුලු ත්‍රිත්ව ප්‍රමාණය 7කි.
මුල්ම එක්දින කඩුලු ත්‍රිත්වය පාකිස්තානයේ ජලාල් උද් දීන්ගෙන්
1982 වසරේ පාකිස්තානයේ දී පැවති පකිස්තාන – ඕස්ට්‍රේලියා එක්දින තරගාවලියේ පළමු එක්දින තරගයේ දී රොඩ්නි මාෂ්, බෘස් යාඩ්ලි හා ජෙෆ් ලෝසන් යන ඕස්ට්‍රේලියානු පිතිකරුවන් දවා ගනිමින් ජලාල් උද් දීන් එක්දින තරගයක මුල්ම කඩුලු ත්‍රිත්වය ලබාගත් පන්දු යවන්නා ලෙස ඉතිහාස ගතවිය.
වැඩිම එක්දින කඩුලු ත්‍රිත්ව ප්‍රමාණය ලසිත් මාලිංගගෙන්
එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ත්‍රිත්ව ප්‍රමාණයක් හිමිකරගත් පන්දු යවන්නා ලෙස කඩුලු ත්‍රිත්ව 3ක් ලබාගෙන සිටින ලසිත් මාලිංග වාර්තා පොත් අතරට එක්ව ඇත. 2007 ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකානු පිතිකරුවන් වන ෂෝන් පොලොක්, ඇන්ඩෘ හෝල්, ජැක් කලිස් හා මකායා එන්ටිනි පන්දු 4කදී පිට පිටම දවා ගත් මාලිංග සිය දෙවන කඩුලු ත්‍රිත්වය 2011 ලෝක කුසලාන තරගාවලියේ කෙන්යානු පිලට එරෙහිව ලබාගත් අවස්ථාවේ ටැන්මේ මිශ්‍රා, පීටර් ඔන්ගොන්ඩෝ හා ෂෙම් එන්ගොචේ යන පිතිකරුවන්ව දවා ගත්තේය.
2011 වසරේම ඕස්ට්‍රේලියාවට එරෙහිව සිය තෙවන කඩුලු ත්‍රිත්ව ලබාගත් මාලිංග එහි දී මිචෙල් ජොන්සන්, ජෝන් හැස්ටිංග්ස් හා සේවියර් ඩොරටි යන පිතිකරුවන්ව දවා ගත්තේය. මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පන්දු 4කින් කඩුලු 4ක් දවා ගත් එකම පන්දු යවන්නා බවට මාලිංග පත්වීමයි.
මුල්ම ලෝක කුසලාන කඩුලු ත්‍රිත්වයේ හිමිකරු චේතන් ෂර්මා
1987 ලෝක කුසලාන තරගාවලිය යටතේ ඉන්දියාව හා නවසීලන්තය අතර නාග්පූර්හි විදර්බා පිටියේ පැවති තරගයේ දී කෙන් රදර්ෆඩ්, ඉයන් ස්මිත් හා ඉවන් චැට්ෆිල්ඩ් යන නවසීලන්ත පිතිකරුවන්ව දවා ගත් චේතන් ෂර්මා ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ මුල්ම කඩුලු ත්‍රිත්වයේ හිමිකරු බවට පත්විය. මෙම කඩුලු ත්‍රිත්වය වඩාත් සුවිශේෂී වූයේ පිතිකරුවන් තිදෙනාම කෙළින්ම පන්දුව කඩුල්ලේ වැදීමෙන් දැවී ගිය මුල්ම කඩුලු ත්‍රිත්වය මෙය වීමයි.
වැඩිම ලෝක කුසලාන කඩුලු ත්‍රිත්ව ප්‍රමාණය මාලිංගට
එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ මේ වන විට කඩුලු ත්‍රිත්ව 9ක් වාර්තා වී ඇති අතර ඉන් කඩුලු ත්‍රිත්ව දෙකක් මාලිංග ලබාගෙන ඇති අතර ලෝක කුසලාන ඉතිහාසයේ පන්දු යවන්නෙකු ලබා ගත් වැඩිම කඩුලු ත්‍රිත්ව ප්‍රමාණය එයයි.
මීට අමතරව ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු ත්‍රිත්ව ලබාගත් රට බවට පත්ව සිටින ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගවල දී කඩුලු ත්‍රිත්ව 3ක් ලබාගෙන ඇත. එක්දින ලෝක කුසලාන තරගවල කඩුලු ත්‍රිත්ව ලබා ඇති පන්දු යවන්නන් මෙසේය.
1) චේතන් ෂර්මා (ඉන්දියාව) නවසීලන්තයට එරෙහිව 1987 වසරේ දී
2) සක්ලේන් මුෂ්ටාක් (පාකිස්තානය) සිම්බාබ්වේට එරෙහිව 1999 වසරේ දී
3) චමින්ද වාස් (ශ්‍රී ලංකාව) බංගලාදේශයට එරෙහිව 2003 වසරේ දී
4) බ්‍රෙට් ලී (ඕස්ට්‍රේලියාව) කෙන්යාවට එරෙහිව 2003 වසරේ දී
5) ලසිත් මාලිංග (ශ්‍රී ලංකාව) දකුණු අප්‍රිකාවට එරෙහිව 2007 වසරේ දී
6) කිමා රෝච් (බටහිර ඉන්දීය කොදෙව්) නෙදර්ලන්තයට එරෙහිව 2011 වසරේ දී
7)ලසිත් මාලිංග (ශ්‍රී ලංකාව) කෙන්යාවට එරෙහිව 2011 වසරේ දී
8) ස්ටීවන් ෆින් (එංගලන්තය) ඕස්ට්‍රේලියාවට එරෙහිව 2015 වසරේ දී
9) ජීන් පෝල් ඩුමිනි (දකුණු අප්‍රිකාව) ශ්‍රී ලංකාවට එරෙහිව 2015 වසරේ දී
වාස්ගේ සුපිරි කඩුලු ත්‍රිත්වය
2003 ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර පැවති තරගයේ දී අපූරු කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ චමින්ද වාස් සමත් විය. එහි දී ඔහු යැවූ තරගයේ මුල්ම පන්දු වාරයේ මුල්ම පන්දු 3න් හනාන් සර්කාර්, මොහොමඩ් අශ්රෆුල් හා එෂනුල් හක්ව දවා ගනිමින් කඩුලු ත්‍රිත්වය සම්පූර්ණ කළේය. මෙම කඩුලු ත්‍රිත්වය ලෝක කුසලාන ඉතිහාසයේ පමණක් නොව එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ද වාර්තා වූ අපූරුම කඩුලු ත්‍රිත්වයකි.
අකීබ් ජාවෙඩ්ගේ අමුතුම කඩුලු ත්‍රිත්වය
1991 වසරේ සාජා හිදී ඉන්දියාවට එරෙහිව අකීබ් ජාවෙඩ් දවා ගත් කඩුලු ත්‍රිත්වයේ ඇති විශේෂත්වය නම් පිතිකරුවන් තිදෙනාම කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව දැවී යාමෙන් වාර්තා වූ එකම කඩුලු ත්‍රිත්වය මෙයයි. එහි දී රවී ශාස්ත්‍රි, මොහොමඩ් අසාරුඩීන් හා සචින් ටෙන්ඩුල්කාර් අකීබ්ගේ කඩුලු ත්‍රිත්වයේ ගොදුරු බවට පත්විය.
වසීම් අක්‍රම්ගේ විශේෂ කඩුලු ත්‍රිත්ව දෙකක
1989 හා 1990 වසරවල සාජාහිදී පිළිවෙළින් බටහිර ඉන්දීය කොදෙව් පිලට හා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කඩුලු ත්‍රිත්ව ලබා ගැනීමට වසීම් අක්‍රම් සමත් විය. අක්‍රම්ගේ කඩුලු ත්‍රිත්ව දෙකේ විශේෂ කරුණ වූයේ සියලුම පිතිකරුවන් කෙළින්ම පන්දුව කඩුල්ලේ වැදී යාමෙන් දැවී යාමයි. එහි දී 1989 වසරේ ජෙෆ් ඩූජෝන්, මැල්කම් මාෂල් හා කර්ට්ලි ඇම්බ්‍රෝස් යන කොදෙව් පිතිකරුවන් ද 1990 වසරේ මර්ව් හියුස්, කාල් රැකමන් හා ටෙරී අල්ඩර්මාන් යන ඕස්ට්‍රේලියානු පිතිකරුවන් ද අක්‍රම්ගේ කඩුලු ත්‍රිත්ව සඳහා දායක විය.
මංගල එක්දින තරගයේම වාර්තා වූ කඩුලු ත්‍රිත්ව
මංගල එක්දින තරගයේ කඩුලු ත්‍රිත්ව වාර්තා වූ අවස්ථා 4ක් වාර්තා වී ඇති අතර එහි දී සිම්බාබ්වේ පිතිකරු ටෙන්ඩෙයි චටාරා ටයිජුල් හා වනිදු හසරංගගේ කඩුලු ත්‍රිත්වවල දී කඩුලු ත්‍රිත්වයට ගොදුරු වූ පිතිකරුවා බවට පත්වූ අතර බංගලාදේශ පිතිකරු මහමදුල්ලා කගීසෝ රබාඩා හා ෂෙහාන් මදුසංකගේ කඩුලු ත්‍රිත්වවල දී කඩුලු ත්‍රිත්වයට ගොදුරු වූ පිතිකරුවා බවට පත්වීම සුවිශේෂී කරුණකි. මංගල එක්දින තරගයේම කඩුලු ත්‍රිත්ව ලබාගත් පන්දු යවන්නන් 4 දෙනා මෙසේය.
1) ටයිජුල් ඉස්ලාම් (බංග්ලාදේශය) සිම්බාබ්වේට එරෙහිව 2014 වසරේ දී
2) කගීසෝ රබාඩා (දකුණු අප්‍රිකාව) බංග්ලාදේශයට එරෙහිව 2015 වසරේ දී
3) වනිඳු හසරංග (ශ්‍රී ලංකාව) සිම්බාබ්වේට එරෙහිව 2017 වසරේ දී
4) ෂෙහාන් මදුසංක (ශ්‍රී ලංකාව) බංග්ලාදේශයට එරෙහිව 2018 වසරේ දී
අවාසනාවන්ත ක්‍රිස් ට්‍රෙම්ලට්
2005 වසරේ එංගලන්තයේ පැවති නැට්වෙස්ට් කුසලාන තුන්කොන් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව ට්‍රෙන්ට්බ්‍රිජ්හි පැවති තරගයේ දී එංගලන්ත වේගපන්දු යවන්නෙකු වූ ක්‍රිස් ට්‍රෙම්ලට්ට එක්දින වරම් හිමි විය.
එහි දී ෂරියා නෆීස් හා තුෂාර් ඉම්රාන්ව පිට පිටම පන්දු දෙකක දී දවා ගත් ට්‍රෙම්ලට් කඩුලු ත්‍රිත්වයක් කරා ආසන්න විය. එහි දී ට්‍රෙම්ලට්ගේ කඩුලු ත්‍රිත්ව පන්දුවට මුහුණ දීම සඳහා පිටියට පිවිසියේ මොහොමඩ් අශ්රෆුල් නම් බංගලාදේශ පිතිකරුවාය.
එහි දී ට්‍රෙම්ලට් අශ්රෆුල්ට එවූ පන්දුව ඉතාම හොඳ එකක්වූ අතර එම පන්දුව පිතිකරුවා පසුකර ගොස් විකට්ටුවේ බේල්ස් උඩ පතිත වුවද ට්‍රෙම්ලට්ගේ අවාසනාවට බේල්ස් ඉවත් නොවීම නිසා මංගල එක්දින තරගයේම කඩුලු ත්‍රිත්වයක් ලබාගත් මුල්ම පන්දු යවන්නා වීමට ට්‍රෙම්ලට්ට තිබූ අවස්ථාව අහිමි විය.
ඇන්තනී ස්ටුවර්ට්ගේ අවසන් තරගයේ කඩුලු ත්‍රිත්වය
ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නෙකු ඇන්තනී ස්ටුවර්ට් 1996/97 ඕස්ට්‍රේලියානු වාර්ෂික තුන්කොන් තරගාවලියේ පකිස්තානය සමඟ මෙල්බර්හ හිදී පැවති තරගයක දී ඉජාස් අහමඩ්, මොහොමඩ් වසීම් හා මොයින් ඛාන් යන පකිස්තානු පිතිකරුවන්ව දවාගෙන කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළේය. මෙම කඩුලු ත්‍රිත්වයේ ඇති විශේෂත්වය වන්නේ ඇන්තනී ස්ටුවර්ට් සහභාගි වූ අවසන් එක්දින තරගය එය වීමයි.
වාස් හා අකීබ් ජාවෙඩ්ට උරුමවූ විශේෂ වාර්තාව
1991 වසරේ අකීබ් ජාවෙඩ් ඉන්දියාවට එරෙහිව කඩුලු ත්‍රිත්වය ලබාගත් අවස්ථාවේ අකීබ් ජාවෙඩ් ලකුණු 37කට කඩුලු 7ක් දවා ගනිමින් එම අවදියේ කොදෙව් වේගපන්දු යවන්නෙකු වූ වින්ස්ටන් ඩේවිස් 51/7ක් ලෙස එක්දින තරගයක වාර්තා කර තිබූ හොඳම පන්දු යැවීමේ වාර්තාව බිඳහෙලීය.
එලෙසම චමින්ද වාස් 2001 වසරේ දී සිම්බාබ්වේ පිලට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් ලබාගත් අවස්ථාවේ 19/8ක් ලෙස කඩුලු ලබා ගනිමින් එම අවදියේ මුරලිදරන් 30/7ක් ලෙස පිහිටුවා තිබූ එක්දින තරගයක හොඳම පන්දු යැවීමේ වාර්තාව බිඳහෙලීය.
වැඩිම එක්දින කඩුලු ත්‍රිත්ව වාර්තා වූ පිටිය
මේ දක්වා තනි ක්‍රීඩා පිටියක වාර්තා වූ වැඩිම කඩුලු ත්‍රිත්ව ප්‍රමාණය වන කඩුලු ත්‍රිත්ව 5ක් බංග්ලාදේශයේ ශෙරේ බංග්ලා පිටියේ දී වාර්තා වී ඇත. මීට අමතරව කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ දී හා සාජාහි දී කඩුලු ත්‍රිත්ව 4 බැගින් වාර්තා වී ඇත.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<