ඇයි අවුල් ද?

3476

ඔබ මේ පින්තූරයේ දකින්නේ විද්‍යාඥයින් හෝ ශල්‍යවෛද්‍යවරුන් නොවේ. ලෝකයේම මාධ්‍ය පාලකයන් වන්නට හදන ඉන්දියානු මාධ්‍යකරුවෝ එහි අනේක වැරදි දකිමින් අපට ක්‍රීඩාවේ ජීවගුණය කියා දෙන්නට වෑයම් කරති. ඉන්දියානු ප්‍රේක්ෂකයන් ද එසේමය.

ඉතිහාසයේ දරුණුතම පරාජය ලද ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නවතම උපාය මාර්ග තේරීම එක් අතකින් සැබෑ ශල්‍යකර්මයකි. මේ එළඹෙන්නේ ඉන්දියානුවන්ට සිංහලෙන් කියන වෙලාවයි.

“මහත්වරුන්ගේ ක්‍රීඩාව” (Gentlemen’s game) නමින් මීට වසර ගණනාවකට පෙර හැඳින්වූ “ක්‍රිකට්” අද වන විට සම්පූර්ණයෙන්ම වාණිජ මට්ටමට ළඟා වී තිබේ (වගකිව යුත්තන් අප නොවේ). තවදුරටත් එය මහත්වරුන්ගේ ක්‍රීඩාවක් නොවන අතර එය “මහත්වරුන්ට නැරඹිය හැකි ක්‍රීඩාවක්” වෙමින් පවතියි. එක්කෝ අපි එයට “මහත්තුරුන්ගේ ක්‍රීඩාව” යැයි කියමු. මහත්වරු සහ මහත්තුරුන්ගේ වෙනස ද, මහත්වරුන්ගේ සහ මහත් හොරුන්ගේ වෙනස ද ඔබට අමුතුවෙන් පැහැදිලි නොකරමි.

Courtesy – ytimg.com – පාකිස්තානයේ කම්රාන් අක්මාල් සහ ඉන්දියාවේ ඉශාන්ත් ශර්මා වදන් ගැටුමක. සුරේෂ් රෙයිනා ඔවුන් දෙපසට කරමින්.

මින් පෙර පාකිස්තානුවන්ට අමතක නොවන පාඩමක් කියා දුන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම 2017 ඉන්දියානු සංචාරයට පිටත් වන්නේ යම් චකිතයකිනි. මීට මාස කිහිපයකට පෙර අපේ ගෙදරටම පැමිණ අපව කෙලෙසූ ඉන්දියානුවන් හමුවට යෑමට හිත හදා ගැනීම හෝ යම් ආකාරයක අමුතු හැඟීමක් ගෙන ආවේ අප වසර ගණනක “ප්‍රෞඪ ඉතිහාසයක් සහිත ආඩම්බර ජාතියක්” වීම හේතුවෙන්ය. දැන් නම් අප එතරම් ආඩම්බර නැත. මම පම්පෝරි නොගසමි.

කෙසේ වෙතත් පළමු ටෙස්ට් තරගයට ඉන්දියානුවන් කල්කටාවේ දී නිර්මාණය කොටදී තිබුණේ තණකොළ සහිත වේගපන්දු තණතීරුවකි. ඔවුන්ගේ මීළඟ සංචාරය වන දකුණු අප්‍රිකානු සංචාරය සඳහා පුහුණු සැසියක් ලෙස මෙම තරගාවලිය යොදාගන්නා බවක් පළමු තරගය තුළ දී පැහැදිලිව පෙනුණි. මෙය පුහුණු සැසියක් කොටගෙන තවත් ටෙස්ට් රාජ්‍යයක් ලෙහෙසියට තැකුවේ කවුරුන්ද? අප නොවේ.

එහි දී ඉන්දියානුවන්ගේ හොට බිම ඇනුනේ ශ්‍රී ලාංකික වේගපන්දු යවන්නන්ගේ තරම ඔවුන්ට හරිහැටි මැන ගැනීමට නොහැකි වූ නිසයි. පැතලි තණතීරුවල උඩ කරණම් – බිම කරණම් ගසන ඉන්දියානු පිතිකරුවන් පළමු ඉනිමේ දී අනාථ වූ බව කිව යුතුය. ඉන්දියානු මුල්පෙළ බිඳ වැටීමෙන් පසු ඉන්දියානු පිතිකරුවන් කියාසිටියේ පිටිය අඳුරු සහිත බවයි.

ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් පැහැදිලි රිද්මයකට ලංවෙමින් සිටිය දී එය බිඳ දැමීමට යොදාගත් ඉන්දියානු පුහුණුකරු රවී ශාස්ත්‍රිගේ එම උපක්‍රමය දුටු විට සිහි වූයේ වොලිබෝල් තරගයක දී ප්‍රතිවාදීන් වේගයෙන් ඉදිරියට යෑම වළක්වා ගැනීමට විනිසුරුගෙන් කෙටි කාල විවේකයන් ඉල්ලා සිටින පුහුණුකරුවෙකි.

කල්කටා ඊඩන් ගාඩන්ස් ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක කණු පිහිටුවා ඇතත්, ඒවා ටෙස්ට් තරගවල දී ක්‍රියාත්මක කිරීම නීතිගත වී ඇතත් එවැන්නක් අපි නුදුටුවෙමු. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායම මැසිවිලි නැගුවේ නැත.

බැරි තණකොළේ වැඩ පෙන්නන්නට නොගොස් පැතලි තණතීරු මත “ඉන්දියානු වීර ක්‍රියාපෑම” ගැන නම් මට ප්‍රශ්නයක් නැත. මා කියන්නේ බොරුවක් නම් එංගලන්තයට හෝ දකුණු අප්‍රිකාවට ගොස් ටෙස්ට් තරගාවලියක් ජයගන්නටැයි මම ඉන්දියානුවන්ට ආරාධනා කරමි.

නැත නැත! මුළු තරගය පුරාම ශ්‍රී ලංකා කණ්ඩායම කළ කිසිවක් නැත. “ශ්‍රේෂ්ඨ ඉන්දියානු කණ්ඩායම” හමුවේ ශ්‍රී ලංකාව යොදාගත් එකම දක්ෂතාවය නිරෝෂන් දික්වැල්ලගේ “ජිමික්” ය. සුරංග ලක්මාල් පළමු ඉනිමේ දී ඉන්දියානු මුල්පෙළ වනසමින් කඩුලු 4ක් ලැබුවේත් නැත. රංගන හේරත් පිත්ත අතට ගෙන ලකුණු 67ක් ලබා ඉන්දියානුවන් පුදුම කළේද නැත.

Courtesy – ytimg.com – මොහොමඩ් ෂමි සහ නිරෝෂන් දික්වැල්ල වදන් සටනේ

දික්වැල්ල කාලය කා දැමුවේය. එය පමණක් ඉන්දියානුවන්ට මතකය. දික්වැල්ල තනිව කාලය කා දැමුවේ නැත. දික්වැල්ල හා පැටලී ඔහුට ස්වෙච්ඡාවෙන් සේවය සැපයුවේ “උගත් මහත්මා ඉන්දියානු වේගපන්දු යවන්නා” වන මොහොමඩ් ෂමියි.

කාලයාත්‍රාවට ගොඩවෙමු. 1996 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේ දී ඉන්දියාව, ශ්‍රී ලංකාව හමුවේ අසරණ විය. ඊට ඔවුන් දැක්වූ ප්‍රතිචාරය… නැත නැත! “දික්වැල්ල කාලය කා දැමුවේය!” නැවතත් වර්තමානයට!

පළමු ටෙස්ට් තරගයේ දී මට්ටු වීමෙන් පසුව දෙවන ටෙස්ට් තරගය සඳහා “පන්දුව හරහට කැපෙන තණතීරුවක්” අපට ලබා දීම පුදුමයක් නොවීය. ඉන්දියානුවන්ට පුහුණුව ලැබීමට වඩා තරගාවලියේ ජය ලබාගැනීම වැදගත් බව ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ටොක්කක් ඇන පෙන්වා දී තිබුණි.

දෙවන ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා කඩුලු 20න් 13ක් ලබා ගැනීමට ඉන්දියානු දඟපන්දු යවන්නන් සමත් වූයේ දික්වැල්ලට කාලය කා දැමීමට නොහැකි වීම නිසා ය. තණතීරුව “සුපුරුදු ඉන්දියානු වර්ගයේ” එකකි. කෙසේ වෙතත් තරගය අවසන් වුනේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දරුණුතම පරාජය ඔවුන්ට හිමිකර දෙමිනි.

නැවතත් කාල යාත්‍රාවට ගොඩවෙමු. තම දැවැන්ත ප්‍රේක්ෂක ජනකාය යොදාගෙන ගෝලීය ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කිරීමට ඉන්දියානුවන් දරන උත්සාහය ප්‍රකට වූයේ වරක් දෙවරක් පමණක් නොවේ. කෙසේ හෝ අන් සෑම රටක්ම එකතුවී ඒ අධිකාරිත්වය බිඳ දමා පසුගිය වසරේ දී ක්‍රිකට් අරමුදල් බෙදාහැරීමේ ක්‍රියාවලිය යාවත්කාලීන කළ පසු ද “ශූරයන්ගේ කුසලානයට” තම කණ්ඩායම ඉදිරිපත් නොකරන්නේ යැයි ඉන්දියානුවන් කේවල් කළේය.  

සනත් ජයසූරියලා, මුත්තයියා මුරලිදරන්ලා ක්‍රිකට් වෙනස් කළේය. එහෙත් ඒ අලංකාරවත්ව ය! ක්‍රිකට් ක්‍රීඩාවට පොල් අඩි තාක්ෂණය සහ “ක්‍රිකට් මේලා” (සැණකෙළි) වැනි ඉන්දියානු ආරයේ ප්‍රාථමික අංග ශ්‍රී ලාංකික අප එක්කළේ නැතැයි වසර 138ක් පුරා පැවැත්වුණු මහා ක්‍රිකට් තරග දෙස බැලීමේ දී ද අපට කිවහැකිය. ඒවා එංගලන්ත ආරයේ උසස් රසවිඳීම් ය.

ශ්‍රී ලංකාව උසස් ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ ඉන්දියාවට පෙර සිටය (137 වැනි නිල් මහා සටන)

ඉන්දියානු ප්‍රිමියර් ලීගය සඳහා ක්‍රීඩකයන් අවශ්‍ය බැවින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ තරග කාලසටහනට බලපෑම් එල්ල වූ කාල ද, පසුව ඉන්දියානු ප්‍රිමියර් ලීගයට ලසිත් මාලිංග හැර අන් කිසිදු ක්‍රීඩකයෙකු යෝදානොගත් කාල ද අපි පසුකළෙමු. යම් කාලයක් පුරා ඉන්දියානුවන් හමුවේ අසරණ වූ ශ්‍රී ලංකා කණ්ඩායම, දෙසැම්බර් තෙවැනිදා මුඛවාඩම් පැළඳ ගෙන පිටියට පිවිසියේ ඇයි?

ශ්‍රී ලාංකිකයන් සාමාන්‍යයෙන් ප්‍රතිවාදීන්ගේ මනස සමඟ ක්‍රීඩා කරන ක්‍රිකට් කණ්ඩායමක් නොවේ. අර්ජුන රණතුංගගේ සහ මහේල ජයවර්ධනගේ කාලය ඉක්ම ගොසිනි. නමුත් පරාජයේ පහත්ම අඩියට වැටීමෙන් පසු ශ්‍රී ලාංකිකයන්ට අල්ලා ගන්නට අත්තක් නොතිබූ බව ඇත්ත ය.

තෙවැනි ටෙස්ට් තරගය ඇරඹුණේම ඉන්දියානු පැතලි තලයක් මධ්‍යයේයි. ශිඛර් ධවාන් සහ චේතෙශ්වර් පුජාරාට අහිමිව ගිය වාසනාව දෑතින්ම බදාගත් සුපිරි ඉන්දියානු පිතිකරු විරාත් කෝලි දිගට හරහට පහරවල් එල්ල කරමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් යන දෙපිරිසම විඩාවට පත්කළේය.

ඔහුගේ ඉනිම නිමා වන පාටක් නොතිබුණි. ඉන්දියානුවන්ගේ අභිප්‍රාය වූයේ 1997දී ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 952ක් ලබාගන්නා තෙක් පිටියේ සිටගෙන සිටීමට සිදු වූ ආදී ඉන්දියානු ක්‍රීඩකයන් වෙනුවෙන් වාඩුව ගැනීම ද විය හැකිය. විරාත් කෝලි ලකුණු 200ද පසුකොට වේගයෙන් තම ගමන යමින් සිටියේය. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ විඩාවට වායු දූෂණය කෙසේ වෙතත් කෝලිගේ දිගු ඉනිම බලපා තිබිණි.

නැවතත් කාලයාත්‍රාවෙන් අතීතයට… 1997 එම වාර්තාව පිහිටුවීමට යන ගමනේ දී සනත් ජයසූරිය සහ රොෂාන් මහානාම විසින් ඉන්දියානුවන් ප්‍රේමදාස පිටිය මත සිටවූ පඹයන් ගාණටය තැකුවේ. ඉන් සනත් ජයසූරිය දවාගත් රාජේශ් චවුහාන් පන්දුව දමාගසන්නෙකු බැව් පසුව ඔප්පු විය. එසේ නොවූයේ නම් පිතිකරුවෙකු ලොව වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් ඉනිම ලෙස සනත්ගේ ඉනිම සටහන් වන්නට බොහෝසෙයින් ඉඩ තිබිණි.

තවත් කරුණක් ඇත. පසුගිය වසර කිහිපය ශ්‍රී ලංකා කණ්ඩායම විසින් පිහිටවූ වාර්තාවලට සුබ වසරක් වූයේ නැත. එක්දින කණ්ඩායමක් ඉනිමක ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව එංගලන්තය අපෙන් උදුරා ගත්තේය. විස්සයි – විස්ස කණ්ඩායමක් ඉනිමක දී කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණුවල වාර්තාව ඕස්ට්‍රේලියාව අප නිවසටම පැමිණ උදුරා ගත්තේය. ශ්‍රී ලංකා නාමය යටතේ පැවති මුළු ලකුණු වාර්තා ත්‍රිත්වයෙන් ඉතිරිව තිබූ එකම වාර්තාව ටෙස්ට් වාර්තාවයි. එය රැක ගැනීමට කළ යුතු කුමක් හෝ ඉක්මනින් සැලසුම් කළ යුතුව තිබිණි.

ෆෙරෝස් ෂා කෝට්ලා පිටියේ දී පැවති රංජි කුසලාන (ඉන්දියානු දේශීය ප්‍රමුඛ පෙළ තරගාවලිය) තරග දෙකක් අයහපත් වායු තත්වය නිසා අත්හිටුවා ඇති බැව් ශ්‍රී ලංකා කණ්ඩායමේ උපාය මාර්ග සකසන්නන්ට හමුවන්නේ ඉන් පසුවයි. ඒ අනුව තම සැලසුම් සකස් කරන ඔවුන් (තරග උපක්‍රම සැලසුම් කිරීමට අපොහොසත් බැවින්) සුපුරුදු ශ්‍රී ලාංකීයත්වය ප්‍රදර්ශනය කරමින් කූට උපායක් නිර්මාණය කරගන්නේ ප්‍රෞඪ ඉතිහාසයක මං සලකුණු සිහිකරවමිනි.

Courtesy – sportzwiki.com – ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වායු දූෂණයෙන් අවහිරයට පත්ව

මේ සඳහා ඔවුනට පන්දු, කඩුලු, ලකුණු හෝ පිති වැනි කිසිවක් අවැසි වූයේ නැත. අවශ්‍ය වූයේ මුඛවාඩම් කිහිපයක් පමණි. ක්‍රීඩකයන්ට ඒවා ලබා දීමේ දී කුමන උපදෙස් මත ඒවා ලබා දුන්නේ දැයි අපි නොදනිමු. සමහරක් විට පරාජයේ අඩියටම වැටී සිටි ලාංකිකයන් මුඛවාඩමින් හෝ මුහුණ වසා ගැනීමට හුදක්ම කැමති වන්නට ඇත.

කෙසේ හෝ නූතන ක්‍රීඩාවේ මහත්මාකම් නැති බවත් නීති-රීති ඇති බවත් ඉන්දියානුවන්ට කිව යුතුය. විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමය (DRS) හඳුන්වා දුන් කාලයේ ඉන්දියානුවන් ඊට එකඟ වූයේ නැත. 100%ක නිරවද්‍යතාවය සොයා ගැනීම ක්‍රිකට් වැනි ක්‍රීඩාවක දී අපහසු බව අපි දනිමු. නමුත් ක්‍රීඩාවේ ජීවගුණය රැකෙන්නට තිබුණේ වැරදි අවම කර ගැනීමෙනි. එසේ නම් ඔවුන් ඊට විරුද්ධ වූයේ ඇයි? ඉන්දියාවේ දී DRS භාවිතා නොවීමේ දී ද ශ්‍රී ලාංකිකයන් ඉන්දියාවට මැසිවිලි නැගුවේ නැත.

හුස්ම ගැනීමත් අපහසු බව පෙන්වමින් ලහිරු ගමගේ ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මුඛවාඩම් පැළඳ ගෙන පිටියේ තැන තැන අපහසුවෙන් රැඳී සිටියේය. කතාව ඇත්තය. අප රටේ දළ ඇති ඇතුන්ට වෙඩි තැබුවත්, විල්පත්තුව දවසින් දවස විනාශයට පත්වුනත්, මහමුහුද ගොඩ කළත්, දිල්ලියේ විෂ වායු අපට දරාගන්නට බැරි ය. අප රටේ මහමඟ දෙපස පහරන ජනතාව ඉන්දියාවට වඩා අඩුය. වැසිකිළි පහසුකම් සහ කසල කළමනාකරණය ඉන්දියාවට වඩා හොඳ ය.

එකී මෙකී නොකී බොහෝ අවලාද මැද ශ්‍රී ලංකා කණ්ඩායම භාවිත කළ මානසික ප්‍රහාරය නිසා සිදු වූ දෑ සලකා බලමු. විරාත් කෝලි ලකුණු 243කට දැවී ගිය අතර කඩුලු 7ක්ම දැවුණු පසු ලකුණු 538දී කෝලි ඔවුන්ගේ ඉනිම නතර කොට ශ්‍රී ලංකාවට පන්දුවට පහර දීමට පැමිණෙන්නැයි කීවේ ශ්‍රී ලාංකිකයන් “විෂ වායු නාඩගම” උසස් අයුරින් රංගනයේ යොදවමින් සිටියදීයි.

Courtesy – indianexpress.com – ට්විටර් හි පළවූ විනෝදාත්මක පින්තූරයක්

ඉන්දියානු ප්‍රේක්ෂකයන් “Losers” යැයි ශ්‍රී ලංකා කණ්ඩායමට කෑගැසුවේය. නොයෙක් උසුළු විසුළු කළේය. ඉන්දියානු මාධ්‍ය ඊටත් වැඩියෙන් කුලප්පු වී තිබේ. අපට ගානක්වත් නැත. නූතන ක්‍රීඩාවේ මහත්මාකම් නැති බව අප එක්වරක් ඉන්දියානුවන්ට මතක් කොට දුන්නේය.

මෙහෙම හොඳය. දිගින් දිගටම අසාධාරණයට ලක්වන විට පිළිතුරු දෙන එක් ක්‍රමයකි මෙය. හුස්ම යනු අයිතිවාසිකමකි. ඒ වෙනුවෙන් සංකේතයක් පෙන්වාදීම වරදක් ද? මහත්මාකම් නැති ලෝකයක් මැද ශ්‍රී ලංකා කණ්ඩායම සිදු කළ මුඛවාඩම් නාඩගම මහා වරදක් නොවේ. “Losers” (පරාජිතයෝ) යැයි කෑගසන උදවිය ලෝකය දිහා ඇස් ඇර බැලිය යුතුය. බලන ඔවුන්ගෙන් අප ඇසිය යුත්තේ “ඇයි අවුල් ද?” කියා ය.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<