අච්චුපොතේ පින්තූරෙන් බර එසවීමට සිත් ගත් CWG වීරයා

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

557

හිරු නොබසින අධිරාජ්‍යයේ පැවති 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා පදක්කම් සටහනට එක් වූ පළමු ක්‍රීඩකයා වූයේ දිලංක ඉසුරු කුමාර.

බර එසවීම ඉසව්වේ පිරිමි කිලෝග්‍රෑම් 55 බර පංතිය නියෝජනය කළ දිලංක මෙහි දී දිනා ගත්තේ ලෝකඩ පදක්කමක්.

අවුරුදු 16ක් තිස්සේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක දී අපිට රන් පදක්කමක් ලැබිලා නැහැ. මගේ උත්සාහය වුනේ මගේ රට රනින් බබළවන්න. නමුත් ඒ අවස්ථාව මට ලැබුණේ නැහැ. අවසන් අවස්ථා දෙකේ දී ම මට සාර්ථක ඔසවා ගැනීමක් කරන්න බැරි වුනා. ඒ ගැන ලොකු දුකක් තියෙනවා. නමුත් ලැබූ පදක්කම ගැන ලොකු ආඩම්බරයක් තියෙනවා”, දිලංක ThaPapare.com සමඟ කතාබහට එක් වෙමින් පැවසුවා.

දිලංක මෙම ඉසව්වේ දී Snatch ක්‍රමයට කිලෝග්‍රෑම් 105ක් ද, Clean & Jerk ක්‍රමයට කිලෝග්‍රෑම් 120ක් ද ඔසවනු ලැබුවා. ඒ අනුව ඔහු එසවූ සම්පූර්ණ බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 226ක්. අවසන් අවස්ථාවේ දී Snatch ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 112ක බර එසවීමටත් සහ Clean & Jerk ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 141ක බර එසවීමටත් දිලංක ගත් උත්සාහයනුයි අසාර්ථක වුනේ.

තරගයට යනවා නම් පදක්කමකට පුහුණුවීම් කරල යන්න ඕන කියලයි මගේ පුහුණුකරු රුක්ෂාන් ගුණතිලක සර් නිතර ම කියන්නේ. පුහුණුවීම්වල දී රන් පදක්කම ගත්ත කෙනාට වඩා මම වැඩියෙන් කළා. නමුත් තරගයේ දී බැරි වුනා. රන් පදක්කමකට යනවා නම් ඉහළ තැනකින් පටන් ගන්න ඕන. ඒත් එම උත්සාහයන් අසාර්ථක වුනොත් සම්පූර්ණ තරගයට ම ඒක බලපානවා. ඒ නිසා රන් පදක්කමකට ලෝභ වෙලා යනවාට වඩා මගේ රට වෙනුවෙන් මොකක් හරි පදක්කමකට යමු කියන තැන සිට තමයි මම මේ තරගයට එක් වුනේ.”

දිලංකගේ මේ ගමන අතිශය දුෂ්කර ක්‍රියාවන් සමඟ පැමිණි ගමනක සුවිශේෂී සංධිස්ථානයක්. මෙතැන් සිට තවත් බොහෝ දුරක් දිලංකට යා යුතුව තිබෙනවා. ඉන් ආසන්නත ම අවස්ථාව එළඹෙන දෙසැම්බර් මාසයේ බහරේන් හී පැවැත්වෙන ලෝක ශූරතා බර එසවීමේ තරගාවලිය. එහි මේ වන තෙක් අපේ ක්‍රීඩකයෝ පදක්කමක් දිනා නෑ.

උත්සාහ කරනවා. බැරි වෙන එකක් නැහැ.” දිලංක පවසනවා.

දිලංකගේ ගම කුරුණෑගල, උඩගම, වැල්ලව කියන ප්‍රදේශය. පුංචි ම කාලේ සිට සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගන්නේ කුරුණෑගල, ගැට්ටුවාන මහා විද්‍යාලයේ. එතෙන්දි තමයි දිංලක බර ඉසිලීමේ ක්‍රීඩාවට යොමු වෙන්නේ. ඒ එම පාසලේ ක්‍රීඩා ගුරුවරයෙක් ලෙසින් එවකට කටයුතු කළ වන්නිනායක නැමති ගුරුවරයෙක්ගේ මාර්ගයෙන්.

ඒ වෙද්දී මම හිටියේ 9 පංතියේ. අපි පාසලේ වොලිබෝල් සෙල්ලම් කරමින් සිටියේ. සර් ඇවිත් ඇහුවා බර ඉසිලීමේ ක්‍රීඩාව කරන්න කැමති ද කියලා. එතකොට අපි දන්නේ නෑ, බර ඉසිලීමේ ක්‍රීඩාව කුරුණෑගල තියෙනවා ද කියලවත්. කොහොම වුනත් ඒ දවස්වල චින්තන ගීතාල් විදානගේගේ පිංතූරයක් අපේ අච්චු පොත්වල තිබුණා. ඒ ආසාවත් එක්ක තමයි මම බර ඉසිලීමේ ක්‍රීඩාවට යොමු වුනේ. වන්නිනායක සර් අපිව එක්කගෙන ගහිල්ලා රුක්ෂාන් ගුණතිලක සර්ට බාර දුන්නා. සර් තමයි එදා සිට අද දක්වා ම මගේ පුහුණුකරු වුනේ.”

දැන් කට්ටිය වොලිබෝල් සෙල්ලම පැත්තක තියලා වැඩි හරියක් ජිම් එකේ රස්තියාදුව. කතාවත් බර ඉසිලීම් ගැන ම තමයි. දිලංක ද මේ පුරුකේ සවිමත් කෙනෙක්. ඒත් ඉතිං ඒ වෙද්දී ගෙදරින් පුංචි පුංචි දෝස් මුර එන්න ගත්තා. “පාසලේ වැඩ පැත්තක මෙයාලගේ වැඩේ බර උස්සන එක” කියලා.

පුහුණුකරු රුක්ෂාන් ගුණතිලක සමඟ

මේ වගේ ම පාසලේ ගුරුවරු වැඩි දෙනෙක්ටත් දිලංකලාගේ මේ බර ඉසිලීමේ ක්‍රීඩාව රිස්සුවේ නෑ. එය නතර කරන්න කියා කොතෙකුත් කිව්වත් ඔවුන් ජිම් යන එක නතර කළේ නැහැ. මේ නිසා බර ඔසවන සියලු ක්‍රීඩකයන්ගේ දෙමාපියන් පාසලට කැඳෙව්වා.

බර උස්සන එකට කොහොමටත් ගෙදරින් කැමති නැතිව හිටියේ. මිස්ලගෙ කීම අහල තවත් ඒ විරෝධය වැඩි වුනා. ගෙදර ගියේ මී හරකෙක්ට තලනවා වගේ තලාවි කියන බයකින්. ඒ බය සතියක් දෙකක් විතර තිබුණා. ඊට පස්සේ ඉතිං දිනපතා ජිම් ගියපු එක සතියක, දවසකට දෙකකට සීමා වුනා.”

පාසල් කාලයේ දී නිවාසාන්තර ක්‍රීඩා උත්සවවල මීටර් 100, 200 තරගවලට සහභාගී වී ජයග්‍රහණ නොලබා තරග අවසන් කරපු දිලංක, බර එසවීමේ  තරගයක් සඳහා පළමු වරට සහභාගී වෙන්නේ 2011 අවුරුද්දේ. ඒ ජාතික කනිෂ්ඨ බර එසවීමේ තරගය සඳහා.

වයස අවුරුදු 17න් පහළ කිලෝග්‍රෑම් 45 බර පංතියේ ඉසව්වට සහභාගී වෙද්දී දිලංකට වයස අවුරුදු 15ක්. ඒත් සහභාගී වූ පළමු තරගයෙන් ම තෙවැනි ස්ථානය ලබා ගැනීමට දිලංකට හැකි වෙනවා. ඉන් අනතුරුව වසරේ දී එම ඉසව්වේ ම රන් පදක්කම දිනා ගැනීමට දිලංක සමත් වෙනවා.

මෙය ගැට්ටුවාන විද්‍යාලය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙසින් ඉතිහාසයට එක්වුනා. ඒ පාසලේ කිසිදු පහසුකමක් නොමැතිව ලබා ගත් ජයග්‍රහණයක් හේතුවෙන්. දිලංක පුහුණුවීම් කළේ කුරුණෑගල නගර සභා ශාරීරික කායවර්ධන මධ්‍යස්ථානයේ. එබැවින් එහි ප්‍රතිඵලය කාගේත් ඇගයීමට ලක් වුනා. මේ ජයග්‍රහණය තවත් වැදගත් වන්නේ එතෙක් බර එසවීමේ ක්‍රීඩාව සම්බන්ධයෙන් ගෙදරින් වූ විරෝධය පහව යෑමයි.

එම ජයග්‍රහණයෙන් අනතුරුව දිලංක උසස් පෙළ අධ්‍යාපන කටයුතු මෙන් ම බර එසවීමේ ක්‍රීඩාව තව දුරටත් ප්‍රගුණ කිරීමේ ඉලක්ක ඇතිව කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයට ඇතුළත් වෙනවා.

එහි දී 2013 සිට 2016 වසර දක්වා ජාතික කනිෂ්ඨ බර ඉසිලීමේ තරගාවලියේ තමන් සහභාගී වූ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට දිලංක සමත් වෙනවා. ගැට්ටුවානේ සිටි වසරත් සමඟ ඔහු පිට පිට වසර 5ක් ම එහි ශූරයා බවට පත් වෙනවා.

ඊට අමතරව ජාතික පාසල් ක්‍රීඩා උළෙලේ 2013 වසරේ සිට 2016 වසර දක්වා වසර 4ක් පිට පිට ම එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ද ඔහු සමත් වෙනවා.

මේ අතර 2013 වසරේ මැලේසියාවේ දී පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය කනිෂ්ඨ බර එසවීමේ තරගාවලිය නියෝජනය කිරීමට ද දිලංක සමත් වෙනවා. ඒ කිලෝග්‍රෑම් 55 බර පංතිය නියෝජනය කරමින්. එම ඉසව්වෙන් ඔහුට හිමි වෙන්නේ සිව්වැනි ස්ථානය.

අනතුරුව දිලංකගේ ගමන නිර්මාණය වන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවත් සමඟ. ඒ 2016 වසරේ දී ශ්‍රී ලංකා පොදු සේවා බලකාය හා එක්වීමත් සමඟ.

මම ඒ වෙද්දී බර එසවීමේ ක්‍රීඩාවට වහවැටිලා හිටියේ. ඒත් ක්‍රීඩාව කරගෙන යන්න අවශ්‍ය දේවල් ගන්න හැකියාවක් තිබුණේ නැහැ. නමුත් ක්‍රීඩාව දිගට ම කරගෙන යන්න ලොකු උවමනාවක් තිබුණා. මේ නිසා ම තමයි යුද හමුදාවට බැ‍ඳෙන්න අදහස් කළේ,” දිලංක පවසනවා.

ඒත් ඉතිං දිලංකට ලේසියෙන් යුද හමුදාව හා එක්වෙන්න අවස්ථාව උදා වෙන්නේ නෑ. බර එසවීමේ ක්‍රීඩාවට එක් වීමේ දී ගෙදර පිරිසගේ විරෝධතාව කෙසේ ද ඒ ලෙස ම විරෝධතාවක් මීට ද එක් වෙනවා.

නමුත් පෙර සේ ම දිලංක තම හිතූ මනාපයට වැඩ කිරීමට කටයුතු කරනවා. කර ගත හැකි යමක් නොමැති වූ තැන නිවැසියන් නිහඬ වෙනවා. ඒ අනුව එතැන් සිට යුද හමුදාව නියෝජනය කරන දිලංක 2016 වසරේ සිට 2018 වසර දක්වා වූ ජාතික මහා ක්‍රීඩා උළෙලවල දී  රන් පදක්කම් දිනා ගන්නවා. ඊට අමතර ව ජාතික මහා ක්‍රීඩා උළෙලේ 2017 වසරේ සිට 2019 වසර දක්වා පිට පිට අවුරුදු ත්‍රිත්වයක දී රන් පදක්කම දිනා ගැනීමට සමත් වෙනවා.

ඊට අමතරව යුද හමුදා අන්තර් රෙජිමේන්තු තරගාවලියේ 2016 වසරේ දී රන් පදක්කමත් සහ දක්ෂතම ක්‍රීඩකයා ලෙසත්, ඊට පසුව 2018 සහ 2019 වසරේත් සහ 2021 වසරේ දීත් රන් පදක්කම සහ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් ද සම්මානයට පාත්‍ර වෙනවා. ආරක්ෂක සේවා බර ඉසිලීමේ 2018 තරගාවලියේ රන් පදක්කම සේ ම දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් ද සම්මාන ලබා ගැනීමට ඔහු සමත් වෙනවා.

යුද හමුදාව තමයි මගේ ක්‍රීඩාවේ මව් විදිහට සලකන්නේ. යුද හමුදාව හා එක් වූ පළමු වසරේ දී ම මම මැලේසියාවේ පැවති 2016 යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලීය බර එසවීමේ තරගාවලිය සඳහා සහභාගී වෙනවා. එහි දී මම රන් පදක්කම දිනා ගන්නවා. මම හිතන්නේ ඒක තමයි මගේ බර එසවීමේ ක්‍රීඩාවේ අතිශය තියුණුම අවස්ථාව.”

කුඩා දිලංක මව සහ පියා සමඟ

මගේ පියා ඇතුළු සිව්දෙනෙක්ගෙන් යුත් පවුලේ වැඩිමලා වූ දිලංකගේ පියා ෂෙල්ටන් ජයතිලක, වෘත්තියෙන් වඩුවැඩෙහි නිරත වෙන්නෙක්. මව චාන්දනී කුමාරි, ගෘහණියක්. පවුලේ බාලයා, අංජුල දිනේෂ් කුමාර. ඔහු ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ සාමාන්‍ය පෙළ හදාරා ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින්නෙක්. එමෙන් ම ඔහු ද තම සහෝදරයාගේ අඩි පාරේ පා තබමින් බර එසවීමේ ක්‍රීඩාවේ නියුතු වන්නෙක්.

යුද හමුදාවට බැඳුණ පළමු අවුරුද්දේ ම මගේ තාත්තාත් නැති වෙනවා. ඒක මම එදා කොහොම දරා ගත්ත ද කියන එක අදටත් මට හිතා ගන්න බැහැ. මම මාර විදිහට කඩා වැටුණා. අම්මට රස්සාවක් නෑ. මල්ලි බලා ගන්න ඕන. එයාගෙ අධ්‍යාපන කටයුතු කරන්න ඕන. ආච්චි, සීයා ඉන්නේ ගෙදර. ඔවුන් බලා ගන්න ඕන. මට මේ කිසි දේක තේරුමක් තිබුණේ නෑ.”

ක්‍රීඩාව නතර කරන්න හිතුණා,” ඒ දිලංක කියූ කතාව. නමුත් ඊට එකඟ වී කටයුතු කරන්නට නම් මෙතරම් දුරක් ආ යුතු ද?

දිලංක තම ආදරණීයයන් සමඟ

මම පළමු පදක්කම ගෙනෙද්දි තාත්තා මාර සතුටක් ලැබුවා. ඒක මගේ හිතේ තිබුණා. මට හිතුණා තාත්තගෙ සතුට ඉස්සරහටත් ගෙනියන්න ඕන නම් මම තවදුරටත් ක්‍රීඩාවේ යෙදිය යුතුයි කියලා. ඒ වගේ ම තාත්තා වෙනුවෙන් ජයග්‍රහණය කරන්න ඕන කියලා.”

සියලු ව්‍යාකූල තත්ත්වයන් පසෙක දමමින් දිලංක තම අභිප්‍රායන් වෙනුවෙන් නැගී සිටියා. ඔහු පෙරටත් වඩා මහන්සි වුනා. එහෙත් පවුලේ දරිද්‍රතාවයන් එන්න එන්න ම වැඩි වෙද්දී දිලංකට ක්‍රීඩාව ද – යුද හමුදාව ද යන ප්‍රශ්නයේ පැටලුණා.

ආමි එකෙන් පඩියක් ලැබුණා. ඒත් ඒකෙන් ලොකු දෙයක් කරන්න බැහැ. ක්‍රීඩාවට අවශ්‍ය යමක් කර ගත්තොත් ගෙදර බොහෝ දේවල් අඩු වෙනවා. මේ දේවල් බලා සිටි අම්මා අවසානයේ දී කුලී වැඩ කරන්න පටන් ගන්නවා. ඒ ලැබෙන මුදලින් ගෙදර අවශ්‍යතාවන් පිරිමැහුවා. මට කිසිදු බරක් දුන්නේ නැහැ.

අම්මා රස්සාවක් කරන්න කැමති නැහැ. අම්මා රස්සාවකට ගියේ  මම නිසා. මට ක්‍රීඩාව කරන්න ඕන, දිනන්න ඕන නිසා. කවදාහරි දවසක අම්මව මේ බරෙන් නිදහස් කරන්න ඕන කියන හැඟීමත් තිබුණා. දිනනවා කියන අදහස නම් ඔලුවේ ‍ලොකුවට ම තිබුණා.”

එතැන් සිට කෙතරම් දුෂ්කරතා පිවිසියත් දිලංක නෙමේ තම ගමන අවසන් කළේ. ඔහු බිඳෙන් බිඳ තම ගමන ගොඩ නගා ගත්තා. ඒ අනුව ඔහු ශ්‍රී ලංකා යුද හමුදාව සහ ශ්‍රී ලංකා බර එසවීමේ කණ්ඩායම නියෝජනය කරමින් තරග රාශියකට සහභාගී වුනා.

රන් දිනූ යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලීය තරගයෙන් පස්සේ දිලංක තරග කිහිපයකට ම සහභාගී වෙනවා. 2017 වසරේ දී ඕස්ට්‍රේලියාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය බර එසවීමේ තරගාවලියේ සිව්වැනි ස්ථානයට පත් වෙන ඔහු 2019 වසරේ දී චීනයේ පැවති ආසියාතික බර එසවීමේ තරගයට කිලෝග්‍රෑම් 55 බර පංතියෙන් සහභාගී වී ලෝකඩ පදක්කම දිනා ගන්නවා. එය ඔහුගේ ක්‍රීඩා ඉතිහාසයේ ආසියාතික පදක්කමක් දිනා ගත් පළමු අවස්ථාව.

ඉන් අනතුරුව වසරේ දී නේපාලයේ පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කමත්, 2019 තායිලන්තයේ පැවති ලෝක ශූරතාවලියේ 10 වැනි ස්ථානයත්, 2021 ආසියානු බර ඉසිලීමේ දී Clean & Jerk ක්‍රමය යටතේ රිදී සහ සමස්ත තරගාවලියේ ලෝකඩ පදක්කමත් දිනා ගන්නවා.

මගේ තරග ඉතිහාසයේ සහභාගී වූ අවාසනාවන්ත ම තරගය වුනේ 2021 උස්බෙකිස්තානයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය බර එසවීමේ සහ ලෝක ශූරතාවලිය. එහි දී මගේ උත්සාහක අවස්ථා 3 ම අහිමි වුනා. එදා මම ගොඩක් දුක් වුනා. නැවත වතාවක් එහෙම වෙන්න දෙන්නෙ නෑ කියන අධිෂ්ඨානයෙන් කටයුතු කළා. ඒ අනුව 2022 සිංගප්පූරු ජාත්‍යන්තර තරගාවලියේ දී මම ලෝකඩ පදක්කම දිනා ගන්නවා. ඊට පස්සේ මේ තරගාවලිය.”

මේ ජයග්‍රහණ මතින් ආ ගමන තව දුරටත් ජයග්‍රහණ මතින් ම තම අරමුණ කරා යෑමයි දිලංකගේ බලාපොරොත්තුව. ඒ වෙනුවෙන් ඔහුත් සමග සිටින පුහුණුකරු රුක්ෂාන් ගුණතිලක මහතා දක්වන සුවිශේෂී සේවය ඔහු අගය කරනවා.

රුක්ෂාන් සර් නැත්නම් මේ ජයග්‍රහණ කිසිවක් නැහැ. ඒ වගේ ම තමයි යුද හමුදාව. ඔවුන් මට උපරිම සහයෝගයක් ලබා දෙනවා. ක්‍රීඩාව වෙනුවෙන් ම මාව නිදහස් කරලා තියෙනවා. ඒ වෙනුවෙන් යුද හමුදාපතිතුමා ඇතුළු යුද හමුදා පොදු සේවා බලකායේ සියලුම නිලධාරීන්ට සහ මෙතෙක් මම වෙනුවෙන්, මගේ ක්‍රීඩාව වෙනුවෙන් උදව් කළ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා,” දිලංක පවසනවා.

26 හැවිරිදි වියේ පසුවෙන මේ දිරිමත්, ජවසම්පන්න තරුණයාගේ අනාගත බලාපොරොත්තුව වන්නේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් වරම් ලබා ගන්න.

තාත්තා මගේ ජයග්‍රහණ දැකලා නිහඬ ව සතුටු වුන කෙනෙක්. අම්මා මම නිසා කුලී වැඩවලට ගිය කෙනෙක්. ඒ වගේම ආච්චි, සීයා, මල්ලි මගේ මේ ගමන වෙනුවෙන් විශාල කැපවීම් කළා. ඔවුන්ට දක්වන ලොකු ම ගෞරවය තමයි ඔලිම්පික් වරම් දිනා ගැනීම කියලයි මට හිතෙන්නේ. අනිත් එක ක්‍රීඩකයෙක්ගේ ලොකු ම හීනය ඔලිම්පික් නියෝජනය කිරීම. මගේ උත්සාහයත් ඒක.”

දිලංකගේ ජව සම්පන්න ගමනට ThePapare.com වෙතින් සුබ පැතුම්!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<