සිංහ දඩයමට සැරසෙන Black Cap ළලනාවෝ

Sri Lanka Women’s Tour of New Zealand

23
Sri Lanka women's Tour of New Zealand

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග සංචාරය මේ මස 4 වැනිදා සිට නවසීලන්තයේ දී පැවැත්වීමට නියමිතයි. එහි දී දෙරට ක්‍රීඩිකාවෝ එක්දින ජාත්‍යන්තර තරග 3කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 3කට එක්වෙනු ඇත. 

එක්දින තරග කාලසටහන 

1 වැනි එක්දින තරගය  

  • මාර්තු මස 04 වැනිදා Napier, Mclean Park හි දී.

2 වැනි එක්දින තරගය  

  • මාර්තු මස 07 වැනිදා Nelson, Saxton Oval හි දී.

3 වැනි එක්දින තරගය 

  • මාර්තු මස 09 වැනිදා Nelson, Saxton Oval හි දී.

විස්සයි විස්ස තරග කාලසටහන 

1 වැනි විස්සයි විස්ස තරගය 

  • මාර්තු මස 14 වැනිදා Christchurch, Hagley Oval හි දී.

2 වැනි විස්සයි විස්ස තරගය 

  • මාර්තු මස 16 වැනිදා Christchurch, Hagley Oval හි දී.

3 වැනි විස්සයි විස්ස තරගය 

  • මාර්තු මස 18 වැනිදා Dunedin, University Oval හි දී.

මෙම සංචාරයේ දී සුපුරුදු ලෙසින් ම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තු වෙත හිමි ව ඇති අතර නවසීලන්ත කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමි ව ඇත්තේ Suzie Bates වෙතයි.  

ශ්‍රී ලංකා සංචිතය 

චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, නිලක්ෂි ද සිල්වා, කවීශා දිල්හාරි, අනුශ්කා සංජීවනී, මනුදි නානායක්කාර, ඉමේෂා දුලානි, අචිනි කෞශල්‍යා, උදේශිකා ප්‍රබෝධනී, සචිනි නිසංසලා, කෞශිනී නුත්‍යාගංනා, ඉනෝෂි ප්‍රනාන්දු, සුගන්දිකා කුමාරි, රශ්මිකා සෙව්වන්දි සහ චේතනා විමුක්ති. 

නවසීලන්ත සංචිතය 

Suzie Bates (නායිකාව), Eden Carson, Izzy Gaze, Maddy Green, Brooke Halliday, Bree Illing, Polly Inglis, Lauren Down, Hayley Jensen, Fran Jonas, Jess Kerr, Rosemary Mair, Emma McLeod, Georgia Plimmer, Hannah Rowe, Izzy Sharp. 

දෙරට ක්‍රීඩිකාවෝ මෙවන් තරගාවලියන් සඳහා එක් වෙන්නේ 2023 වසරේ දී මෙරට පැවැති තරගාවලියෙන් අනතුරුවයි. එම තරග සංචාරයට ද එක්දින සහ විස්සයි විස්ස තරග 3 බැගින් ඇතුලත් වූ අතර එහි දී එක්දින ජාත්‍යන්තර තරගාවලියේ ජයග්‍රහණය 2-1ක් ලෙසින් ශ්‍රී ලංකාවට හිමි වෙනවා. ඒ දෙරට ඉතිහාසයේ ශ්‍රී ලංකාව එක්දින තරගාවලියක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාවයි.  

දෙරට අතර පැවැති විස්සයි විස්ස තරගාවලිය නිමා වෙන්නේ 2-1ක් ලෙසින් නවසීලන්තය ජයග්‍රහණය හිමි කරගනිමින් වන අතර එම තරගාවලියේ තෙවැනි තරගය ජයග්‍රහණය කරන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ නවසීලන්තයට එරෙහි ව මෙතෙක් ලැබූ පළමු සහ එක ම ජයග්‍රහණය ඉතිහාසයට එක් කිරීමට සමත් වෙනවා. 

එක්දින තරග ඉතිහාසය 

1997 වසරේ පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් ඇරඹි දෙරට එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසය තරග 13කින් යුක්ත වන අතර ඉන් තරග 11ක ජයග්‍රහණ නවසීලන්තය ද සහ තරග 2ක ජයග්‍රහණ ශ්‍රී ලංකාව ද ලෙසින් ලැයිස්තු ගත ව තිබෙනවා.  

ශ්‍රී ලංකා – නවසීලන්ත කාන්තා එක්දින තරග ගමන් මඟ 

  ප්‍රතිඵලය   තරගයේ වීරයා   ක්‍රීඩාංගණය  වසර 
1  නවසීලන්තයට ලකුණු 165ක ජයක්.  Debbie Hockley  Chandigarh  1997 
2  නවසීලන්තයට ලකුණු 122ක ජයක්.   Anna Smith  Lincoln  2000 
3  නවසීලන්තයට කඩුලු 7ක ජයක්.   Rebecca Rolls   Pretoria  2005 
4  නවසීලන්තයට කඩුලු 8ක ජයක්.   Lea Tahuhu  Mumbai  2013 
5  නවසීලන්තයට ලකුණු 96ක ජයක්.  Rachel Priest  Lincoln  2015 
6  නවසීලන්තයට කඩුලු 10ක ජයක්.  Suzie Bates  Lincoln  2015 
7  නවසීලන්තයට ලකුණු 188ක ජයක්.  Rachel Priest  Lincoln  2015 
8  නවසිලන්තයට කඩුලු 10ක ජයක්.  Morna Nielsen  Lincoln  2015 
9  නවසීලන්තයට කඩුලු 8ක ජයක්.   Erin Bermingham  Christchurch  2015 
10  නවසීලන්තයට කඩුලු 9ක ජයක්.   Holly Huddleston  Bristol  2017 
11  ශ්‍රී ලංකාවට කඩුලු 9ක ජයක්.  චමරි අතපත්තු  ගාල්ල  2023 
12  නවසීලන්තයට ලකුණු 116ක ජයක්.  Sophie Devine  ගාල්ල  2023 
13  ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක්.   චමරි අතපත්තු  ගාල්ල  2023 

දෙරට තරග ඉතිහාසයේ පළමු නායිකාවන් ලෙසින් කටයුතු කරන්නේ  වැනේසා ද සිල්වා සහ Maia Lewis විසිනුයි. ඉන් අනතුරු ව ශ්‍රී ලංකාව වෙනුවෙන් රසාංජලී සිල්වා, සඳමාලි දොලවත්ත, ශෂිකලා සිරිවර්ධන, චමරි අතපත්තු සහ ඉනෝකා රණවීර ද නවසීලන්තය වෙනුවෙන් Catherine Campbell, Maia Lewis, Suzie Bates සහ Sophie Devine ද කටයුතු කර තිබෙනවා.  

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු වරට ද්විත්ව රටවල් නියෝජනය කරමින් එක්දින තරගාවලියක් පැවැත්වෙන්නේ 2015 වසරේ දී. ඒ දෙරට අතර පැවැති පළමු එක්දින ජාත්‍යන්තර තරගයෙන් අනතුරු ව වසර 18කට පසුවයි. තරග 5කින් යුත් එම තරගාවලිය 5-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට සත්කාරක නවසීලන්ත ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.  

අනතුරු ව නැවත දෙරට ක්‍රීඩිකාවෝ ද්විත්ව තරගාවලියකට 2023 වසරේ දී මෙරට දී හමුවෙන අතර තරග 3කින් යුත් එම තරගාවලිය 2-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.  

විස්සයි විස්ස තරග ඉතිහාසය 

2010 වසරේ පැවැති 2 වැනි විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී ඇරඹෙන ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ඉතිහාසය තරග 14කින් සමන්විතයි. එම තරග අතුරින් තරග 13ක ජයග්‍රහණ නවසීලන්තය විසින් ද ශ්‍රී ලංකාව තරගයක ජයග්‍රහණයක් ලබා ගනිමින් ද ලෙසින් තරග නිමා කර තිබෙනවා.  

ශ්‍රී ලංකා – නවසීලන්ත කාන්තා විස්සයි විස්ස තරග ගමන් මඟ 

  ප්‍රතිඵලය  තරගයේ වීරයා  ක්‍රීඩාංගණය  වසර 
1  නවසීලන්තයට ලකුණු 47ක ජයක්.  Suzie Bates   Basseterre   2010 
2  නවසීලන්තයට කඩුලු 8ක ජයක්.  Sara McGlashan  ගාල්ල  2012 
3  නවසීලන්තයට කඩුලු 6ක ජයක්.  Rachel Priest  Sylhet  2014 
4  නවසීලන්තයට ලකුණු 102ක ජයක්.  Sophie Devine  Christchurch  2015 
5  නවසීලන්තයට ලකුණු 11ක ජයක්.  Suzie Bates  Nelson  2015 
6  නවසීලන්තයට කඩුලු 9ක ජයක්.  Thamsyn Newton  Nelson  2015 
7  නවසීලන්තයට කඩුලු 7ක ජයක්.  Suzie Bates  Delhi  2016 
8  නවසීලන්තයට කඩුලු 7ක ජයක්.  Hayley Jensen  Perth  2020 
9  නවසීලන්තයට ලකුණු 45ක ජයක්.  ප්‍රදානය කර නැහැ.  Birmingham  2022 
10  නවසීලන්තයට ලකුණු 102ක ජයක්.  Amelia Kerr  Paarl  2023 
11  නවසීලන්තයට කඩුලු 5ක ජයක්.  Suzie Bates  P. Sara Oval  2023 
12  නවසීලන්තයට කඩුලු 8ක ජයක්.  Lea Tahuhu  P. Sara Oval  2023 
13  ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක්.  චමරි අතපත්තු  P. Sara Oval  2023 
14  නවසීලන්තයට කඩුලු 8ක ජයක්.  Georgia Plimmer  Sharjah  2024 

විස්සයි විස්ස තරග ඉතිහාසයේ දෙරට ක්‍රීඩිකාවෝ පළමු වරට ද්විත්ව රටවල් තරගාවලියකට එක් වෙන්නේ 2015 වසරේදීයි. නවසීලන්තයේ සත්කාරකත්වයෙන් පැවැති එම තරගාවලියට තරග 3ක් ඇතුලත් වූ අතර එහි දී තරග 3ම ජයග්‍රහණය කිරීමට සත්කාරක ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.  

අනතුරු ව නැවත දෙරට ක්‍රීඩිකාවෝ ද්විත්ව රටවල් තරගාවලියකට එක් වෙන්නේ 2023 වසරේ දී මෙරට සත්කාරකත්වයෙනුයි. එවර තරගාවලිය ද තරග 3කින් යුක්ත වූ අතර තරගාවලිය නිමා වෙන්නේ තරග 2-1ක් ලෙසින් සංචාරක නවසීලන්තයට ජයග්‍රහණය හිමි වෙමිනුයි.  

දෙරට විස්සයි විස්ස ඉතිහාසයේ පළමු නායිකාවන් වන්නේ චාමනී සෙනෙවිරත්න සහ Aimee Watkins. ඉන් අනතුරු ව ශ්‍රී ලංකාව වෙනුවෙන් ශෂිකලා සිරිවර්ධන සහ චමරි අතපත්තු නායකත්වයේ කටයුතු කර ඇති අතර මේ අතුරින් වැඩිම වාර ගණනක් කණ්ඩායම මෙහෙයවා ඇත්තේ චමරි අතපත්තු විසිනුයි.   

නවසීලන්තය වෙනුවෙන්  Suzie Bates සහ Sophie Devine වරින් වර කණ්ඩායම් මෙහෙයවා ඇති අතර ඒ අතුරින් Suzie Bates 2012, 2014, 2015 සහ 2016 වසර දී නායකත්වයේ කටයුතු කර ඇති අතර දෙරට අතර තරගවල දී වැඩිම වාර ගණනක් දී තරගයේ වීරයා සම්මානයේ පිදුම් ලැබීමට ද ඇය සමත් වෙනවා.   

නවසීලන්ත කණ්ඩායමේ නියමුවරිය ලෙසින් කටයුතු කරන Suzie Bates මීට පෙර 2013 සහ 2015 වසරවල දී ද ශ්‍රී ලංකාවට එරෙහි ව නායකත්වයේ කටයුතු කරමින් තරග බිමට පිවිස ඇති ක්‍රීඩිකාවක් වන අතර ඇය මෙතෙක් නායකත්වය දැක් වූ එක්දින තරග සංඛ්‍යාව 76ක්.  

37 හැවිරිදි වියේ පසුවෙන ඇය ප්‍රචලිතව ඇත්තේ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩිකාවන් ලෙසයි. මේ වන විට ඇය එක්දින ජාත්‍යන්තර තරග 168ක දී ශතක 13ක් සමඟින් ලකුණු 5838ක් සහ කඩුලු 79ක් ලබා සිටිනවා. විස්සයි විස්ස පිටියේ ඇයගේ දක්ෂතා වෙන්නේ තරග 171ක දී ශතකයක් සහ අර්ධ ශතක 28ක් සමඟින් ලබා ගත් ලකුණු 4584ක් සහ කඩුලු 59ක්.  

ඇයගේ මෙම එක්දින ඉනිම් අතර ශ්‍රී ලංකාවට එරෙහි ව Bristol හි දී නොදැවී ලබා ගත් ශතකයක් සහ තවත් අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 493ක් ද සහ කඩුලු 7ක් ද ඇතුලත්.  ශ්‍රී ලංකාව සහ නවසීලන්ත අතර මෙතෙක් පැවැති තරග 13න් 10කට ම ඇය සහභාගී වී තිබිම විශේෂත්වයක්.  

ඇය ශ්‍රී ලංකාව සමඟ පැවැති සෑම විස්සයි විස්ස තරගයකට ම සහභාගී වී ඇති අතර එම තරග 14 දී අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 506ක් සහ කඩුලු 6ක් දවා ගැනීමට ඇය සමත් ව තිබෙනවා.  

දෙරට අතර නිමා වූ ආසන්නත ම තරග සංචාරයේ දී මෙරට පැවැති තරගාවලියට එක් වූ ක්‍රීඩිකාවන් අතුරින් Suzie Bates ට අමතර ව දකුණතින් පිට දඟ පන්දු යවන Eden Carson, මැද පෙළ පිතිකාරිනීයන් වන Maddy Green සහ Brooke Halliday වැනි ක්‍රීඩිකාවෝ ද මෙවර කණ්ඩායමේ අසුන් හිමිකර ගෙන සිටිනවා.  

ඒ අතුරින්  Eden Carson තවමත් යොවුන් ක්‍රීඩිකාවක් වන අතර ඊට අමතර ව එක් ව සිටින Maddy Green එක්දින තරග 78කට එක්වෙමින් ශතකයක් සහ අර්ධ ශතක 7ක් සමඟින් ලකණු 1576ක් ද, විස්සයි විස්ස තරග 106ක දී ලකුණු 1104ක් ලබා සිටිමින් ද සහ Brooke Halliday එක්දින තරග 37ක දී අර්ධ ශතක 6ක් සමඟින් ලකුණු 828ක් සහ කඩුලු 7ක් ලබා ගනිමින් ද, විස්සයි විස්ස තරග 41ක දී ලකුණු 391ක් සහ කඩුලු 7ක් ද ලබා ගනිමින් ද ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියට එක් වෙනවා.  

ඔවුන්ට අමතර ව පසුගිය ඔක්තෝබරයේ පැවැති ඉන්දීය සංචාරයෙන් අනතුරු ව ආබාධයට පත් මැද පෙළ දකුණත් පිතිකාරිනියක් වන Georgia Plimmer ද මෙම කණ්ඩායමට ඇතුලත්. 2023 වසරේ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්ත කණ්ඩායම හා එක්වෙමින් දක්ෂතා දැක් වූ, මේ වන විට 21 හැවිරිදි වියේ පසුවෙන ඇය මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 21කට සහභාගී වෙමින් ලකුණු 256ක් ලබා ඇති ක්‍රීඩිකාවක් වන අතර දෙරට ක්‍රීඩිකාවෝ එකිනෙකා හමු වූ අවසන් තරගයේ වීරයා වන්නේ ද ඇයයි.   

මෙම තරග සංචාරය සඳහා එක්දින ජාත්‍යන්තර තරග 35ක ලකුණු 296ක් සහ කඩුලු 28ක් ද විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 53ක ලකුණු 188ක් සහ කඩුලු 48ක් ලබා සිටින 32 හැවිරිදි වියේ පසුවෙන තුන් ඉරියව් ක්‍රීඩිකා Hayley Jensen වසර ද්විත්වයකට පසුව නවසීලන්ත කණ්ඩායම හා එක් කර තිබෙනවා. 

එමෙන් ම මෙම කණ්ඩායමට මෙතෙක් නවසීලන්ත ජාතික කණ්ඩායම නියෝජනය නොකළ, එහෙත් වයස අවුරුදු 19න් පහළ නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් දක්ෂතා දැක් වූ ක්‍රීඩිකාවන් තිදෙනෙක් එක් කර තිබීම විශේෂත්වයක්.   

ඒ අතුරින් ප්‍රමුඛත ම ක්‍රීඩිකාව වන්නේ 18 හැවිරිදි වියේ පසුවෙන තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන  Emma McLeod. ඇය නිමා වූ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩිකාවයි.  

ඇයට අමතර ව 2023 වසරේ පැවැති වයස අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්ත කණ්ඩායමේ නායක්තවය දැරූ දැනට 20 හැවිරිදි වියේ පසුවෙන දකුණත් පිතිකාරිනී Izzy Sharp ද සහ වමතින් මඳ වේග පන්දු යවන Bree Illing ද ඊට ඇතුලත්.  

කණ්ඩායම බෙදීමේ දී Bree Illing, Polly Inglis සහ Hannah Rowe එක්දින සංචිතයට පමණක් ද සහ Rosemary Mair සහ Izzy Sharp විස්සයි විස්ස සංචිතයට පමණක් ද ලෙසින් වෙන්කර තිබෙනවා. 

ශ්‍රී ලංකා – නවසීලන්ත කාන්තා එක්දින තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<