1983 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සත්කාරකත්වය ලබාදීමෙන් අනතුරුව නැවතත් ලෝක කුසලාන තරගාවලියක සත්කාරක රට වීමේ භාග්‍යය උදා කරගත් එංගලන්තය, මෙවර තරගාවලිය සංවිධානය කළේ ස්කොට්ලන්තය, වේල්සය, අයර්ලන්තය සහ නෙදර්ලන්තය යන රටවල් සමඟ එක්වෙමිනි.
අෆ්රිඩිගේ චරිතාප්‍රදානයෙන් ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ගේ බෙලි කැපෙයි
ක්‍රීඩා පිටිය තුල දී පමණක් නොව ඉන් පිටතදීත් ඉතාමත් විනෝදකාමි සරල චරිතයක් ලෙස පාකිස්තාන කණ්ඩායමේ හිටපු නායකයෙකු…
අවසන් වරට පැවති 1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී මෙන් ඒ වනවිට ICC පූර්ණ සාමාජිකත්වය ලබා සිටි රටවල් 9 මෙවර තරගාවලිය සඳහා සුදුසුකම් ලබා තිබිණි. ඊට අමතරව 1997 වසරේ පැවති ICC කුසලාන තරගාවලියේ ශූරතාවය දිනූ බංගලාදේශය මෙන්ම පිළිවෙලින් එහි අනුශූරතාවය සහ තෙවන ස්ථානය දිනූ කෙන්යාව සහ ස්කොට්ලන්තය ද තරගාවලියට එක්විය.
Courtesy – gettyimages
තරගාවලිය පැවති ආකාරය
තරගාවලිය සඳහා එක්වූ රටවල් 12, A සහ B ලෙස කාණ්ඩ 2කට බෙදා තිබූ අතර සෑම කණ්ඩායමක්ම පළමු වටයේ තරග වලදී කාණ්ඩයේ සෙසු කණ්ඩායම් සමඟ තරග වැදුනි. පළමු වටය අවසානයේදී කාණ්ඩයේ ඉහළින්ම සිටි රටවල් 3, සුපිරි හයදෙනාගේ වටයට සුදුසුකම් ලැබීය. එලෙස සුපිරි හයදෙනාගේ වටයට සුදුසුකම් ලැබූ රටවල් වලට අනිත් කාණ්ඩයෙන් පැමිණි රටවල් 3 සමඟ තරග වදින්නට සිදුවූ අතර අවසානයේදී ඉහළම ප්‍රසාද ලකුණු ලබාගත් කණ්ඩායම් 4ට අවසන් පූර්ව වටයට යාමට වරම් හිමිවිය.
A කාණ්ඩය යටතේ තරග කළ රටවල්
- එංගලන්තය
- ශ්‍රී ලංකාව
- දකුණු අප්‍රිකාව
- ඉන්දියාව
- සිම්බාබ්වේ
- කෙන්යාව
B කාණ්ඩය යටතේ තරග කළ රටවල්
- ඕස්ට්‍රේලියාව
- පකිස්තානය
- නවසීලන්තය
- බටහිර ඉන්දීය කොදෙව්
- බංගලාදේශය
- ස්කොට්ලන්තය
Courtesy – worldwidecricketstudio.blogspot.com
තරගාවලිය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම
1998 වසරේ අගෝස්තු මාසයේ එංගලන්තයේදී පැවති තුන්කොන් තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම, ඉන් අනතුරුව ලෝක කුසලාන තරගාවලිය දක්වා පැවති එක්දින තරග 19න් ජයග්‍රහණය කර තිබුණේ තරග 4ක් පමණි. එම තරග සියල්ලම මව්බිමෙන් පිටතදී පැවතුණත් ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එක්වූයේ පරාජිත මානසිකත්වයෙනි.
ක්‍රිකට් වෙනස් වුණු ලෝක කුසලානේ සංධිස්ථාන
දිනෙන් දින ලෝකය දියුණුවට පත්වනවා සේම ක්‍රිකට් ක්‍රීඩාව ද අදහා ගත නොහැකි පරිවර්තනයකට ලක්වී තිබේ. කොටින්ම අද තියෙන්නේ…
මෙම තරගාවලිය සඳහා එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම පහත පරිදි විය.
- අර්ජුණ රණතුංග (නායක)
- අරවින්ද ද සිල්වා (උප නායක)
- රොෂාන් මහානාම
- සනත් ජයසූරිය
- හෂාන් තිලකරත්න
- රොමේෂ් කලුවිතාරණ
- මුත්තයියා මුරලිදරන්
- මාවන් අතපත්තු
- චමින්ද වාස්
- චන්දික හතුරුසිංහ
- ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ
- රුවන් කල්පගේ
- මහේල ජයවර්ධන
- උපුල් චන්දන
- එරික් උපශාන්ත
Courtesy – gettyimages
තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දස්කම්
1996 වසරේ ලෝක ශූරයන් ලෙසින් මෙම තරගාවලිය සඳහා සහභාගි වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට සුපුරුදු දස්කම් පෙන්වීමට නොහැකි විය. තරගාවලිය අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදුන් තරග 5න් තරග 2ක් පමණක් ජයග්‍රහණය කළ අතර පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වීමට ඔවුන්ට සිදුවිය.
එංගලන්ත කණ්ඩායම හමුවේ මුල්ම තරගයෙන්ම කඩුලු 8ක පරාජයක්
තරගාවලියේ සමාරම්භක තරගය ලෙසින් ලෝඩ්ස් පිටියේදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ නායක ඇලෙක් ස්ටුවර්ට්, ශ්‍රී ලංකා කණ්ඩායමට මුලින්ම පන්දුවට පහරදීම සඳහා ඇරයුම් කළේය. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය වූ සනත් ජයසූරිය සහ රොෂාන් මහානාම පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 42ක සබඳතාවයක් ගොඩනැගුවද එම අවස්ථාවේ ඇලන් මුලාලි ප්‍රමුඛ එංගලන්ත වේගපන්දු යවන්නන් කිහිපදෙනා ඉතාමත් දක්ෂ අයුරින් පන්දු යැවූ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 5ම ලකුණු 65ක් තුළ බිඳ වැටුණි.
Courtesy – gettyimages
එලෙස ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු තත්වයකට වැටී සිටි අවස්ථාවේ පිටියේ එක්වූ අර්ජුණ රණතුංග සහ රොමේෂ් කලුවිතාරණ, 6වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ අගනා ලකුණු 84ක සබඳතාවය නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48.4කදී සියලු පිතිකරුවන් දැවී ලකුණු 204ක් ලබාගැනීමට හැකිවිය.
Courtesy – gettyimages
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රොමේෂ් කලුවිතාරණ පන්දු 57කින් ලකුණු 66ක් ලබාගන්නා විට පන්දු යැවීමෙන් ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ කළ ඇලන් මුලාලි ලකුණු 37කට කඩුලු 4ක් ලබාගත්තේය.
Courtesy – gettyimages
ලකුණු 205ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 46.5කදී කඩුලු 2ක් පමණක් දැවී පහසුවෙන් ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේ නායක ඇලෙක් ස්ටුවර්ට් සහ ග්‍රැහැම් හික් ලබාගත් අර්ධ ශතකයන් නිසාවෙනි.
Courtesy – gettyimages
Courtesy – gettyimages
කෙටි ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව – 204 (48.4), (කලුවිතාරණ – 57, අර්ජුණ – 32, මුලාලි – 37/4)
එංගලන්තය – 207/2 (46.5), (ස්ටුවර්ට් – 88, හික් – 73*)
දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නන් ඉදිරියේ ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ වෙයි
ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව නොදම්ප්ටන් හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය පරාජය වී මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මුල් කඩුලු 8ම ලකුණු 122කට දැවීගිය අතර එහිදී ඩැරල් කලිනන් පමණක් ලකුණු 49ක් ලබාගෙන ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට තර්ජනයක් එල්ල කළේය.
Courtesy – gettyimages
ඒ වනවිට තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම සතුව පැවතුණත් කිසිවෙකු නොසිතූ අයුරින් ක්‍රියාත්මක වුණු ලාන්ස් ක්ලූස්නර් පන්දු 45කින් නොදැවී ලබාගත් ලකුණු 52 නිසා නියමිත පන්දුවාර 50 අවසානයේදී අප්‍රිකානු ලකුණු පුවරුව 199/9 බවට පත්විය.
Courtesy – gettyimages
ලකුණු 200ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 5ම ලකුණු 31ක් තුළ දවා ගැනීමට දකුණු අප්‍රිකානු ආරම්භක පන්දු යවන්නන් යුගලය වූ ෂෝන් පොලොක් සහ ජැක් කලිස් සමත් විය. ඉන් ඇතිවූ පසුබෑම වළක්වා ගැනීමට අසමත් වුණු ශ්‍රී ලංකා පිතිකරුවන්ට අවසානයේදී පන්දුවාර 35.2කදී සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 110ක් පමණි.
Courtesy – gettyimages
කෙටි ලකුණු පුවරුව
දකුණු අප්‍රිකාව – 199/9 (50), (ක්ලූස්නර් – 52*, කලිනන් – 49, මුරලිදරන් – 25/3, වාස් – 46/3)
ශ්‍රී ලංකාව – 110 (35.2), (මහානාම – 36, මහේල – 22, ක්ලූස්නර් – 21/3, කලිස් – 26/3)
සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ කඩුලු 4ක ජයක්
Courtesy – gettyimages
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායමේ මුල් කඩුලු 6ම ලකුණු 94ක් තුළ බිඳ වැටුණත් 7වන කඩුල්ල වෙනුවෙන් ඇන්ඩි ෆ්ලවර් සහ ස්ටුවර්ට් කාලයිල් ගොඩනැගූ ලකුණු 68ක සබඳතාවය නිසා නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 197ක් ලබාගැනීමට ඔවුන්ට හැකිවිය.
Courtesy – gettyimages
අනතුරුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මාවන් අතපත්තු සහ රොෂාන් මහානාම 2වන කඩුල්ල වෙනුවෙන් එකතු කළ ලකුණු 62 නිසා 75/1 ලෙස ස්ථාවර තත්වයක තිබිණි. ශ්‍රී ලංකා ඉනිම එක්වරම 108/4 බවට පත්වුන ද අවසානයේදී පන්දුවාර 46කදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගියේ කඩුලු 6ක් දැවී තිබිය දීය.
Courtesy – gettyimages
Courtesy – gettyimage
කෙටි ලකුණු පුවරුව
සිම්බාබ්වේ – 197/9 (50), (ග්‍රාන්ට් ෆ්ලවර් – 42, ඇන්ඩි ෆ්ලවර් – 41, ප්‍රමෝද්‍ය – 30/3)
ශ්‍රී ලංකාව – 198/6 (46), (අතපත්තු – 54, මහානාම – 31, මහේල – 31, ගයි විට්ල් – 35/3)
ගංගුලී සහ ඩ්‍රාවිඩ් ශ්‍රී ලංකා බලාපොරොත්තු සුන් කරයි
ටෝන්ටන් හීදී පැවති ඉන්දු – ශ්‍රී ලංකා තරගය දෙපිළටම ඉතාමත් තීරණාත්මක තරගයක් වූයේ එම තරගය පරාජය වන කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට නියමිතව තිබීමයි.
එම නිසා මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක අර්ජුණ රණතුංග ඉන්දීය කණ්ඩායමට පන්දුවට පහරදීමට ආරාධනා කළේය. නමුත් එදා ගංගුලී සහ ඩ්‍රාවිඩ් 2වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 318ක සබඳතාවයක් පවත්වමින් එම අවදියේ එක්දින පිටියේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වූ ඉහළම සබඳතාවය වාර්තා කිරීමට සමත් විය. එම නිසාම නියමිත පන්දුවාර 50 අවසානයේදී ඉන්දීය ලකුණු පුවරුව සටහන් වූයේ 373/6ක් ලෙසිනි.
Courtesy – gettyimages
එහිදී ඩ්‍රාවිඩ් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් පන්දු 129කදී ලකුණු 145ක් ලබාගන්නා විට ගංගුලී පන්දු 158කදී ලකුණු 183ක් ලබාගත්තේ හයේ පහර 17ක් සමඟිනි. එම අවදිය වනවිට එක්දින තරගයක ඉන්දීය පිතිකරුවෙකු ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය ගංගුලී විසින් වාර්තා කළ එම ඉනිමේදී ඔහුගේ උඩපන්දු 3ක් ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතින් ගිලිහී යාම කණගාටුදායක සිදුවීමක් විය.
Courtesy – gettyimages
තරගාවලියේ තවදුරටත් රැඳී සිටීම සඳහා ලකුණු 374ක දැවැන්ත ඉලක්කයක් පසුපස හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අරවින්ද ද සිල්වා පමණක් ලකුණු 56ක් ලබාගනිමින් සාර්ථක වූ අතර සෙසු පිතිකරුවන් අසාර්ථක වීම නිසා ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 42.3කදී ලකුණු 216කට සීමා වූයේ ඉන්දියානුවන්ට ලකුණු 157ක දැවැන්ත ජයක් උරුමකර දෙමිනි.
Courtesy – gettyimages
කෙටි ලකුණු පුවරුව
ඉන්දියාව – 373/6 (50), (ගංගුලී – 183, ඩ්‍රාවිඩ් – 145, ප්‍රමෝද්‍ය – 65/3)
ශ්‍රී ලංකාව – 216 (42.3), (අරවින්ද – 56, අර්ජුණ – 42, රොබින් සිං – 31/5)
කෙන්යාව හමුවේ ලකුණු 45ක ජයක් ලබයි
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ අවසන් තරගය ලෙසින් සදම්ප්ටන් හිදී පැවති මෙම තරගයේදී මාවන් අතපත්තු සහ අර්ජුණ රණතුංග ලබාගත් අර්ධ ශතක නිසා ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 275ක් ලබාගැනීමට සමත් විය.
Courtesy – gettyimages
ලකුණු 276ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය කෙන්යානු කණ්ඩායමේ මුල් කඩුලු 5ම ලකුණු 52ක් තුළ බිඳ වැටුණත් ඔඩුම්බේ සහ වාඩර් 6වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 161ක සබඳතාවය නිසා නියමිත පන්දුවාර 50 තුළ කෙන්යානු ඉනිම 230/6ක් ලෙස නිමාව දුටුවේය.
කෙටි ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව – 275/8 (50), (අතපත්තු – 52, අර්ජුණ – 50, ඔඩෝයෝ – 56/3)
කෙන්යාව – 230/6 (50), (ඔඩුම්බේ – 82, වාඩර් – 73*)
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<