නවසීලන්ත කාන්තාවෝ එක්දින තරගාවලිය ජය ගනී

Sri Lanka Women tour of New Zealand

9
Sri Lanka women's Tour of New Zealand - 3rd ODI

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය 2-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට සත්කාරක ක්‍රීඩිකාවෝ අද (9) සමත් වුනා.

අද Nelson හී Saxton Oval ක්‍රීඩාංගණයේ දී නිමා වූ තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලකුණු 98ක පරාජයක් හිමි වූවා.

දෙරට අතර Napier හී McLean Park ක්‍රීඩාංගණයේ දී පැවැති පළමු තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් වූ අතර Nelson හී Saxton Oval ක්‍රීඩාංගණයේ දී නිමා වූ 2 වැනි තරගයෙන් නවසීලන්ත ක්‍රීඩිකාවෝ ලකුණු 78ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.

අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් 2ක් සිදු කර තිබුණා. ඒ පෙර තරගයට ක්‍රීඩා කළ මනුදි නානායක්කාර සහ ඉනෝෂි ප්‍රියදර්ශනී වෙනුවට ඉමේෂා දුලානි සහ සචිනි නිසංසලා කණ්ඩායමට එක් කරමිනුයි. නවසීලන්තය අද තරගයට සහභාගී වූයේ පෙර තරගයට ක්‍රීඩා කළ Hannah Rowe වෙනුවට Fran Jonas එක් කර ගනිමින්.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, ඉමේෂා දුලානි , කවීෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, අනුශ්කා සංජීවනී (කඩුලු රකින්නිය),  සචිනි නිසංසලා, සුගන්දිකා කුමාරි, අචිනි කුලසූරිය, චේතනා විමුක්ති.

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම

Suzie Bates (c), Georgia Plimmer, Emma McLeod, Brooke Halliday, Maddy Green, Isabella Gaze, Jess Kerr, Polly Inglis (wk), Eden Carson, Fran Jonas, Bree Illing

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නවසීලන්ත ක්‍රීඩිකාවෝ කඩුලු 6ක් දැවී ලකුණු 280ක් ලබා ගන්නවා. ඔවුන්ගේ පළමු කඩුල්ලේ ම සබඳතාව ලකුණු 108ක්.

නායිකා Suzie Bates සහ Georgia Plimmer එක් ව ආරම්භ කළ ඉනිමේ පළමු Power Play අවස්ථාවේ දී ලකුණු 45ක් රැස් කරන ඔවුන් පළමු ලකුණු 100 පන්දු 124ක දී වාර්තා කරනවා. එතැන් සිට පන්දු 7ක් ගිය තැන Suzie Bates ගේ ඉනිම මෙන් ම පළමු කඩුල්ලේ සබඳතාව ද බිඳී යනවා. ඒ වෙද්දී ඔවුන් දෙදෙනා පන්දු 131ක දී ලකුණු 108ක් එක් කර තිබුණා.

Suzie Bates දැවී යද්දී පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 53ක් ලබා සිටියා. ඒ ඇයගේ පළමු පෙළ ජාත්‍යන්තර තරග දිවියේ 37 වැනි අර්ධ ශතකයයි.

එම කඩුල්ලෙන් පසුව නැවත නවසීලන්ත ඉනිමට පන්දු 69ක දී ලකුණු 60ක සබඳතාවක් එක් කිරීමට Georgia Plimmer සහ Brooke Halliday සමත් වෙනවා. ඔවුන් දෙදෙනා අතුරින් Brooke Halliday පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 36ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව ද බිඳී ගියා.

ආරම්භක පිතිකාරිනී Georgia Plimmer ඉනිම අවසන් වීමට තවත් පන්දු 35ක් තිබිය දී දැවී යද්දී තම එක්දින ජාත්‍යන්තර තරග පිටියේ මංගල ශතකය වාර්තා කරගෙන සිටියා. පන්දු 113කින් වාර්තා වූ එම ශතකයෙන් අනතුරු ව ඇය ගේ ඉනිමට තවත් ආයුෂ තිබුණේ පන්දු 7ක් පමණයි. හතරේ පහර 8ක් සහ හයේ පහර 2කින් වාර්තා වූ ඇයගේ ඉනිමට ලකුණු 112කින් සමන්විතයි.

ඇය ඉනිමේ සිව් වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී Maddy Green සමඟ එක් වෙමින් පන්දු 38ක දී ලකුණු 51ක සබඳතාවක් ද ගොඩ නගා තිබුණා. Maddy Green දැවී යන විට පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 32ක් ලබා තිබූ අතර Isabella Gaze ඉනිම අවසන් වන විට පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 24ක් ලබා සිටියා.

පන්දු යැවීමේ දී සුගන්දිකා කුමාරි ලකුණු 70කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර  සචිනි නිසංසලා, චමරි අතපත්තු සහ අචිනි කෞශල්‍යා කඩුල්ල බැගින් බෙදා ගත්තා.

ලකුණු 280ක් හඹා යෑම සඳහා සුපුරුදු ලෙසින් ම විශ්මි ගුණරත්න සහ චමරි අතපත්තු ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ ද ඔවුන් මෙම තරගාවලියේ තෙවැනි වරටත් තම කණ්ඩායමට ලබා දුන්නේ අසාර්ථක ආරම්භයක්. ඒ අනුව විශ්මි ගුණරත්න පන්දු 10කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 6කට ද චමරි අතපත්තු පන්දු 20කට මුහුණ දෙමින් ලකුණු 5කට ද දැවී ගියා.

පෙර තරග ද්විත්වයේ දී ම අර්ධ ශතක වාර්තා කළ හර්ෂිතා සමරවික්‍රමට ද අද ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 8ක් පමණයි. එම ඉනිම වෙනුවෙන් ඇය පන්දු 18ක් වැය කරන ලද ඊට එක් හතරේ පහරක් ඇතුලත් වෙනවා.

ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 100 පන්දු 167කින් වාර්තා වූ අතර ඒ වෙද්දී ඉහත ක්‍රීඩිකාවන් තිදෙනාට අමතර ව ඉමේෂා දුලානි (11) ද ඉනිම හැර ගොස් තිබුණා.

අනතුරු ව පෙළ ගැස් වුණ කඩුලු ද්විත්වයේ දී අර්ධ ශතකවලට ආසන්න සබඳතා ගොඩ නැගීමට කවිෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා සහ අනුශ්කා සංජීවනී සමත් වීම කැපී පෙණුනා.

ඒ අතුරින් කවීෂා දිල්හාරි සහ නිලක්ෂිකා සිල්වා 5 වැනි කඩුල්ලට පන්දු 57ක දී ලකුණු 46ක් ද, නිලක්ෂිකා සිල්වා සහ අනුෂ්කා සංජීවන් 6 වැනි කඩුල්ලට පන්දු 69ක දී ලකුණු 47ක සබඳතා ද ගොඩ නගනවා.

කවීෂා දිල්හාරි 5 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 54කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 45ක් ද, අනුෂ්කා සංජීවනී 6 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 23ක් ද සහ නිලක්ෂිකා සිල්වා 8 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 45ක් ලබා සිටියා.

ඊට පසුව පිටියට පිවිසි සචිනි නිසංසලා (0), සුගන්දිකා කුමාරි (2) සහ අචිනි කුලසූරිය (9) අඩු ලකුණුවට තම ඉනිම් සීමා කර ගනිද්දී ඉනිම අවසන් වන විට චේතනා විමුක්ති නොදැවී ලකුණු 4ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Jess Kerr සහ Fran Jonas කඩුලු 3ක් බැගින් ද, Eden Carson කඩුලු 2ක් ද, Maddy Green සහ Brooke Halliday කඩුල්ල බැගින් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 6ක් දැවී 280 (50.0) Suzie Bates 53, Georgia Plimmer 112, Brooke Halliday 36, Maddy Green 32, Isabella Gaze නොදැවී 24, සුගන්දිකා කුමාරි 3/70

 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 182 (50.0) කවීෂා දිල්හාරි 45, නිලක්ෂිකා සිල්වා 45, අනුශ්කා සංජීවනී 23, Jess Kerr 3/22, Fran Jonas 3/40, Eden Carson 2/29

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 98ක ජයක්.

  • තරගයේ වීරයා – Georgia Plimmer (නවසීලන්තය)
  • තරගාවලියේ වීරයා – Maddy Green (නවසීලන්තය)

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි විස්ස තරගාවලිය මාර්තු මස 14 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා – නවසීලන්ත කාන්තා තරග සංචාරයේ  උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<